Saturday, May 4, 2024

ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටු දැකීමට සංගක්කාර සහ මහේල එක්වෙති.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වවය ගැන හඬ නැගීම: මහේල සහ කුමාර් පාසල් තුළ දැනුවත්කම ඇති කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ යුරෝපා සංගමය සමග එක්ව සිටිති.

කොළඹ, 2017 ඔක්තෝබර් 17 – ලොව සුපතළ ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ අවශ්‍යතාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පාසල් ළමයින් 100කට වැඩි පිරිසක් අමතා කතා කළහ.

එදිනෙදා ජීවිතයේ දී කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අඛණ්ඩව ඉහළ මට්ටම්වලින් සිදු වෙමින් පැවතීම ගැන කතා කිරීම සඳහා මෙහි දී මහේල සහ කුමාර් සමග අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම් මහතා, යුරෝපා සංගම් තානාපති  තුන්-ලායි මාර්ග් මහතා සහ ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය පිළිබඳ විශේෂඥ ශ්‍රියානි පෙරේරා මහත්මිය ද වේදිකාවට එක් වූහ.

අමාත්‍ය කාරියවසම් මහතා සහ තානාපති මාර්ග් මහතා මහේල සහ කුමාර් පෙනී සිටින වීඩියෝවක් සභාවට හඳුන්වා දුන්හ. ගැටලුව පිළිබඳ දැනුවත්කම ඇති කිරීම සඳහා එය ශ්‍රී ලංකාවේ පාසල්වලට බෙදා හැරීමට නියමිත ය. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සමරනු පිණිස මෙම වීඩියෝව නිෂ්පාදනය කරන ලද්දේ යුරෝපා සංගම්  (EU) නියෝජිත මණ්ඩලය විසිනි.

මේ මුල පිරීම ගැන අදහස් දක්වමින් අමාත්‍ය කාරියවසම් මහතා මෙසේ පැවසුවේ ය: “ශ්‍රී ලංකාවේ රජය කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කරන්න දැඩි කැප වීමකින් කටයුතු කරනවා. එය පැතිර පැවතීමට එරෙහිව සටන් කරන්න වැදගත් පියවරයන් අර ගෙන තියෙනවා. නමුත් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවට පත් කරන, එය තව තවත් ශක්තිමත් කරන ආකල්ප හා චර්යාවන්ට අභියෝග කරන්න, ඒවා වෙනස් කරන්න ස්ථිර, සාමූහික පරිශ්‍රමයන් දැරිය යුතු වෙනවා. මේ වගේ චාර්යාවන් කිසි සේත් ම පිළිගත නොහැකි බව අවධාරණය කිරීමට තමන්ගේ කාලය කැප කරන්න මහේල සහ කුමාර් කැමැත්ත පළ කිරීම ගැන මම ඒ දෙපළට මගේ කෘතඥතාව පුද කරනවා. ඒ වගේ ම මේ ගැටලුව ගැන දැනුවත්කම ඇති කිරීමේ දී පවුල් පුනරුත්ථාපන කේන්ද්‍රය සමග එක් වෙලා කටයුතු කරමින් ලබා දෙන සහායට යුරෝපා සංගමයටත් මම මගේ ස්තුතිය පුද කරනවා.”

“කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් අපගේ දූතයන් විදියට කටයුතු කරන්න කුමාර් සහ මහේල එකඟ වුණා ම අපි ඉතාමත් සතුටට පත් වුණා. මේ බරපතල, ගැඹුරින් මුල් බැස ගත්ත ගැටලුව ගැන එවැනි ආදර්ශවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ මුවින් ශ්‍රී ලාංකික පිරිමින්ට අහන්න ලැබෙන එක ඇත්තට ම වැදගත්,” .

තානාපති තුන්-ලායි මාර්ග් මහතා පැවසී ය. “ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් අඩකටත් වඩා යම් ආකාරයක ප්‍රචණ්ඩත්වයක් අත්විඳලා තියෙන බව ඒ ගැන කළ අධ්‍යයනයන්ගෙන් පෙන්නුම් කෙරිලා තියෙනවා. ඒත් ගැටලුව ගැන විවෘත ප්‍රසිද්ධ සාකච්ඡා සිදු වෙන්නේ ඉතා ම අඩුවෙන්. කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ කටයුතු ආරම්භ වෙන්නේ ඒ ගැන පාසල් ළමයින්ට වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබා දීමෙන් සහ ඔවුන් වඩාත් දැනුවත් කිරීමෙන්. කුමාර් සහ මහේල මේ ගැටලුව ගැන කතා කරන එක ප්‍රසිද්ධියේ මේ ගැටලුව ගැන කතාබහ කිරීම වඩාත් පහසු කරන්න උදව් වේවි කියලා අපි විශ්වාස කරනවා. මේ මුල පිරීම ලෝකය තුළ සහ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය පදනම් කර ගත් වෙනස්කම් කිරීම්වලට එරෙහිව සටන් කරන්නත් ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය නිසා පැන නගින ගැටලු ගැන දැනුවත්කම ඇති කිරීම සඳහාත් අප කරන දීර්ඝ කාලීන කැප වීමේ කොටසක්.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලයේ පුවත් නිවේදනයක් ඇසුරිනි.

Archive

Latest news

Related news