Sunday, May 19, 2024

බැදුම්කර වංචාව එජාපයේ සැලැස්මක් බවට යළි සනාත වෙයි

( ශ්‍රී ලංකා බ්‍රීප්/ 07 ඔක්කෝබර් 2017) බැ දුම්කර ගනුදෙනුවෙහිදී ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට සියලු වාසි ලබා ගැනීමට අවස්ථාව ලැබු‍ණේ එම වෙන්දේසියේදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස  රාජ්‍ය බැංකුවලට පෙරදින මුදල් අමාත්‍යාංශයේදී රවි කරුණානායක විසින් කරන ලද ඉල්ලීම අනුව, ඉදිරිපත් කළ යුතු “අඩු ලංසු සීමාව”  නිසා බව දැන් හෙළිදරව් වී තිබේ. රවි කරුණානායක මෙම උපදෙස් දී ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම් මහතාද ඇතිවය. මෙවැනි උපදේශයක් හුදෙක් රවි කරුණානායක විසින් දෙන ලදැයි සිතීම දුෂ්කර  බව ආර්ථික අංශ ප්‍රකාශ කරති. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ  ලංකා බැංකුවේ  ප්‍රධානීන් දෙදෙනාම එම ප්‍රකාශය එලෙසම කරන ලදී.  මෙම උපදෙස් ලබා දී ඇත්තේ 2016 මාර්තු මස 29 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියට පෙර දිනයේ එනම් 28 වැනි දින රවි කරුණානායක ඇමැතිවරයා විසින් කැඳවා තිබූ මුදල් අමාත්‍යාංශයේ රැස්වීමකදීය. මෙමගින් රාජ්‍ය බැංකු වලට ලබා ගත හැකිව තිබූ මිලියන ගණනාවක මුදලක් අහිමි වී තිබේ.

2016.03.29 වැනි දින බැඳුම්කර වෙන්දේසියේදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස ඊට පෙරදින මුදල් අමාත්‍යාංශයේදී රවි කරුණානායක විසින් කරන ලද ඉල්ලීම අනුව, ඉදිරිපත් කළ යුතු “අඩු ලංසු සීමාව” ජාතික ඉතිරි කිරීමේ බැංකුවට යළි දැනුම්දෙන ලද්දේ මහ බැංකුවේම නියෝජ්‍ය අධිපති පී. සමරසිරි විසින්ම බව පෙරේදා (04) මහ බැංකු බැඳුම්කර විමර්ශන කොමිසම හමුවේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ භාණ්ඩාගාර කටයුතු පිළිබඳ උපදේශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අප්පුහාමිගේ ලයනල් මහතා හෙළි  කරන ලදී.

සාමාන්‍යයෙන් වෙන්දේසියකදී ඒ සඳහා මිල ගණන් නියම කොට ලංසු ඉදිරිපත් කරන්නේ බැංකුවේ ඊට අදාළ සියලු අංශ එහි නිලධාරීන් සමඟ කරුණු සාකච්ඡාකොට අවසානයේ සැසඳුම් කමිටුවට ඉදිරිපත් කොට එමඟින්ද අනුමත කළ පසුව බවත්, එහෙත් එම වෙන්දේසි දෙකේදීම (මාර්තු 29 හා මාර්තු 31 යන දෙදින පැවැති) රවි කරුණානායක මුදල් ඇමැතිවරයා ලබාදුන් සීමාවන් තුළ සිට ඉතා අඩු ලංසු ඉදිරිපත් කරන්නට සිදුවීම නිසා බැංකුවට ලැබිය යුතුව තිබූ රුපියල් කෝටි ගණනක ලාභය අහිමිව ගිය බවද ඔහු වැඩිදුරටත් පැවසා ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම් මහතාද ඇතුළුව රාජ්‍ය බැංකු ප්‍රධානීන් තිදෙනාවද සාමාන්‍යාධිකාරිවරුන්ද කැඳවා රවි කරුණානායක ඇමැතිවරයා විසින් පවත්වන ලද එම රැස්වීමේදී මහ බැංකුවේම නියෝජ්‍ය අධිපතිවරයකු වූ සමරසිරි මහතා විසින්ම එම “අඩු ලංසු සීමාවන්” ලබාදෙන ලද බවද ඔහු කොමිසමේ සාමාජික ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියන ලදී.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන පී. සමරසිරි ද එම රැස්වීවේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් සිටි බවද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේය.

කොමිසම හමුවේ රොනල්ඩ් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ රවි කරුණානායක ඇමැතිවරයා රාජ්‍ය බැංකු තුනෙහිම අධිපතිවරුන් අමතමින්, ඇතැම් විට පෞද්ගලිකව නම්ද සඳහන් කරමින් ඉල්ලීමක් ඉදිරිපත් කළ බවය.

එම ඉල්ලීම වූයේ රජයේ හදිසි මුදල් අවශ්‍යතාවක් පිරිමසාගැනීම සඳහා පසු දිනයේ (29) පවත්වන භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී අවම ලංසුවකට මිල ගණන් ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය බැංකුවලින් ඉල්ලා සිටින බවය.

ඒ අනුව, ඉදිරිපත් කළ යුතු ලංසුව හා අනුපාතයන් පිළිබඳව සීමාවන්ද ඇමැතිවරයා විසින්ම ඒ අවස්ථාවේදීම ලබාදෙන ලද බවද ඔහු කියා සිටියේය.

එම වෙන්දේසි පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබූ තොරතුරු මත පදනම්ව ලංසු ඉදිරිපත් කිරීමට ලංකා බැංකුව සියලු කටයුතු සූදානම් කොට තිබූ බවත් එම අවස්ථා දෙකේදීම එලෙස පිළියෙල කළ මිල ගණන් ඉවත දමා ඇමැතිවරයා විසින් ලබාදෙන ලද සීමාවන් මත පදනම්ව අලුතින් ‘ලංසු’ ඉදිරිපත් කිරීමට සිදුවූ බවත්ය.

එකී ක්‍රියාවන් හේතුවෙන් රටේ ප්‍රධානතම රාජ්‍ය බැංකුව වන තම බැංකුවට බරපතළ හානියක් සිදුවූ බව තමාගේ වැටහීම බවද එකී වෙන්දේසි දෙකේදීම ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට සියලු වාසි ලබා ගැනීමට එය හේතු පාදක වූ බව ඉතාමත්ම පැහැදිලි කරුණක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

රවි කරුණානායක ඇමැතිවරයාගේ මැදිහත්වීම මත එම තත්වය උදාවූ බවද මෙමඟින් ලංකා බැංකුව විසින් සකසනු ලැබ තිබූ ‘ආයෝජන සැලසුම’ (Investment Plan) මඟින් උපයාගත හැකිව තිබූ රුපියල් මිලියන ගණනක ලාභයක් අහිමිවූ බවද ඔහු වැඩිදුරටත් කොමිසමට ප්‍රකාශ කළේය.

වෙන්දේසි දෙකෙන්ම ලංකා බැංකුවට අහිමිව ගොස් පර්පචුවල් සමාගමට හිමිකරගත හැකිවූ ලාභයේ එකතුව ගණනය කළහොත් එය රුපියල් කෝටි සිය ගණනක් ඉක්මවා යන බවද ඔහු කියා සිටියේය.

ලංකා ට්රුත් වාර්තාවක්ද  අසුරින් සකස් කරන ලදී.

Archive

Latest news

Related news