Thursday, November 21, 2024

පළාත් පාලන ඡන්ද පනතට ගෙන ආ සංශෝධනය දේශපාලන නාටක වෙනුවට ජනතා භූමිකාවට පදනමක් – සුනිල් ජයසේකර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුව ඇමතීම සඳහා මෙවර ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේ මුළුමහත් රටටම ඉතා වැදගත් වියහැකි පණිවුඩයක් ද ලබාදීමෙන් අනතුරුවය. ඉදිරියේදී මේ රටේ පැවැත්වෙන සියලු මැතිවරණ කොට්ඨාශ ක්‍රමය අනුව පැවැත්වීම සඳහා කටයුතු කරන බව එසේ ලබාදී ඇති වැදගත් පණිවුඩයයි.

රටට අදාළව සලකා බැලීමේදී එම පණිවුඩය ඉතා වැදගත් වන්නේ කරුණු ගණනාවක් හේතුවෙනි. මේ රටේ බොහෝ දෙනෙක් දැනට ක්‍රියාත්මකව පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය පිළිකෙව් කරන්නේ ඒ තුළ පවත්නා අධි තරගකාරීත්වය හේතුවෙනි. විශේෂයෙන්ම මහජන කැමැත්ත යටපත් කිරීම සඳහා ධන බලය යොදාගැනීමට ඇති හැකියාව හේතුවෙනි. නිශ්චිත වශයෙන්ම තමන්ට වගකියන මහජන නියෝජිතයෙක් ඒ තුළ දැකගත නොහැකි හෙයිනි. ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් අතර පමණක් නොව තමන්ගේම වූ දේශපාලන පක්ෂය හා කණ්ඩායම නියෝජනය කරන අපේක්ෂකයින් අතර හටගන්නා තරගය හා ඒ තුළ නිතැතින්ම නිර්මාණය වන්නා වූ ප්‍රචණ්ඩත්වය ද හේතුවෙනි. මේ රටේ සෑම ඡන්ද දායකයෙකු තුළම පාහේ අඩු වැඩි වශයෙන් එවැනි අත්දැකීම් පවතී.

එහෙත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සලකා බැලීමේදී එකී කරුණු වලටත් වඩා තීරණාත්මක ලෙස හානිදායක වන කරුණු ගණනාවක් සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ නිහඬවම සැඟැවී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජන බලය නියෝජනය කරන්නා වූ පාලන සම්ප්‍රදායක් නම් එය ප්‍රදර්ශනය විය යුත්තේ විටෙන්විට පැවැත්වෙන මැතිවරණ හරහා පමණක්ම නොවේ. රටක පැවැත්වෙන නිදහස් හා සාමකාමී මැතිවරණ මහජන බලය උරගා බැලෙන එක්තරා නිර්ණායකයක් පමණකි.

[alert type=”success or warning or info or danger”]එකී මැතිවරණ තුළ උරගා බැලිය යුත්තේ හුදු ජනතා මනාපය පමණක්ම නොවේ. රටක පාලන ව්‍යුහයේ ස්ථාවරත්වය, බහුත්වවාදී ජනසමාජයන්හි අපේක්ෂා හා ආකල්ප මෙන්ම අවශ්‍යතාවයන් ද ඒ තුළ නියෝජනය වියයුතුය. තරගකාරීත්වයකට පිවිසීමට ඇති සාධාරණ ඉඩකඩ මෙන්ම නිදහස් හා සාමකාමී මැතිවරණ ක්‍රියාවලියකට ලැබෙන පිටුවහල ද එහිදී සලකා බැලියයුතුය. [/alert]

ඒ අනුව සැලකීමේදී සමානුපාතික මැතිවරණයක් තුළ දැකගත හැකිවූ පළමු ප්‍රතිඵලය වන්නේ මන්ත්‍රීවරුන් හා ඡන්දදායකයා අතර ඇතිවන දුරස්ථභාවයයි. එසේ වන්නේ ඡන්දදායකයාට තමන්ගේම වූ මන්ත්‍රීවරයෙක් බොහෝවිට නොලැබීම හේතුවෙනි. ආගමික හා කුල අනන්‍යතාවයන් සලකා බැලීමේදී මේ තත්වය ඉතාමත් තීරණාත්මක ය. දෙවන හා එහිදී ඉතා වැදගත් වන තවත් එක් සාධකයක් පවතී. එනම් රටේ සැබෑ පොදු ජනතාවට පාලනය හා සම්බන්ධ වීමට තිබූ පහසු මාර්ග සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ වඩාත් සංකීර්ණ හා දුෂ්කර කර තිබීමය. ඉතා සරලව කිවහොත් මුළුමහත් දිස්ත්‍රික්කයක් එක් ඡන්ද කොට්ඨාශයක් ලෙස සැලකීම තුළ ඉතා ධනවතුන්ට හා ධනවත් ප්‍රජාවේ අනුග්‍රහය ඇත්තන්ට විනා සාමාන්‍ය පුරවැසියෙකුට රටේ පාලන ක්ෂේත්‍රයට පිවිසීමට තිබූ හැකියාව ඒ තුළ අහිමිකර තිබේ.

එහෙත් මනාප ක්‍රමය ඉවත් කර කොට්ඨාශ ක්‍රමයක් මත පදනම් වූ මැතිවරණ ක්‍රියාවලියක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී සැබෑ අරමුණු තහවුරු වන මූලික හරයන් කිහිපයක්ම තහවුරු කරයි. කුඩා දේශපාලන පක්ෂ වලට හිමිවන අවස්ථාවන් එහිදී ඉතා වැදගත් ය. එහෙත් ඊට අදාළව අද වනවිට සමාජගතව ඇත්තේ ඊට සපුරා වෙනස් වූ අදහසකි. එහෙත් සැබෑ යථාර්ථය වනුයේ 1947 සිට 1977 දක්වා මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කළ සුළුතර පක්ෂ හා ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිශතය සියයට විස්සක් තරම් ඉහළ අගයක් ගනු ලැබූව ද සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ එහි අගය සියයට දහයක් තරම් වන ප්‍රමාණයකට අවම වී තිබේ.

කොට්ඨාශ ක්‍රමයක ඇති තවත් යහපත් ලක්ෂණයක් වන්නේ ඇතැම් විට පක්ෂයට ඇති ලැදියාවන් පසෙකලා පුද්ගල ලැදියාවන් පදනම් කරගනිමින් ඡන්දය ප්‍රකාශ කිරීමට පුරවැසියාට ලැබෙන ඉඩකඩ ය. අතීතයේදී එන්.එම්, පිලිප්, කොල්වින් වැනි කෘතහස්ත දේශපාලන චරිත පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා එම සාධකය තීරණාත්මක ලෙස හේතු වූ බව බොහෝ දෙනෙක් පිළිගන්නා කරුණකි. ඒ සමගම සු`එ පක්ෂ වල ස්වාධීනත්වය ආරක්ෂා වීම ද කේවල ඡන්ද ක්‍රමය යටතේ දැකගත හැකි විශේෂ ලක්ෂණයකි. ඒ සඳහා උදාහරණ දක්වන්නේ නම් 1970 වසරේදී නිතරග ගිවිසුමක් යටතේ එහෙත් සමගි පෙරමුණ ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයින් අතරින් බොහෝ දෙනෙක් මන්ත්‍රීවරුන් ලෙස පත්කරගැනීමට හැකියාව ලැබෙන අතර ඔවුන් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන ලද්දේ සමසමාජ පක්ෂ අනන්‍යතාවය ද සහිතව සමසමාජ මන්ත්‍රීවරුන් ලෙසටය.

ඉහත කී සාධක සියල්ලටම වඩා රටකට ඉතා වැදගත් වන්නේ මැතිවරණයන් හරහා ස්ථාවර ආණ්ඩු බිහිකර ගැනීමය. අස්ථාවර ආණ්ඩු බිහිවීමට ඇති අවස්ථාවන් විරළ කරගැනීමය. 1947 පළමු රාජ්‍ය සභා මැතිවරණය හා මාස තුනකට පමණක් සීමා වූ ආණ්ඩුවක් නිර්මාණය කළ 1960 මාර්තු මැතිවරණය හැරෙන්නට කේවල ආසන ක්‍රමය යටතේ සරල බහුතරයක් ලබාගැනීමට ජයග්‍රාහී පක්ෂයට නොහැකි වී ඇත්තේ 1965 මහ මැතිවරණයේ පමණකි. නමුත් මනාප ඡන්ද ක්‍රමය යටතේ සෑම විටකම ජයග්‍රාහී පක්ෂයට බහුතර බලයක් ලබාගැනීමට හැකිවී ඇත්තේ ප්‍රශ්නකාරී සමාජ වටාපිටාවක් යටතේ පැවති 1989 මහ මැතිවරණයේදී සහ දැවැන්ත යුද ජයග්‍රහණයකින් අනතුරුව පැවැත්වූ 2010 මැතිවරණයේදී පමණකි. සුවිශේෂි මැතිවරණයක් ලෙස සැලකිය හැකි 1994 දී පොදු පෙරමුණ ලබාගත් ජයග්‍රහණයේදී පවා ජයග්‍රාහකයාට සරල බහුතරයක් ලබාගැනීමට නොහැකි වූ බවද මෙහිදී වටහාගත යුතුය.

ඒ අනුව අප රටේ මැතිවරණ ක්‍රියාවලියට අදාළව මේ වනවිට අනුගමනය කරන ක්‍රමවේදයේ පැහැදිළි වෙනසක් සිදුකිරීම අත්‍යවශ්‍ය වී තිබේ. එහෙත් එහිදී රටක් ලෙස අප සලකා බැලිය යුත්තේ මේ වනවිට ක්‍රියාවට නගන සමානුපාතික ක්‍රමය සපුරා වෙනස් කර පැරණි කේවල ඡන්ද ක්‍රමය ඒ ආකාරයටම වැළඳගත යුතු ද යන්නය. ඒ පිළිබඳව ගැඹුරින් සිතා බැලීමට සාධාරණ හේතු සාධක පවතී. මක්නිසාද යත් පැරණි කේවල ඡන්ද ක්‍රමය තුළ ජනතා නියෝජිතත්වයක් පැහැදිළිව තහවුරු වුවද ඇතැම්විට ඒ තුළ ජනතා අදහස් ඒ ආකාරයටම තහවුරු නොවීමය. ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය වන්නේ 1970 මහා මැතිවරණයයි. එහිදී රටේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 36.9% ක් ලබාගෙන ආසන 91ක් දිනා ගනිමින් සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ සමග තුනෙන් දෙකක බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත් වුවද එකී මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට 37.9% ක් ඡන්ද හිමිවී තිබුණ ද ඔවුන්ට ලබාගත හැකිවූයේ ආසන 17ක් පමණකි. ඒ අනුව අප රටක් වශයෙන් සලකා බැලීමේදී එක් පැහැදිළි මූලධර්මයක් පිළිබඳව අවධානය යොමුකළයුතුව තිබේ. එනම් ජනතා පරමාධිපත්‍යය දේශපාලන පක්ෂ වෙනුවෙන් කැප නොකළ යුතුව ඇති අතරම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම උදෙසා දේශපාලන පක්ෂ සතු ප්‍රමුඛ කාර්යභාරය සැලකීමේදී දේශපාලන පක්ෂ වලට අදාළව මහජනතාවගේ ඇති බැඳියාව ද නියෝජනය වන ආකාරයට නියෝජිත සංඛ්‍යාවක් තහවුරු කරගැනීමය. ඒ සඳහා යොදාගත හැකි හොඳම උපායමාර්ගය වන්නේ ආසන – අනුපාත මිශ්‍ර ක්‍රමයක් කරා ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පරිවර්තනය කිරීමය.

පසුගිය දා පාර්ලිමේන්තුව තුළ දී සම්මත කරගන්නා ලද පළාත්සභා ඡන්ද විමසීමේ පනතට ගෙන එන ලද සංශෝධනය මගින් අපේක්ෂා කර ඇත්තේ ද එවැනි පිළිවෙතකට යොමුවීමට ය. එය අතීතයේ අප යොදාගත් අන් සෑම ක්‍රමවේදයකටම වඩා ප්‍රශස්තය. එහෙත් එය සකලවිධ දෝෂ මගහැරෙන පිළිවෙතක් ලෙස සැලකීමට ද කිසිවෙකු ඉක්මන් වියයුතු නැත. එහෙත් මේ රටේ මැතිවරණ ක්‍රමය පිළිබඳව පූර්ණ එකඟතාවයකට හා ප්‍රශස්ත ක්‍රමවේදයකට යොමුවීම සඳහා ශ්‍රි ලංකාව තවත් පියවරක් ගෙන ඇති බව නම් පැහැදිළිය. ඒ අනුව පාර්ලිමේන්තු, පළාත්සභා හා පළාත්පාලන යන සියලු මැතිවරණයන්ට අදාළව එම පියවර පොදු පිළිවෙතක් බවට පත්කර ගැනීමේ වගකීම තවදුරටත් රට හමුවේ පවතී. ඒ සඳහා ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයකි. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමේදී ඒ සඳහා මනා අවධානයක් යොමුකිරීම එහිදී අනිවාර්යෙන්ම සිදුකළ යුතුයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය මේ මොහොතේ කුමන අවලාද නැගුව ද පළාත් සභා මැතිවරණයට අදාළව නව මැතිවරණ පිළිවෙතකට අවතීර්ණ වීම යනු ඊට අදාළ ජනප්‍රියවාදී තක්සේරු වලින් හා අපේක්ෂාවන්ගෙන් ද එපිටට ගිය ඉතා වැදගත් සාධනීය කරුණු ගණනාවකට අදාළව සිදු වූ පරිවර්ථනයක් ලෙසට සැලකිය හැකිය.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news