Monday, May 20, 2024

ජනතා පරමාධිපත්‍ය භික්ෂූන්වහන්සේලාට පූජා කර නැත

මල්වත්ත සහ අස්ගිරිය කාරක සභා මගින් වර්තමාන ව්‍යවස්ථාව වෙනස් කිරීම අනවශ්‍ය බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කල බව වාර්තාවී තිබේ. ව්‍යවස්ථාව වෙනස් කිරීම අනවශ්‍ය බවට මෙතෙක් ප්‍රකාශ නිකුත් කර තිබෙන්නේ මෙරට සංඝයා වහන්සේ පමණි. මෙම ආණ්ඩුව බලයට පත්වීමට බලපෑ එක ප්‍රධාන කාරණයක් වුයේ නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ පොරොන්දුවයි. ඒ අනුව පාර්ලිමේන්තුව මගින් ව්‍යවස්ථා මණ්ඩලයක් පත්කර අනු කමිටු වශයෙන් බෙදී ප්‍රධාන කරනා සම්බන්ධ දීර්ඝ වශයෙන් කරුණු හදාරා ව්‍යවස්ථාවකට යෝජිත කරුණු ඉදිරිපත් කර තිබේ. මෙයට අමතරව ලාල් විජේනායක කමිටුව මගින් නව ව්‍යවස්ථාවක් සඳහා දීර්ඝ වශයෙන් මහජනතාව ගෙන් කරුණු විමසා වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදී. නව ව්‍යවස්ථාවක් සඳහා වන පාර්ලිමේන්තු අනු කමිටු වලට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද සහභාගී වුහ. සමහර කමිටුවල සභාපතිත්වය දරන ලද්දේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විසිනි.

මෙම අවස්ථාවේදී සංඝයා වහන්සේගේ ස්ථාවරය ජනතා අභිලාෂයන්ට පටහැනිය. ව්‍යවස්ථාවේ යෝජිත කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රගතිශීලි ක්‍රියාවක් වන අතර ආණ්ඩුවේ බලාපොරොත්තුවද එයම වේ. මක්නිසාද යත් 1972 සහ 1978 ව්‍යවස්ථාවන් සම්පාදනය කරන ලද්දේ ජනතා අදහස් විමසීමෙන් පසුව නොවේ. එමෙන්ම එම ව්‍යවස්ථාවන් එවකට බලයේ සිටි පක්ෂයේ අදහස් අනුව සකස්වුන ව්‍යවස්ථා ය. එවකට බලයේ සිටි පක්ෂ වලට පාර්ලිමේන්තුවේ 2/3 කට අධික බලයක් තිබු බැවින් එලෙස කටයුතු කල හැකිවිය. ඉදිරිපත් කර ඇති යෝජනා සියලුම පක්ෂ වල සහභාගිත්වයෙන් ඉදිරිපත් කර ඇති අතර එකඟ විය නොහැකි කරුණුද දක්වා තිබේ.

එබැවින් මෙම ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වන අතර මෙම යෝජනා පාර්ලිමේන්තුවෙන් අනුමත වුවහොත් ජනමත විචාරනයකින්ද අනුමත විය යුතුය.

ව්‍යවස්ථාව මගින් රටේ සියලුම ප්‍රශ්න වලට විසඳුම් දිය නොහැකි මෙන්ම රටේ බහුතරයක් පිළිගන්නා ව්‍යවස්ථාවක් රටකට අත්‍යවශ්‍යය.

මෙම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය කඩාකප්පල් කිරීමේ අභිලාශයක් මෙරට සංඝයා වහන්සේට ඇතිබව පෙනෙන්නට තිබේ. එමෙන්ම උන්වහන්සේට යම් දේශපාලන අරමුණක් ඇති බවද එම අරමුණ අනුව කටයුතු කරන බවද පෙනෙන්නට තිබේ. එවැනි අරමුණක් නොමැති නම් උන්වහන්සේ කරනු ඇත්තේ ව්‍යවස්ථාවට යම් යෝජනා ඉදිරිපත් කිරීමයි. එය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම නොවේ. සංඝයා වහන්සේ හෝ වේවා දෙවියන් වහන්සේ හෝ වේවා මේ කිසිම කෙනෙකුට ජනතා අභිලාෂයන්ට පයින් ගැසීමට බලයක් නොමැත. මෙරට පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට වන අතර සංඝයා වහන්සේට නොවේ.

එමෙන්ම බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලට විරුද්ධව යමින් මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීමට අකුල් හෙලමින් ඉතිහාසය පුරා කටයුතු කර ඇත්තේ සංඝයා වහන්සේය. එය තවදුරටත් කිරීමට උන්වහන්සේලා උත්සාහ කරන බව පෙනේ.

මෙරට සංඝයා වහන්සේ ජනතා අභිලාෂයන්ට පටහැනිව යන්නේ නම් එය එතරම් ගණන් ගත යුතු කාරණයක් නොවේ. මක්නිසාද යත් ඉදිරියේදී මහා ජනතා අභිලාශය විසින් මෙම චුල අභිලාෂයන් විනාශ කර දමනු ඇති නිසාය. එබැවින් උක්ත කරුණ පිළිබඳව ජනතාව තව දුරටත් දැනුවත් කිරීම සහ මේ පිළිබඳව විවාද කිරීම අප සියලු දෙනාගේම වගකීම සහ යුතුකම වේ.

-හර්ෂ ගුණසේන/සමබිම

Archive

Latest news

Related news