Tuesday, April 23, 2024

භීෂණයක පැතිකඩක්: ආණ්ඩුවේ රූපවාහිනී ආයතනය විනාශය අභිමුව

ජායාරූපය: අද ජනමාධ්‍ය ඇමැති සමරවීර රාජපක්ෂ සමයෙහි මාධ්‍ය මර්දනයට එරෙහිව ජනමධ්‍ය සංවිධාන සමඟ එක්වූ අවස්ථාවක්. (2008 මාර්තු 11/ SLB)

ජනාධිපති සිරිසේන විසින් පත්කර ඇති ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාවේ අධ්‍යක‍්ෂ ජනරාල් තනතුරට  තුසිර මැලෙවෙතන්ත්‍රි නම් පුද්ගලයා එම ආයතනය විනාශය කරා ගෙන යමින් සිටන සැටි දක්වමින් යහපාලනය සඳහා වන රූපවාහිනී මාධ්‍යවේදියෝ නම් කණ්ඩායම්ක් විසින් යවා ඇති ලිපියක් ප්‍රසිද්ධියට පත්ව තිබේ. මෙවැනි ලිපියක් සිය නමින් ලිවීමට එම පිරිස දක්වන බියෙන් ම පෙනෙන්නේ යහපාලනය යටතේ මාධ්‍ය නිදහසක්  වෙනුවට මාධ්‍ය භීෂණයක් පවතින බවය.

මෙවැනි තත්වයකින් රාජ්‍ය ජනමාධ්‍ය බේරා ගත් හැක්කේ ඒවා සැබැවිමන්ම මහජන සේවා ජනමාධ්‍ය බවට පත් කර ස්වාධීන ආයතන බවට පත් කිරීම මගිනි. ආයතනය තුත පමණක් නොව රූපවාහිනී වැඩසටහන්හි ප්‍රජාත්නත්‍රවාදී ගුණය තිබය යුතුය. කණගාටුවකට මෙන් මෙම ලිපිය මගින්ද රූපවාහිනී සංස්ථාව හමුවෙහි ඇති සෑබෑ අභියෝග පිළිබඳ සාකච්ජා කැරෙන්නේ නැත.  දේශපාලනඥයින් විසින් ආයතකය පාලනය කරන තාක් දුරට මෙවැනි නරුමයින් විසින් ජාතික ආයතනයක් විනාශය කරා ගෙන යෑම වැළැක්විය නොහැක. එහි ප්‍රධානීන් පත් කිරීම සඳහා  ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රමයක් අවශ්‍යය. අඩුම වශයෙන් රාජ්‍ය ජනමාධ්‍යන්හි ප්‍රධානින් පත් කිරීම ව්‍යවස්ථා මණ්ඩලයට පැවරීය යුත බව හෝ යෝජනා නොකරන වැඩ සටහනකින් මෙම ආයතනය බේරා ගත හැකිද යන ප්‍රශ්ණය ‘යහපාලනය සඳහා වන රූපවාහිනී මාධ්‍යවේදියෝ‘ කණ්ඩායම විසින් සැළකිල්ලට ගත යුතුය.

යහපාලනය සඳහා වන රූපවාහිනී මාධ්‍යවේදියෝ විසින් ජනාධිපති වෙත යවන ලද ලිපිය  සම්පූර්ණයෙන් පහත දැක්වේ.

2017.10.18
ගරු ජනාධිපති තුමා,
ජනාධිපති මන්දිරය,
කොළඹ.

ජනාධිපතිතුමනි,

මෙම සංදේශය එවනු ලබන්නේ ඔබතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ ජාතික රූපවාහිනිය ජනහිතකාමී සහ ලාභ ලබන ආයතනයක් කිරීමේ අභිලාෂයෙන් ක්‍රියා කරන නිලධාරීන් හා නිලධාරීනියන් පිරිසකි. අප ආයතනයේ අධ්‍යක‍්ෂ ජනරාල් තනතුරට පත්කර ඇති තුසිර මැලෙවෙතන්ත්‍රි නම් පුද්ගලයා මෙම ජාතික ආයතනයට කරන විනාශය පිළිබඳව මීට පෙර ඔබ තුමා වෙත මෙවන් ලිපියකින් කරුණු දක්වා ඇත්තෙමු. තවමත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම අපගේ බලවත් සංවේගයට හේතු වී තිබේ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජාතියටම අයිති ජනමාධ්‍ය ආයතනයකි. එය රැක ගැනීම සියලූ දෙනා සතු වගකීමක් වන අතර, කිසියම් හේතුවක් මත එහි විනාශයට අර අඳින යමෙක් වෙත් නම් ඔහු හෝ ඇය ගැන ජනතාවට ආනාවරණය කොට පලවා හැර දඬුවම් පැමිණවීම සියලූ වගකිවයුත්තන්ගේ වගකීමයි. නාලිකාවක් ලෙස ශ්‍රේණිගත කිරීමේදී රූපවාහිනිය පවතින්නේ හත්වන ස්ථානයේය. එහි ආදායම පහත ගොස් ඇත. සේවකයන්ට වැටුප් ගෙවන්නේද දැඩි දුෂ්කරතා මධ්‍යයේය. මෙබඳු තත්වයක් යටතේ එය නගා සිටුවනවා වෙනුවට සේවකයන් අතර භීෂණය හා මර්දනය පතුරවමින්, පුද්ගලික පළිගැනීම් මත සේවකයන් දඩයම් කරමින් එහි අධ්‍යක‍්ෂ ජනරාල් තුසිර මැලවේතන්ත්‍රි නමැත්තා මානසික උමතුවකින් කටයුතු කරමින් සිටී. ඔහු පලවා හැරීම සඳහා ජාතික රූපවාහිනියේ වෘත්තිය සමිති 5 ක් ඒකාබද්ධව දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වීමට සූදානම්ව සිටින අතර, ඒ පිළිබඳව සභාපති සහ අධ්‍යක‍්ෂ ජනරාල්ට දන්වා ඇත. එහෙත් අධ්‍යක‍්ෂ ජනරාල්වරයා පෙර කී උමතු විලාසයෙන්ම කටයුතු කරන අතර සභාපතිවරයා කිසිවක් සිදු නොවූ විලාසයෙන් ඇඟ බේරාගැනීමේ ප්‍රතිපත්තියක පිහිටා සිටී. මීට පෙර මැලවේතන්ත්‍රි මහතාගේ උමතු ක්‍රියා 18 ක් සම්බන්ධව ඔබතුමා දැනුවත් කළ අතර, ඊට පසු සිදු වූ සිදුවීම් කිහිපයක් පහත දක්වමු.

01. රූපවාහිනී තොරතුරු නිලධාරියා ලෙස කටයුතු කළ ටී. එම්. ජී. චන‍ද්‍රසේකර මහතා විධායක නිලධාරින්ගේ සංගමයේ ක්‍රියාකාරිකයකු බැවින් අනිවාර්ය නිවාඩු යැවූ අතර වෘත්තීය සමිති සහ සෙසු බලපෑම් හමුවේ ඔහු තාවකාලිකව සේවයේ යොදවා ඇත. නමුත් ඔහුගේ කාර්යාලය සීල්තබා තිබේ. ඔහුට සිය අංශයේ රාජකාරි කිරීම වලක්වා ඇත. මෙය හාස්‍යජනක තීරණයකි. 

02. එම නිලධාරියාට එරෙහිව විමර්ශනයක් අරඹා ඇති අතර විමර්ශන කමිටුවේ සභාපති ලෙස පත්කර ඇත්තේ චන‍්ද්‍රසේකර මහතාම මීට කලින් කළ විමර්ශනයකදී වැරදිකරුවකු කළ තැනැත්තෙකි.

03. චන‍්ද්‍රසේකර මහතාට විරුද්ධව කැලෑ පත්තරයක් මුද්‍රණය කර ඇති අතර, අධ්‍යක‍්ෂ ජනරාල් සතුව පමණක් පවතින ඇතැම් ලිපි ලේඛන ඊට උපයෝගී කරගෙන ඇත. එයින් හැඟී යන්නේ මැලවේතන්ත්‍රි නම් අධ්‍යක‍්ෂ ජනරාල් කැලෑ පත්තර ගැසීම දක්වා පහළ තැනකට ඇද වැටී ඇති බවයි.

04. අධ්‍යක‍්ෂ ජනරාල් වෘත්තිය සමිති නිලධාරීන් තනි තනිව ගෙන්වා ඔවුන්ට තර්ජනය කර ඇති අතර, වෘත්තිය සමිතිවලින් ඉවත් නොවන්නේ නම් විනය ක්‍රියාමාර්ග මුවාවෙන් පලිගැනීම් අරඹා ඇත.

05. රැය පහන් වනතුරු රාත්‍රී සමාජ ශාලාවල ගත කර එන මැලවේතන්ත්‍රී මහතා බීමත්ව රූපවාහිනී නිලධාරින්ට ඔවුන්ගේ අභිමානය හා ආත්ම ගරුත්වය කෙලෙසෙන අයුරින් බැණ වැදීම් දෛනිකව තවදුරටත් සිදු කරයි. 

06. රූපවාහිනී විධායක නිලධාරීන්ගේ සංගමය මඟින් රූපවාහිනී සභාපතිතුමා ඇතුළු අධ්‍යක‍්ෂ මණ්ඩලය වෙත ලිඛිතව දක්වා ඇත්තේ අධ්‍යක‍්ෂ ජනරාල් “මානසික ව්‍යාධියකින්“ පෙළෙන අතර ඔහු සමඟ තවදුරටත් රාජකාරී කළ නොහැකි බැවින් ඔහු ඉවත් කර දෙන ලෙසය. නමුත් මේ දක්වා සභාපතිතුමා හෝ අධ්‍යක‍්ෂ මණ්ඩලය මේ සම්බන්ධව ඔබතුමා දැනුවත් කර නැති බව අපගේ හැඟීමයි. වෘත්තීය සමිති නිලධාරීන් ඒ ගැන විමසීමේදී අධ්‍යක‍්ෂ ජනරාල්ට එරෙහි බහුජන ක්‍රියාමාර්ගයකට යාම ගැන තමාගේ විරෝධතාවයක් නැතැයි සභාපතිවරයා දන්වා ඇත. එහෙත් එම ලිපිය මේ දක්වා අධ්‍යක‍්ෂ මණ්ඩල රැස්වීමේ සාකච්ඡා කර නැත.

07. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා වෘත්තීය සමිති එකමුතුව වශයෙන්, වැඩසටහන් නිෂ්පාදකවරුන්ගේ සංගමය, කාර්මික නිලධාරීන්ගේ සංගමය, නිෂ්පාදන සේවා ශිල්පීන්ගේ සංගමය සහ රූපවාහිනී සංස්ථා සේවක සංගමය ඒකාබද්ධව අධ්‍යක‍්ෂ ජනරාල් හා සභාපති වෙත ලිපියක් යොමු කරමින් සංස්ථාවේ පවතින අර්බුදකාරී තත්වය පෙන්වා දී ඇත. එයට පිළියම් යොදනු වෙනුවට අධ්‍යක‍්ෂ ජනරාල් ආයතන සංග්‍රහයට මුවාවී උඩඟු හා උමතු ප්‍රතිචාරයක් දක්වා තිබේ. සභාපතිවරයා නිෂ්ක්‍රියව සිටී.

08. ඉහත කියන වෘත්තිය සමිති වලින් පලිගැනීම සඳහා වෙනත් අක්‍රිය සමිතියක සාමාජිකයන්ගේ දරුවන් හත්දෙනෙකුට රැකියා ලබා දී ඇත. මේ වනවිට රූපවාහිනිය සේවක අතිරික්තයකට ලක්ව ඇති අතර, මෙම තනතුරු ලබාදීම අධ්‍යක‍්ෂ ජනරාල්ගේ අත්තනෝමතික ක්‍රියාවකි.

09. සති 2 ක් තුළ විධායක නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තවත් විධායක නිලධාරීන් දෙදෙනෙකු අත්තනෝමතිකව වෙනත් අංශ වලට මාරුකොට නිෂ්පාදකවරුන් දෙදෙනෙකුට විරුද්ධව නිදහසට කරුණු විමසා ලිපි යැවීම ඔහුගේ මානසික ව්‍යාධියේම ලක‍්ෂණයකි. 

10. මැලවේතන්ත්‍රී මහතා දැනට රෝහල්ගතව සිටින අතර, ඔහු රෝහලේ සිට ද පලිගැනීමේ ලිපි අත්සන් කරමින් සිටී. මේ අතර ඔහු රෝහල් කාර්ය මණ්ඩලය සමඟද ගැටුමක් ඇති කරගෙන ඇති අතර, එය අප ආයතනයේ ගෞරවයට හානියකි. ඔහු රෝහල්ගත වීමේ හේතුව සංස්ථා නිලධාරින්ට වසන් කර ඇති අතර, උත්සන්නවූ මානසික රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට ඇතුළත් වී ඇති බව වාර්තා වේ.

11. රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ නිලධාරියකු ආපන ශාලාවට කෑමට ගිය අවස්ථාවක ඔහු කැඳවා ඇති අතර, කෑම කා පැමිණීමට විනාඩි 15 ක් පමා වූ බැවින් එම නිලධාරියා ප්‍රවෘත්ති අංශයේ “කාර්යභාර සංස්කාරක“ ධුරයෙන් ඉවත් කර ඇත.

12. අධ්‍යක‍්ෂ ජනරාල් සහභාගී වන උත්සව අවස්ථා ප්‍රවෘත්ති විකාශය තුළින් පෙන්වීම අනිවාර්ය කර ඇති අතර, ඔහුගේ රූප රාමු හොඳින් ප්‍රදර්ශනය නොකරන අවස්ථාවල අදාල නිලධාරින්ට බැණ වැදීම සාමාන්‍ය සිරිතක් වී තිබේ.

13. ඔහු පෙනී සිටින ඒ සෑම ප්‍රවෘත්තියකම ඩීවීඩී පිටපත් වහාම ඔහුට ලබා දිය යුතු බවට වාචිකව නියෝග කර ඇත. මෙවන් බලපෑමක් ඇමතිවරයාගෙන් හෝ එල්ලවී නැත.

14. සංදර්ශන කාමයකින් පෙලෙන අධ්‍යක‍්ෂ ජනරාල්වරයා රූපවාහිනී වැඩ සටහන් තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම සඳහා අනිසි ලෙස භාවිතා කරමින් සිටියි. එය භින්නෝන්මාදයකි, හීනමානයකි.

15. අධ්‍යක‍්ෂ ජනරාල්වරයා දිනකට විසිවතාවක් මුණගැසුණත් ඒ විසිවතාවේම “ගුඩ් මෝනින් සර්“ යනුවෙන් ඇමතිය යුතු අතර එසේ නොවන අවස්ථා වල විනය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කරයි. 

16. විධායක නිලධාරින් සහ සෙසු නිලධාරීන් අතර එකිනෙකට වෙනස් අදහස් කියමින් ඔවුන් අතර භේද භින්නතා ඇති කිරීම මගින් අධ්‍යක‍්ෂ ජනරාල් තනතුරට ඔහු නුසුදුසු බව පෙන්වා දී ඇත.

17. තමන්ගේ කාමරය අසල මුර සේවයේ යොදවා ඇති ආරක්ෂක නිලධාරියකුගේ නිල ඇඳුමෙන් දහඩිය දුගඳක් හමන්නේ නම් ඔවුන්ට බැණ වැදීමට තරම් ඔහු අකාරුණික වී ඇත. එම නිලධාරින්ට දාඩිය දමමින් සේවය කිරීමට සිදු වී තිබීම සාමාන්‍ය තත්ත්වයකි. මේ තත්වය මත අධ්‍යක‍්ෂ ජනරාල් සිටින ස්ථානවල සේවය කිරීමට ආරක‍්ෂක නිලධාරිහු අකමැත්ත දක්වති.

18. අතිශය පහළ අඩියකට වැටුණු රූපවාහිනී සංස්ථාව නඟා සිටුවීමට අධ්‍යක‍්ෂ ජනරාල් වශයෙන් අංශු මාත්‍රයක හෝ දායකත්වයක් දක්වා නැත.

19. බැසිල් රාජපක‍්ෂ මහතාට එරෙහි මල්වාන නඩුවේ නීතිඥවරයා තමා බව අඟවමින් ජනාධිපතිතුමාගේ දැඩි සම්බන්ධතාවයක් තමන්ට ඇති බවට වහසිබස් කියමින් තමන් ඉවත් කිරීමට කිසිවෙකුටවත් නොහැකි බව ඔහු කියා සිටියි.

20. මේ තත්ත්වය මත සේවකයන්ගේ කාර්යක‍්ෂමතාව සහ නිර්මාණශීලී හැකියාවන් ආයතනයේ ප්‍රවර්ධන සඳහා ලබා ගැනීම දුෂ්කර වනු ඇත.

මේ වන විට දැඩි සේවක මර්දනයක් සහ භීෂණයක් ඇති කරමින් මැලවේතන්ත්‍රී මහතා රූපවාහිනී සංස්ථා භූමිය එළිමහන් සිර කඳවුරක තත්වයට පත්කොට ඇති අතර, කාර්මික සාමය විනාශ කර ඇත.

ආරියරත්න ඇතුගල සභාපති ලෙස කටයුතු කරන අවදියේද මෙවන් තත්වයක් නිර්මාණය වූ අතර, පසුව මර්වින් සිල්වාගේ පහරදීමත් ඊට සමගාමීව සිදු වී රූපවාහිනී නිලධාරීන් එළියට බැස වෘත්තිය හා බහුජන ක්‍රියාමාර්ගවලට යොමු වූ ආකාරය සිහිපත් කරනු කැමැත්තෙමු. 

ඉදිරියේදී මැතිවරණ කිහිපයක්ද අපේක‍්ෂාවෙන් පසුවන අවදියක ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය නාලිකාව වන රූපවාහිනිය අස්ථාවර කර ඔබතුමාගේ කීර්තිය විනාශ කිරීම තුසිර මැලවේතන්ත්‍රි මහතාගේ උවමනාව බව පෙනේ. මේ තත්ත්වය අනුව ඔහු අදෘශ්‍යමාන හස්තයකින් ක්‍රියාත්මක වන්නේද නැත්නම් ඔහුගේ ස්වාභාවික මානසික උමතුවදැයි සොයා බැලීම බලධාරීන්ගේ වගකීමයි.

එබැවින් හැකි ඉක්මනින් ඔහු වෙනුවට සුදුසු අධ්‍යක‍ෂ ජනරාල්වරයකු අප ආයතනයට පත් කර එවීමට කටයුතු කරන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමු.

මෙයට,

යහපාලනය සඳහා වන රූපවාහිනී මාධ්‍යවේදියෝ

 

Archive

Latest news

Related news