Monday, May 20, 2024

නි.පොලිස්පති ලලිත් ජයසිංහට නඩු පවරනු- මැතිවරණ නිරීක්ෂණ සංවිධාන

ජායාරූපය: නි.පොලිස්පති ලලිත් ජයසිංහ.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වල ඒකාබද්ධ පුවත්පත් නිවේදනය : පසුගිය ජනාධිපතිවරණයේ වාර්තා වූ එකම මිනිස් ඝාතනය වූ කහවත්ත ඝාතන සිද්ධියේ සැකකරුවන්ට රැකවරණ සපයන ලදැයි චෝදනාව විධිමත් විමර්ශනයකට ලක් කොට නඩු පැවරිය යුතුය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ වාර්තා වූ පළමු මිනිස් ඝාතනය සිදු වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ආසනයේය. එකී ඝාතනයට අදාළ නඩු විභාගය ඊයේ දිනයේදී එනම් සැප්තැම්බර් මස 25 වැනිදා පැවැත්විණි.ඒ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදීය.  එකී නඩුව මගින් චෝදනා ලත් ඝාතකයන් සඟවාලීම සඳහා ක්‍රියාකරන ලදැයි චෝදනා ලත් හිටපු ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද්දේ පොලිස් මූලස්ථානයේ පිහිටුවා ඇති විශේෂ විමර්ශණ ඒකකය මගිනි. එලෙස එකී ඝාතනයේ සැකකරුවන් ආරක‍්ෂා කිරීම සඳහා තම ධුරයේ බලය අයුතු ආකාරයෙන් යොදවමින් බරපතල විෂමාචාරයක් සිදු කරන ලදැයි චෝදනා ලද්දේ වුවද හිටපු නි.පොලිසිපතිවරයා  කිසිදු අපහසුතාවයකින් තොරව එම දිනයේදීම පැය කිහිපයක් තුළ ඇප ලැබීම පිළිබඳව මෙරටේ මැතිවරණ නිරීක‍්ෂණ සංවිධාන තම කනස්සල්ල පළකර සිටී.

මෙලෙස ඝාතනයට ලක් වූයේ ශාන්ත දොඩංගොඩ මහතාය (57). ඔහු පසුගිය ජනාධිපතිවරණය සඳහා තරඟ වැඳුණු පොදු අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැළියක් පැවැත්වීම සඳහා අවශ්‍ය වේදිකාවක් සකසමින් සිටින අතරතුර ඝාතනයට ලක් වූ අතර ඒ වෙනුවෙන් චෝදනා එල්ල වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හා තවත් ප්‍රාදේශීය දේශපාලඥයන් දෙදෙනෙකුට එරෙහිවය.එහෙත් කහවත්ත පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ බී වාර්තාව තුළ අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නම සඳහන් නොවූ බවට වාර්තා විය. එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නම බී වාර්තාවේ සඳහන් නොකරන ලෙසට උපදෙස් ලබන දෙන ලද්දේ මෙකී හිටපු නි.පොලිස්පතිවරයා ය යන සැකය මත ඔහු ඊයේ දිනයේ දී පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.¡

මෙලෙස චෝදනා ලැබූ හිටපු නි.පොලිස්පතිවරයා පසුගිය කාල සීමාව පුරාවට ම තම ධූරයේ බලය අයුතු ලෙස භාවිත කරමින් ශ්‍රී ලංකා පොලීසිය අපකීර්තියට පත්වන ලෙස ක්‍රියාකරන ලද බව මෙරටේ මැතිවරණ සංවිධාන වල නිරීක‍ෂණයයි. වසර 2014 දී පැවති ඌව පළාත් සභා ඡන්ද විමසීමේදී ද එකී පළාත භාරව කටයුතු කරමින් සිටි මොහු, අංක තහඩු රහිතව ප්‍රදේශය පුරා සැරිසරමින් ප්‍රචණ්ඩත්වයක් මුදාහළ දේශපාලන ආධාරකරුවන්ට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් ගනු නොලැබීය. තවද මෑතදී ඉතා අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ විද්‍යා දැරියගේ ඝාතකයන් හට රැකවරණය සපයන ලදැයි යන චෝදනාව ද ඔහුට එල්ල වීය. ඔහු වැඩ තහනමට ලක් කරන ලද්දේ ද එකී සිදුවීම පාදක කර ගනිමිනි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට කළ හැකි කාර්යභාරය ඉතා තීරණාත්මකය. මෙරටේ අවසන් වරට පැවති මහ මැතිවරණය සාපේක‍්ෂව නිදහස් හා සාධාරණ එකක් වූ අතර එහිලා ශ්‍රී ලංකා පොලීසිය දැක්වූ දායකත්වය අනභිබවනීය විය. ඒ අනුව   පක‍ෂග්‍රාහීත්වයකින් තොරව කටයුතු කිරීම ශ්‍රී ලංකා පොලීසියේ ගෞරවය ඉහළ නංවන්නක් බව අවිවාදිත කරුණකි. එහෙත් පසුගිය මැතිවරණ කාලසීමාවන් හිදී කවර චෝදනා එල්ල වුවද  මෙකී හිටපු නි. පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු නොලැබීය.

[alert type=”success or warning or info or danger”]මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දිගින් දිගටම කරුණු අනාවරණය කළද ඔහුට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් හෝ නොගැනීම විශ්මය දනවන්නකි.එපමණක් නොව සාක‍ෂි වසන් කිරීම සහ ව්‍යාජ වාර්තා සකසා ඝාතකයන් නිදහස් කිරීම සඳහා කටයුතු කරන ලදැයි යන බරපතල චෝදනාව ලත් අවස්ථාවකදී පවා ඔහුට ඇප ලබාදීමට එරෙහිව කරුණු නොදක්වා අදාළ පොලිස් නිලධාරීන් නිහඬව සිටීම කණස්සල්ලට කරුණකි. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ඇති චෝදනාව සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කරමු.[/alert]

දිගින් දිගටම මෙකී හිටපු නි.පොලිස්පතිවරයා හා සබැඳි සිද්ධීන් වලදී ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියා කර ඇති ආකාරය අතිශය ගැටලූ සහගතය. ඒ අනුව මේ පිළිබඳ කරුණු සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින අතර එවන් සිදුවීම් නැවත සිදු නොවන බවට වග බලා ගන්නා ලෙස ද මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පොලිස්පතිවරයාගෙන් සහ අදාළ අනෙකුත් පාර්ශවයන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටී.

අත්සන් කළේ :  රෝහණ හෙට්ටිආරච්චි       –   විධායක අධක‍්ෂ, පැෆරල් සංවිධානය

කීර්ති තෙන්නකෝන් –   විධායක අධක‍්ෂ, කැෆේ සංවිධානය

අශෝක ඔබේසේකර – විධායක අධ්‍යක්ෂ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය

මංජුල ගජනායක     –   ජාතික සම්බන්ධීකාරක, මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක‍ෂණ මධ්‍යස්ථානය

රසාංග හරිස්චන්ද්‍ර    –   ජාතික සංවිධායක, ජාතික මැතිවරණ නිරීක‍ෂණ සංවිධානය

 

Archive

Latest news

Related news