Friday, May 3, 2024

‘අතුරුදහන් කිරීම් බලපාන්නේ අනාගතයට‘ නම් අතුරුදහන් වන්නේ මෛත්‍රී-රනිල්ගේ දේශපාලන අනාගතයයි..! – සඳරුවන් සේනාධීර

ජායාරූපය: අතුරුදහන් වූ සිය දරුවන් පිළිබඳ සතය කියන සේ ඉල්ලා දින 150ක් පසුකළ වවුනියා මා පියන්ගේ සත්‍යක්‍රියාව (c)s.deshapriya.

දැනට නීතිගත කර ඇති අතුරුදහන් වූවන් පිලිබඳ පණත අනුව  අතීතයේ අතුරුදහන් කිරීම් සොයා බලන්නේ නැතැයිද එය බලපාන්නේ අනාගතයට පමණක් යැයිද අගමැතිවරයා විසින් කළ විග්‍රහයත් සමග යහපාලන ආණ්ඩුව පත් කිරීමට උරදුන් ජනතාව දැඩි කනස්සල්ලටත් කලකිරීමටත් පත්ව සිටිති.

අගමැතිගේ ප්‍රකාශය ලංකා ඊ නිව්ස්හි පළ කිරීමෙන් පසුව රට තුල සහ විදේශ ගතව සිටින ඔව්හු විශාල වශයෙන් ලංකා ඊ නිව්ස් අමතමින් තම දැඩි කනස්සල්ල සහ කලකිරීම යහපාලන ආණ්ඩුව කෙරෙහි පළ කර සිටියහ.

ඒ සියල්ල සංක්ෂිප්ත කළහොත් පහත පරිදි ය.

අතීතය ලියන්නේ යුද්දයක් ජය ගත් පිරිස මිස පරාජිතයන් නොවන බව සත්‍යයකි. යුද්දයක ජයග්‍රාහකයන් කෙදිනකවත් යුද්දය සඳහා වැරදිකරුවන් වී නැති බවද එවැනිම සත්‍යයකි. ඒ අනුව යුද්දය කෙළේ කුමන ආණ්ඩුවක් බලයේ සිටියදී ද යන්න ප්‍රශ්නයක් නොවී වත්මන් ආණ්ඩුව යුද ජයග්‍රාහකයන් ලෙස ප්‍රශ්නය දෙස බැලීම තේරුම් ගත හැකිය.

එසේ වී නමුත් මේ අතුරුදහන් වූවන් පිලිබඳ ප්‍රශ්නය යුද්දයේ දී අතුරුදහන් වූවන්ගේ නොවේ. වත්මනේ ජීවත් වන අයගේ ය. තම ඥාතියා යුද්දයේ දී මිය ගිය බව ස්ථිරසාරවම නොදන්නා වර්තමානයේ ජීවත් වන්නාගේ ය. ජීවත්වන ඔහු හෝ ඇය දෙමළ ද සිංහල ද මුස්ලිම්ද යන්න වත්මනේ ආණ්ඩුවක් කරන කණ්ඩායමට ප්‍රශ්නයක් නොවිය යුතුය. ඒ අනුව වත්මන් ආණ්ඩුව මෙම ප්‍රශ්නය බාර ගත යුත්තේ අතුරුදහන් වූ පුද්ගලයා නිසා වත්මනේ වේදනාවෙන් පෙළෙන ජීවත්වන්නාගේ හිත සුව පිණිස මිස අනාගතයේ දී වින්දිතයෙකු වන පුද්ගලයෙකු ගැන මනෝරාජික යුතුකමක් වෙනුවෙන් නොවේ. අතුරුදහන් වූවෝ අතුරුදහන් වූයේ ආසන්න අතීතයේ මිස අනාගතයේ නොවේ.

ආණ්ඩුව ඒ ගැන නොතකා අතුරුදහන් වූවන් පිලිබඳ සොයන්නේ අනාගතයේ පමණක් නම් ඉන් ගම්‍ය වන්නේ ආණ්ඩුව අනාගතයේ දී ද පොකුරු පිටින් අතුරුදහන් වීම් බලාපොරොත්තු වන බව ද?

තම අතුරුදහන් වූ ඥාතීන් ගැන වචනයක් කියන්නැයි ඉල්ලමින් මේ වන විට දින 200 කට අධික කාලයක් උතුරේ ජීවත් වන ඥාතීන් උපවාසයක යෙදෙති. එය ආරම්භ කළ සැනින් ආණ්ඩුවේ බලධාරීන් ඒ ගැන සොයා බැලූ නමුත් දැන් වගේ වගක් නැත. අගමැතිගේ පසුගියදා ප්‍රකාශය අනුව ආණ්ඩුව තමන් රැවටීම ගැන කම්පා වී ඒ උපවාස කරුවන් එල්ලී සිය දිවි නසා නොගත්තොත් පුදුම විය යුතුය. මන්ද යත් ඔවුන්ගේ ඥාතියා අතුරුදහන් වී ඇත්තේ අතීතයේ මිස අනාගතයේ නොවන නිසාය. මෙහි බරපතල කම වැඩි වන්නේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඔවුන් සියයට අසූවකින් ඡන්දය දීම නිසාය. සියයට අසූවකින් ඡන්දය දෙද්දී ඔවුන්ගේ බලාපොරොත්තු අතරින් එකක් වූයේ නව දෙවියන් තම අතුරුදහන් වූ ඥාතියා සොයා දේවි හෝ වූ දේ ගැන කියාවි යන්න නොවේ ද? අගමැතිගේ ප්‍රකාශයෙන් ඔවුන්ගේ හිස මත කඩා වැටී ඇත්තේ ඒ අලුත් දෙවියන් වෙනුවෙන් සියයට අසූවකින් දායක වී තැනූ දෙවොල නොවේද?

[alert type=”success or warning or info or danger”]හැඟීම්බර නොවන්නේ වී නමුත්..![/alert]

දේශපාලකයන් හැඟීම්බර විය හැකි වුව ද මෙම තීන්දුව රාජ්‍ය පාලකයන් ලෙස හැඟීම් බර නොවී ගත් තීන්දුවක් විය හැකිය. එසේත් නැතිනම් රාජ්‍යය ප්‍රතිපත්තිමය ලෙස ගත් තීන්දුවක් විය හැකිය. එනම් වයස අවුරුදු 55 දී සියළු දෙනා විශ්‍රාම යා යුතුය වැන්නක් විය හැකිය. එවිට වැඩ කළ හැකි අයෙකු වුවද වයස 55 දී විශ්‍රාම යා යුතුය. ඊට එරෙහිව පුරවැසියන් ලෙස කිසිවක් කළ නොහැකිය. මෙයද එවැනි තීන්දුවක් විය යුතුය.

මන්ද යත් තිස් වසරක යුද්දයකදී අතුරුදහන් වූවන් ගැන සෙවීමට ගිය හොත් එය වසර 100 ක දී හෝ අහවර කර ගත නොහැකි නිසාය. අනෙක් අතට අතුරුදහන් කිරීමේ අපරාධයේ වැඩි බරක් තිබෙන එල්ටීටීඊයේ අද කේපී හැර කිසිදු නායකයෙකු ජීවතුන් අතරද නැති නිසාය. එසේ වී නමුත් අද වැඩියෙන් වින්දිතයන් වී සිටින පිරිස ගැන සැලකිය යුතුය. එහි වැඩි පිරිසක් ඉන්නේ යුද්දය නිමා වූ පසුව රජයේ හමුදා වෙත බාර වීමෙන් පසු අතුරුදහන් වූවන් ගේ ඥාතීන් ය.

ලංකා ඊ නිව්ස් වෙත සාක්කි වශයෙන් ඇත්තේ එලෙස බාර වූ අයගෙන් 1500 ක් පමණ ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත රැගෙන ගිය බවත් ඉන් පසු ඔවුන් ගැන සඳහනක් නොමැති බවයි. පසුගියදා යුද්දය මෙහෙයැවූ හමුදාපති සරත් ෆොන්සේකා මහතා අවශ්‍ය නම් තමා ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දීමට සූදානම් යයි කීවේ ජයසූරිය ඒ අපරාධයට වගකිව යුත්තෙක් වන බැවිනි.

එය යුද්දයේ සිදුවූවක් නොවේ 2009 මැයි 19 දා යුද්දය නිමා වීමෙන් පසුව සිදුවූවකි. අප මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරන්නේ ද යුද්දයෙන් පසුවය. අඩුම වශයෙන් ආණ්ඩුව තම පුරවැසියා ගැන මීට වඩා වගකීමකින් වගවීමකින් බලන්නේ නම් මෙම අතුරුදහන් වූවන් පිලිබඳ නීතිය යුද්දය නිමාවීමෙන් පසු දින සිට හෝ බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබිණ. නමුත් එවැන්නක් හෝ සිදුව නැත. අගමැතිවරයා කියන පරිදි බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධ පරීක්‍ෂණ ක්‍රියාත්මක කරන්නේ 2017 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසුව සිදුවූ ඒවාය. එනම් මේ මාසයෙන් පසුව සිදුවන අතුරුදහන් කිරීම් ගැනය. එසේ කීවද එම කොමිසමේ සාමාජිකයන්ද මෙතෙක් නම් කර නැත. අඳෝමැයි..! ආණ්ඩුව වක්‍රව රාජපක්ෂ යුගයේ අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ යෙදී සිටින බව පුරවැසියාට හැඟී යාම මෙහිදී වැළැක්විය නොහැකිය.

[alert type=”success or warning or info or danger”]දෙමළා පසෙකින් තබමු..![/alert]

දෙමළා පසෙකින් තබමු.. සිංහලයා ගනිමු..! මෙම ලියුම්කරු දන්නා හඳුනන, මේ වන විට වයස අවුරුදු 90 කට ආසන්න වියපත් යුවලක් මහරගම පමුණුවේ සිටිති. අතීතයේ එම පියාණන් සතුව කොම්පඤ්ඤවීදියේ තිබූ කෝට් කලිසම් පමණක් මැසීමේ ව්‍යාපාරික ස්ථානයේ හොඳම ගණුදෙනු කරුවන් වූයේ ජේ.ආර්.ජයවර්ධන පවුල ය. ඔවුහු කපාපු එජාප පාක්ෂිකයෝ ය. ඔවුන්ගේ එක් තරුණ පුතෙක් 80 දශකයේ මැද භාගයේ දී පමණ නාවික හමුදා නිලධාරියෙකු ලෙස බැඳී යුද්දයට ගියේ ය. එල්ටීටීඊය නැගෙනහිර මුහුදේ දී මරාගෙන මැරෙන බෝට්ටුවක් හප්පා පහර දී ගිල්වා දැමු ප්‍රථම ඩෝරා යාත්‍රාවේ ඉංජිනේරු නිලධාරියෙකු ලෙස ඔහු කටයුතු කෙළේය. ඔහුගේ සිරුර හමුවූයේ නැත. ඔහු අතුරුදහන් ය. පෙර කී වියපත් යුවල තම පුතා එල්ටීටීඊ අත් අඩංගුවේ පසුවෙතැයි වසර 20 කට අධික කාලයක් බලාපොරොත්තුව සිටියේ ය. සෑම දිනකම පුතාගේ කාමරය අතු පතු ගා ඇඳ සූදානම් කර තබන්නේ හදිසියේම අද රෑ පුතා ඒවි කියා සිතමිනි. සෑම අවුරුදු දිනකම පුතාගේ කාමරයේ තීන්ත ගා අලුතින් තිර රෙදි එල්ලා තබන්නේ මේ අවුරුදු දිනයේ හෝ පුතා හදිසියේ එනු ඇතැයි සිතා ය. එල්ටීටීඊය දිනෙන් දින පරාජය වෙද්දී බලාපොරොත්තු වැඩි විය. එල්ටීටීඊය සම්පූර්ණයෙන් පරාජය විය. ඒත් පුතා ආවේ නැත. නමුත් අද දිනයේ ද ඔවුන් තම පුතා මිය ගියා යැයි මොහොතකට හෝ සිතන්නේ නැත. ඒ සිංහල පුතාද අතුරුදහන් වූවෙකි. ඒ වියපත් දෙමාපියන්ට අද ඇත්තේ තම පුතා අතුරුදහන් කිරීමේ අපරාධයට අද ජීවතුන් අතර සිටින එල්ටීටීඊ නායක කේපී වගකිව යුතුය යන හැඟීමයි. අගමැතිවරයාගේ පසුගියදා ප්‍රකාශය අනුව රාජපක්ෂ පාර්ශවයේ අපරාධකරුවන් පමණක් නොව එල්ටීටීඊ යේ අපරාධකරුවන්ද ආරක්ෂා කරන බව පුරවැසියාට හැඟී යාම වැළැක්විය නොහැකිය.

අතීතය කාපට් එක යටට දමා නව ගමනක් යන්නට ආණ්ඩුව හදනවා විය යුතුය. එසේ වී නමුත් තම වින්දිත පුරවැසියා ගැන තැකීමක් මීට වඩා ආණ්ඩුවට තිබිය යුතුය. අතීතයේ අතුරුදහන් කිරීම් ගැන සොයන්නේ නැතිනම් අඩුම ගණනේ ඒ වින්දිතයන් වෙනුවන් තමන් කරනවා යැයි පොරොන්දු වූ අනෙකුත් දෑ වහ වහා ඉටු කළ යුතුය. ඒවා අතර යුද්දයෙන් වින්දිතයන් වූ අයට වන්දිගෙවීමක් කරනවා යැයි කී පොරොන්දුව ඉටු කිරීමට ආණ්ඩුවට බාධාවක් නැත. පොරොන්දු වූ සත්‍ය කොමිසම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට බාධාවක් නැත. ඒවායින් හෝ වින්දිත පුරවැසියාගේ වේදනාව යම් තරමකට හෝ සමනය වනු ඇත. නමුත් එවැන්නක් ගැනත් කතා කරමින් සිටිනවා විනා ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නේ නැත.

ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ දින සියයේ වැඩ පිළිවෙලේ දී දුන් පොරොන්දු මෙසේය.

29. යුද්ධයේ දී වැන්දඹු වූ සියලූ ජන කොටස්වල කාන්තාවන්ට හා ඔවුන්ගේ යැපෙන්නන්ට විශේෂ රැකවරණ ක්‍රමයක් හඳුන්වාදීම.
93. ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය ස්ථාපිත කළ රෝම ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් තබා නැති නිසා එවැනි චෝදනා වෙතොත් ඒ පිළිබඳ යුක්තිය පසිඳලීමේ කාර්යය දේශීය ස්වාධීන අධිකරණයක් යටතේ සිදු කිරීම. (සිය දිනකින් අලුත් රටක් -2014දෙසැ19)

ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මහ මැතිවරණයේ දී දුන් පොරොන්දු මෙසේය.

“1983 දී ආරම්භ වූ යුද්ධය 2009 දී අවසන් විය. එහෙත් සැබෑ සංහිඳියාවක් ඇති කර ගැනීමට රටක් ලෙස තාමත් අපි අපොහොසත්ව සිටිමු. එහෙයින් පරණ අමනාපකම් සමනය කර ගැනීමත් සියළු ජන කොටස්වල සාධාරණ දුක් ගැනවිලි සඳහා යුක්ති සහගත විසඳුම් ලබාදීමත් සඳහා නව රජය නොපමාව කටයුතු කරනු ඇත.“ (එජාපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය -සංහිඳියාව -2015 ජුලි 23)

මේ සියල්ල කතා පමණක් වී තිබේ. ජාත්‍යන්තරයේ බලපෑමට හෝ ප්‍රමාද වී හෝ ඉටු කරන ලද අතුරුදහන් වූවන් පිලිබඳ කොමිසම ද දැන් කියනා පරිදි රටේ පුරවැසියාට කිසිදු සහනයක් ගෙන දෙන්නක් වී නැත.

[alert type=”success or warning or info or danger”]ඇන්ජිම වෙනුවට නැරඹුම් මැදිරියට නැග දුම්රිය එළවන්නෝ[/alert]

ආණ්ඩුවක් බලයට පත් වූ පසු තමන් බලයට පත් කළ බලවේගයන්ගේ අභිලාෂයන් සන්තර්පනය කිරීම කළ යුතු දෙයක්ම ය. නමුත් යහපාලන ආණ්ඩුව නොකරන්නේම එය යි. ඔවුන් අද කටයුතු කරන්නේ පරාජිත රාජපක්ෂ බලවේග වල තර්ජන වලට බියේ තමන්ගේ න්‍යාය පත්‍රය අකුලාගෙන තර්ජන කරන්නවුන් සන්තර්පනය කරන ආකාරයෙන් ක්‍රියා කිරීමය. මේ දේශපාලන නපුංසක භාවය නිසාම යහපාලන ආණ්ඩුවට වැඩියෙන්ම බැන වදින්නේ විරුද්ධ වාදියා නොව ඔවුන් බලයට පත් කළ බලවේගයන් ය. මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ නායකයන් දෙදෙනා තමන් යහපාලන දුම්රිය එළවනවා යැයි සිතාගෙන ගොඩ වී ඉන්නේ ඇන්ජිමට නොව පිටුපස ඇති නැරඹුම් මැදිරියට ය. ඔවුන් ඉදිරියට යනවා යයි සිතාගෙන ගියද යන්නේ සත්‍ය වශයෙන්ම පිටුපසට ය. නැරඹුම් මැදිරියේ නැතිව වේදිකාවේ සිටින අපට සත්‍යය හොඳට පෙනේ. තමන් දුම්රියට නැග්ග වූ ජනතාවගෙන් ඔවුන් දෙදෙනා දිනෙන් දින ඈත්වෙමින් පිටුපසට යනවා ඔවුනට නොතේරේ.

ජනතාවට දුන් බලාපොරොත්තු පසෙක ලා ‘අතුරුදහන් වීම් බලපාන්නේ අනාගතයට‘ යැයි මෛත්‍රී-රනිල් කියන විට සත්‍ය ලෙසම අතුරුදහන් වන්නේ ඔවුන්ගේ දේශපාලන අනාගතය යි. මන්ද යත් මෙය සුළු ජාතීන්ගේ මනස තුල බරපතල ලෙස අපේක්ෂා භංගත්වයක් ලෙස ප්‍රතික්‍රියා දැක්වෙන බැවිනි. 30 වසරක ගරිල්ලා යුද්දයකට මග පෑදුනේ මෙවැනි මහජාතියේ නායකයන් විසින් වරින් වර සුළු ජාතියට දායාද කළ අපේක්ෂා භංගත්වයන් ය. එදා ඩඩ්ලි සහ බණ්ඩාරනායක චෙල්වනායගම්ට කළ දේ මෛත්‍රී-රනිල් අද සම්බන්ධන්ට කරන්නේ ය. අනාගතය සුදු විය නොහැකිය..

අතුරුදහන් වූවන් පිළිබඳව සොයාබැලීම සම්බන්ධයෙන් නායකයන් කළ ක්‍රියාව අනුව එක දෙයක් කිව හැකිය. ‘අකෘතඥභාවයට‘ පර්යාය පදයක් අවශ්‍ය නම් ‘සම්මුති ආණ්ඩුව‘ යැයි නම් තබා ගත්තාට වරදක් නැත. අප එලෙස කියන්නේ අපද තිරශ්චීන අතුරුදහන් කිරීමක වින්දිතයන් බැවිනි.

සඳරුවන් සේනාධීර විසිනි
ලංකා ඊ නිව්ස් ප්‍රධාන කර්තෘ

(courtesy of lankaenews)

Archive

Latest news

Related news