Thursday, November 21, 2024

ජනාධිපති තාත්තා: කියවන්නන් නැති රටක ලියන්නන් ප්‍රශ්නයක් වීම! – නිලන්ත ඉලංගමුව

( ශ්‍රී ලංකා ගාර්ඩියන්) ලිවීම යනු ගැඹුරු කියවීමක් ඇති තැනැත්තා විසින් අවශ්‍යය මෙවලම් දෑතට ගෙන පරෙස්සමින් සිදුකරන කරන වචන ගැලපීමකි. එසේම, ලියවීම යනු තම ජීවන අත්දැකීම් තමන්ට හෝ තමන් අවට සිටින පිරිසට වැදගත් යැයි සිතමින් යම් අයෙකු මාර්ගයෙන් රචනා කිරීමය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචනා කරනු ලැබුවේ යැයි සඳහන් කරන සිය පියා පිළිබඳ ග්‍රන්ථය අතාර්කික නමුත් රටේ කාලාන්තරයක් තිස්සේ පැවත එන සම්ප්‍රදායික ඍනාත්මක විවේචකයා නියෝජනය කරන රැල්ලට හසු වී එය එසැණ පුවත් මේනියාව සමඟ මිශ්‍ර වී තිබේ. තම ග්‍රන්ථය ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ඇයට සුභ පතමු.

විවේචනය යනු සරල ජීවන අත්දැකීමකි. ඊට එකිනෙකාට ආවේණික හේතූ තිබේ. නමුත් විචාරය යනු කියවන්නාගේ ප්‍රතිචාරයකි. වත්මන් ලංකාවේ සිංහල සාහිත්‍යය බොහෝ දුරට අතික්‍රමණය කොට ඇත්තේ විවේචකයා මිස විචාරකයා නොවේ.

කිවන්නන් නැති රටක, පෙරළන්නන් ඇති රටක, ලියන්නන් හෝ ලියවනන් බිහි වීම කලාතුරකින් සිදුවන්නකි. සැබවින්ම, මා හට පෞද්ගලිකව දැනෙන කරණය නම්, අදාළ කෘතිය අකුරු කරනු ලැබුවේ කවුරුන්ද යන්න මෙහිදී නොවැදගත් කාරණයක් බවයි. කෘතියේ සිදුවීම් සමඟ බැඳී ඇත්තේ සැබෑ පුද්ගලයාගේ ජීවන අත්දැකීම් නම්, අදාළ සිදුවීම් යමෙකුගෙන් සොරාගත් හෝ ව්‍යාජව නිර්මාණය නොකළ ඒවා නම්, විචාරකයා පාදා ගත යුතු සියුම් මාවතක් තිබේ. අප සොයා ගත යුත්තේ සහ ගමන් කළ යුත්තේ එම මාවතය. එය අපි සාහිත්‍යය විචාරයේ ප්‍රායෝගික භාවිතය යැයි කියන්නෙමු.

විවේචකයා සහ විචාරකයා

ඇතැම් සරල ප්‍රායෝගික ගැටලු, මහ පරිමාණ දෑ ලෙස තකනතාක් දුරට අපට ප්‍රධාන මූලය හෙවත් අරටුව අහිමි වේ. මෙය බොහෝ තැන් වලදී අත්දැකීමට ලැබෙන මූලික කාරණයක් සේ සැලකිය හැකිය. අනෙකාගේ දුර්වලතා දැක අනෙකා පාගා දැමීම හෝ ඔහුට හෝ ඇයට සිනහා වී තම තාවකාලීක ප්‍රමෝදය විඳීමට උත්සහ කිරීම මෙවැනි තත්වයක් යටතේ දැකගත හැකි මූලික කාරණයක් වේ. සිංහල සාහිත්‍යය පත් වී ඇති ඛේදනීය තත්වය මෙයයි.

රටේ කතුවරුන් සහ කතුවරියන් ග්‍රන්ථ රචනා කරනු ලබන්නේ, එක්කෝ පොත් සල්පිල් අරමුණු කරගෙන නියමිත කාලය ( ඩේඩ් ලයින්) ඉලක්ක කරගනිමිනි. නැතහොත් පක්ෂපාතිව අනෙකා සතුටු කිරීමට සංවිධානය කොට ඇති සම්මාන උළෙලවල් ඉලක්ක කර ගනිමිනි. මේ හේතුවෙන්, නිර්මාණකරණය වෙනුවට යමක් ලිවීම මූලික අදහස කරගත් යාන්ත්‍රික පිරිසක් බිහි වී සිටිති.

පොත් සල්පිල් අරමුණු කරගත් සාහිත්‍යකරණය

රටේ ජනතාවගේ මොළ මෙන්ම ආකල්ප වෙනස් කිරීමට සමත් වන සාහිත්‍යය වෙනුවට ගොබ්බ කඩයක් රට හමුවේ නිර්මාණය කර ඇත. එය අවාසනාවන්තය. ඒ තුළ තම නිර්මාණය සඳහා දිවා රාත්‍රී නොබලා වෙහෙසවන සාහිත්‍යයවෙදීයා පිටුපසට ඇදදමා, ඔහු හෝ ඇය සිඟමනට තල්ලු කොට වෙනස් මාදිලියක පිරිසක් විසින් එහි ඉදිරි පෙරමුණ යටත් කරගෙන සිටිති. මෙය අතිශයින් අවාසනාවන්ත තත්වයකි. නමුත්, මෙය මෙරටට පමණක් සීමා වූ කාරණයක් නොවේ.

ලිවීම යනු ගැඹුරු කියවීමක් ඇති තැනැත්තා විසින් අවශ්‍යය මෙවලම් දෑතට ගෙන පරෙස්සමින් සිදුකරන කරන වචන ගැලපීමකි. එසේම, ලියවීම යනු තම ජීවන අත්දැකීම් තමන්ට හෝ තමන් අවට සිටින පිරිසට වැදගත් යැයි සිතමින් යම් අයෙකු මාර්ගයෙන් රචනා කිරීමය. මින් කුමන ක්‍රමවේදය අනුගමනය කළද, වැදගත් වන්නේ කිවන්නන් වෙතට ලබා දිය හැකි රචනාවක් නිෂ්පාදනය කිරීම සහ එම නිෂ්පාදනයේ අයිතිය මෙන්ම වගකීම තමන් එනම් කතාව අයිති තැනැත්තා විසින් දැරීමය. එසේම මෙම මූලික ක්‍රමවේද දෙකම ලෝකයේ බොහෝවිට දැකගත හැකි මූලික කාරණයකි.

පෞද්ගලිකව මා සිතන කාරණය නම්, ජනාධිපති තාත්තා අයත් වන්නේ ඉන් කුමන ඝනයටද යන්න වැදගත් ගැටලුවක් නොවන බවයි. වැදගත් වන්නේ, පළමුව කියවීමට හුරුවීම, ඉන් පසු කියවීම, පසුව එය විමසා බැලීම සහ ඒ ගැන තම අදහස සාධනීය විවේචනයක් ලෙස ඉදිරිපත් කිරීමය.

ඉතින් පළමුව කියවන්න, දෙවනුව ඇහුම්කම් දෙන්න; තෙවනුව විචාරන්න, එවිට එම මාවතේ ඇති සාධනීය වැදගත්කම පෙනේවී! රටේ ආකල්ප වෙනස්වීම ඇරඹෙන්නේ එවිටය.

Archive

Latest news

Related news