Thursday, March 28, 2024

ඒකීය-පෙඩරල් හරඹය – මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා

ජායාරූපය: පළාත් සභා ක්‍රමය පිහිටුවීමෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රයෝගික අර්ථයෙන් තවදුරටත් ඒකී්‍ය රාජ්‍යක් නොවේ.

ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රය තුළ ඒකීය – පෙඩරල් හරඹය යළි පටන් ගෙන ඇත. හරඹයට පාදක වී තිබෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ 21 දින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතුරු වාර්තාවයි. එම වාර්තාවේ දැක්වෙන යෝජනා සහ නිර්දේශ සමහරු දකින්නේ සහ අර්ථකථනය කරන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීය භාවය විනාශ කරමින් පෙඩරල් ආණ්ඩු ක්‍රමයක් පිහිටුවීමට ගන්නා උත්සාහයක් ලෙසය.

යෝජනා සහ නිර්දේශ සකස් කොට ඉදිරිපත් කර ඇති අය තර්ක කරන්නේ එම චෝදනාව මුලුමණින්ම සාවද්‍ය එකක් වන බවත් සහ එම යෝජනා සහ නිර්දේශ මඟින් ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීය භාවය කලින් තිබුණාටත් වඩා හොඳින් ආරක්‍ෂා කොට ඇති බවත්ය. ඇත්ත කියන්නේ කවුද? ජනතාව පිළිගත යුත්තේ කාගේ මතයද?

ඒකීය පෙඩරල් වචන දෙක අල්ලා ගෙන දේශපාලන ක්ෂෙත්‍ර තුළ කරගෙන යන හරඹයේදී කවුද හරි යන්න තීරණය කිරීම පහසු දෙයක් නොවේ. හේතුව මෙම වචන දෙකෙන් නිශ්චිත ලෙසම අදහස් කරන්නේ කුමක්ද යන්න සහ එම වචන දෙකෙන් අදහස් කරන දේවලට සමානුරූපී දෙයක් අතුරු කමිටු වාර්තාවේ යෝජනා සහ නිර්දේශ මඟින් සැබැවින්ම නිශ්චිත ලෙස ප්‍රකාශ වනවාද යන ගැටලුව පැවතීමය.

මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමේදී ප්‍රථමයෙන්ම අවධානය යොමුකළ යුත්තේ එකීය රාජ්‍ය සහ පෙඩරල් රාජ්‍ය යනුවෙන් අදහස් කරන රාජ්‍යවල ස්වභාවය පිළිබඳවය. ගැඹුරු සහ සංකීර්ණ අර්ථකථනවලට නොයමින් ඒකීය සහ පෙඩරල් රාජ්‍ය අතර පවතින වෙනස හඳුනගැනීම පිළිබඳව මෙවර අ. පො. ස. (උ. පෙ.දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 3.ii) ප්‍රශ්නයට සපයා තිබුණ ආදර්ශ පිළිතුර කියවා තේරුම් ගැනීම ප්‍රයෝජනවත් වේයැයි සිතමි.

‘‘ඒකීය රාජ්‍යයක් යනු සියලු ස්වාධිපත්‍ය බලතල මධ්‍යම හෝ ජාතික ආණ්ඩුව වෙත පිහිටා ඇති රාජ්‍යය වේ. මෙම රාජ්‍යයන්වල පළාත්, ප්‍රාදේශීය වැනි ආණ්ඩුවේ කුඩා ඒකක ක්‍රියාත්මක වූවත් එවා සතුව ස්වාධීන තීරණ නිර්මාණයට අවශ්‍ය අධිකාරිත්වයක් නොමැත. මෙම ආයතන වෙත මධ්‍යම ආණ්ඩුවේ ඕනෑම බලයක් පැවරීමට මධ්‍යම ආණ්ඩුවට හැකියාව ඇති අතර ඒවා මධ්‍ය ව්‍යවස්ථාදායකයේ සම්මත අණපනත් මඟින් සිදුකරනු ලැබේ. අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒවා නැවත පවරා ගැනීමට මධ්‍යම ආණ්ඩුවට හැකි වන්නේ එම බලය පැවරීම් ව්‍යවස්ථාවෙන් සිදුකොට නොමැති නිසාය. ඒකීය ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාදායකය යනු සමස්ථ රාජ්‍යයටම නීති සම්පාදනය කිරීමේ උත්තරීතර ආතනය වේ’’.

මේ අනුව ඒකීය ආණ්ඩුක්‍රමයක ප්‍රධාන ලක්‍ෂණ පහත සඳහන් ආකාරයට හඳුනා ගත හැක.

තනි මධ්‍යම ආණ්ඩුව තුළ බලය සහ අධිකාරිත්වය පිහිටා තිබීම සහ උප ජාතික ආණ්ඩු සහ අනෙක් ප්‍රාදේශීය ඒකක ස්වාධීන දේශපාලන බලයක් හිමි නොවීම.

ආණ්ඩුවේ ප්‍රාදේශීය කලාප ඒකක මධ්‍ය මඟින් පැවරූ බලය සහ අධිකාරිය ක්‍රියාවට නැවීම.

මධ්‍යම ආණ්ඩුවට ඕනෑම මොහොතක ප්‍රාදේශීය ඒකකවල සීමාවන් ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට කටයුතු කළ හැකි වීම.

මධ්‍යම ආණ්ඩුවේ ක්‍රියා සහ ප්‍රතිපත්ති මඟින් උප ජාතික මට්ටමේ ක්‍රියාවන් සහ ප්‍රතිපත්ති පාලනය කිරීමට හෝ බලරහිත කිරීමට හැකිවීම.

‘‘පෙඩරල් යන පදය ලතින් භාෂාවෙන් බිඳී ආ එකක් වන අතර එහි අර්ථය එක්සත් මණ්ඩලය යන්නය. සන්ධීය ආණ්ඩුවක් යනු අඩුම වශයෙන් ආකාර දෙකක පැවැත්ම සහිත එකකි. ආණ්ඩුවේ බලය ජාතික ආණ්ඩුව සහ ව්‍යවස්ථානුගත ඒකක අතර බෙදා හැර ඇත. මහාචාර්ය කේ. සී. වියර් දක්වන ආකාරයට ආණ්ඩුවේ බලය සමස්ථ රට වෙනුවෙන් ආණ්ඩුවක් වෙත සහ රාජ්‍යයේ කොටස් වෙනුවෙන් ආණ්ඩු කිහිපයක් අතර බෙදී ඇත. තම සීමාව තුළ මෙම ආණ්ඩු නෛතික වශයෙන් ස්වාධීන වේ. එකක් අනෙකට යටත් නොවන අතර ඒවා සම්බන්ධීකරණය කෙරේ. මේ ආකාර බලය බෙදීමක් සිදුවන්නේ ව්‍යවස්ථාවෙනි’’. සන්ධීය ආණ්ඩු ක්‍රමයක පහත සඳහන් ලක්‍ෂණ අන්තර්ගත වේ.

මට්ටම් දෙකක ආණ්ඩු ක්‍රියාත්මක වීම.

මධ්‍යම සහ ප්‍රාන්ත අතර ව්‍යවස්ථාවෙන්ම බලබෙදීමක් පැවතීම.

ව්‍යවස්ථාව උත්තරීතර නීතිය ලෙස පිළිගැනීම.

අධිකරණ විවරණ බලය සහිත සුප්‍රීම් උසාවියක ක්‍රියාකාරිත්වය.

මෙම අර්ථකථනයෙන් පැහැදිලිවම පෙනී යන්නේ රාජ්‍යය සතු අසහාය බලය ලෙස සලකන ස්වාධිපති බලය මධ්‍යගත වීම හෝ විමධ්‍යගත වීම සහ එසේ මධ්‍යගත වූ හෝ විමධ්‍යගත වූ බලය ක්‍රියාවට නැංවීම සඳහා රාජ්‍ය තුළ පවතින ආණ්ඩුකරන ආයතන පද්ධතියේ සංඛ්‍යාත්මක ප්‍රමාණය අනුව යම් රාජ්‍යයක් ඒකීය රාජයයක්ද නැතිනම් පෙඩරල් රාජ්‍යයක්ද යන්න තීරණය වන බවය.

මේ අනුව පෙනී යන්නේ යම් රාජ්‍යයක ස්වාධිපති බලය ක්‍රියාවට නැංවීම සඳහා පවතින්නේ එක් තනි මධ්‍යම ආණ්ඩුවක් පමණක් නම් එවැනි රාජ්‍යයන් ඒකීය රාජ්‍යයන් ලෙස සලකන බවය.

අනෙක් අතට යම් රාජ්‍යයක් තුළ ස්වාධිපති බලය ක්‍රියාවට නැංවීම සඳහා මධ්‍යම ආණ්ඩුවක් සහ රටේ මූලික නීතිය ලෙස සලකන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම බෙදා වෙන්කොට පවරන ලද බලයක් භුක්ති විඳින තවත් ආණ්ඩු කිහිපයක් තිබේ නම් එවැනි ආණ්ඩු පෙඩරල් ආණ්ඩු ලෙස සලකන බවය. මෙයින් එක් දෙයක් පැහැදිලි වේ.

එනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක ඒකීය රාජ්‍ය යන පදය යෙදීම පමණක් රාජ්‍යයක් ඒකීයද නැද්ද යන්න තීරණය කිරීම කෙරෙහි ප්‍රමාණවත් නොවන බවය. සැබැවින්ම ඒ සඳහා යොදාගත යුත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පදයට අනුකූල ආණ්ඩු ක්‍රම යාන්ත්‍රණයක් දේශපාලන ක්‍රමය තුළ තිබෙනවාද නැද්ද යන කරුණය. ශ්‍රී ලංකා රාජ්‍ය ඒකීය එකක්ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ මෙම පදනම මතය.

සමහරුන් ප්‍රකාශ කරන ආකාරයට 1972 සහ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දෙකේ අන්තර්ගත 2 වන වගන්තිය මඟින් ප්‍රකාශ වන්නේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන බවය. එය පහත සඳහන් පරිදිය.

1972 ව්‍යවස්ථාව (සිංහල පිටපත-‘ශ්‍රී ලංකා ජනරජය ඒකීය ජනරජයකි’)

1978 ව්‍යවස්ථාව (සිංහල පිටපත-‘ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි’)

1972 ව්‍යවස්ථාව (ඉංග්‍රීසි පිටපත-‘The Republic of Sri Lanka is a Unitary State)

1978 ව්‍යවස්ථාව (ඉංග්‍රීසි පිටපත-‘The Republic of Sri Lanka is a Unitary State)

මෙහි සඳහන් වන Republic හෙවත් ජනරජය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? ඉංග්‍රීසි භාෂාවේ Republic යන පදයෙන් අදහස් වන්නේ සමූහාණ්ඩුව හෙවත් පරමාධිපත්‍ය බලය ජනතාව සතු වන පාලන ක්‍රමයක් වන බවය. මේ සම්බන්ධයෙන් දැක්වෙන තවත් අදහසකින් ප්‍රකාශ වන්නේ රජ කෙනකු රාජ්‍ය නායකත්වය නොදරන පරමාධිපත්‍ය බලය ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් සමුහාණ්ඩුවක් ලෙස සැළකෙන බවය. මේ අනුව ව්‍යවස්ථා දෙකේ සිංහල යෙදුම ගතහොත් ඒකීය වන්නේ ආණ්ඩුව මිස රාජ්‍යය නොවේ.

ඉංග්‍රීසි යෙදුම සිංහල යෙදුමටත් වඩා අවුල් සහගත තත්වයක් පෙන්නුම් කරයි. ව්‍යවස්ථා දෙකෙන්ම කියවෙන්නේ ශ්‍රී ලංකාවේ පාලන බලය ක්‍රියාවට නංවන්නේ සමූහාණ්ඩුවකින් බවත් එය ඒකීය රාජ්‍යයක් වන බවත්ය. මෙය ආරුබූරු ප්‍රකාශයක් බව අමුතුවෙන් කිවයුතු නැත. මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන බව 1972 සහ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දෙකේ පැහැදිලිව අර්ථකථනය කර නොමැති බවය. මෙයට හේතුව එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දෙක සම්පාදනය කළ අයට ආණ්ඩුව සහ රාජ්‍ය යන දේශපාලන සංවිධාන දෙක අතර පවතින වෙනස පිළිබඳව අවබෝධයක් නොතිබීම බව පැහැදිලිවම පෙනී යයි. මෙයින් පැහැදිලි වන එක් කටුක සත්‍යයක් තිබේ. එය වූ කලී වෙනත් දෙයක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය හුදෙක් උගත් නීතීඥයින් විසින්ම කළයුතු දෙයක් නොවන බවය.

මෙම වචන අර්බුදය කෙසේ වෙතත් ආණ්ඩු ක්‍රමයක ස්වභාවය හඳුනා ගැනීම සඳහා භාවිතයට ගැණෙන දෙවන නිර්ණායකය වන රාජ්‍යයක පාලන බලතල ක්‍රියාවට නංවන්නේ තනි ආණ්ඩුවකින්ද නැතිනම් ආණ්ඩු කිහිපයකින්ද යන්න සලකා බලනවා නම් පැහදිලිවම පෙනී යන්නේ 1987 පළාත් සභා ආණ්ඩු ක්‍රම හඳුන්වා දීමෙන් පසුව මෙරට තිබෙන්නේ පෙඩරල් ආණ්ඩු ක්‍රමයට සමාන ආණ්ඩු ක්‍රමයක් බවය.

එබැවින් අතුරු වාර්තාවෙන් පෙඩරල් ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දීමට උත්සාහ ගන්නවාය යන්න කිසිසේත්ම පිළිගත හැකි කරුණක් නොවේ. මේ සත්‍යය කවුරුත් අවබෝධ කරගත යුතුය. මෙය වසන් කරමින් යමෙක් තවදුරටත් ඒකීය රාජ්‍යයක් ගැන කථා කරනවා නම් ඔවුන් කරන්නේ ජනතාව නොමඟ යැවීමය.

(දිනමිණ)

Archive

Latest news

Related news