Thursday, May 9, 2024

ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන අතුරුදහන්වීම්වලට සාධාරණය ඉටුකිරීම සදහා හොඳම විසඳුම ජනාධිපති කොමිසමක් – සී.වී. විග්නේෂ්වරන්

ජායාරූපය: නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ  සී.දොඩාවත්ත,ආනන්ද ධර්මප්‍රිය ජයසේකර සහ තාහා මුසාම්මිල් යන ජනමාධ්‍යවේදීන් මහ ඇමැති සමඟ.

පසුගිය වකවානුවෙහි උතුරු නැගෙනහිරද ඇතුළුව රටපුරා ඝාතනයට ලක්වූ,අතුරුදහන්වූ හා ප්‍රහාරයන්ට ලක්වූ මාධ්‍යවේදීන්ටසාධාරණයක් ඉටුකිරීම සදහා දැනට ගතහැකිව තිබෙන සාර්ථකම විසදුම ලෙස තමා දකින්නේ එම කරුණු පිළිබදව විමර්ශනය කිරීමට ජනාධීපති කොමිසමක් පත්කිරීම යැයි උතුරු පළාත් ප්‍රධාන ඇමැති, හිටපු ශේෂ්ඨාධීකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සැප්: 08 වැනිදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ  නියෝජිත පිරිසක් යාපනයේදී ඔහු හමු වී සිදුකරනලද සාකච්ඡාවකදීය.

පසුගිය යුධ සමයේ හා ඉන් පසු වකවානුව තුළ උතුරේ මෙන්ම දකුණේදී ඝාතනයට ලක්වූ,අතුරුදහන්වූ සහ ප්‍රහාරයන්ට ගොදුරුවූ ජනමාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුවීම පමාවීම පිළිබදව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිදුකරන පර්යේෂණයත්, පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබදව විද්වත් අදහස් ලබාගැනීමත් අරමුණු කරගනිමින් මෙම සාකච්ඡාව සිදුකෙරිණි.

“ඝාතනයට ලක්වූ, අතුරුදහන් වූ සහ ප්‍රහාරයන්ට ලක්වූ මේ හැම ජනමාධ්‍යවේදියෙකු ගැනම සෙවීම වැදගත්.ඒ පිළිබද නිවැරදි තොරතුරු අනාවරණය කරගැනීමට මා දකින හොදම විසදුම ජනාධිපති කොමිසමක් පත්කිරීමයි.”

“ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන අතුරුදහන්වීම් පමණක් නොවෙයි; දැන් දවස් 150 ක් තිස්සේ කිළිනොච්චියේ මව්වරු, පියවරු බිම වාඩිවෙලා ඉදගෙන තමන්ගේ දරුවන්ට සිදුවූයේ කුමක්දැයි විමසනවා. මේ පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට අත්සන් තබා ඇති රටක් ලෙස අපට මෙම විමසීම් නොසලකා හරින්න බැහැ.” මහ ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පුළුල් ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව පිළිබදව අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ එය ඉතාම අත්‍යාවශ්‍ය කාරණයක් බවයි. “ සමහර ජනමාධ්‍ය අපට ඉතාම අහිතකර ලෙස අපගේ අදහස් විකෘතිකර පළකරනවා.ඒ ගැන සම්මුඛ සාකච්ඡාව සිදුකළ ජනමාධ්‍යවේදීන් සමග පසුව සාකච්ඡාකළවිට ,ඔවුන් නිවැරදිව එම අදහස් ලියූ බවත්, ජනමාධ්‍ය ආයතනය තුළදී හිමිකරුවන්ගේ උවමනාවමත එම විකෘතිවීම් සිදුකරඇති බවත් එම ජනමාධ්‍යවේදීන් පවසනවා.උතුරේ ජනමාධ්‍ය තුළ මෙම හිතාමතා සිදුකරන විකෘතිකිරීම් වඩාත් වැඩියි. බොහෝවිට මේවා සිදුවන්නේ දේශපාලන න්‍යායපත්‍ර මතයි. මෙවැනි විකෘතිකිරීම් මගින් උතුරු -දකුණු සබදතාවයට සිදුවන හානිය ගැන , සාමය – සංහිදියාවට සිදුවන හානිය ගැන මෙම හිමිකරුවන් කල්පනාකරන්නේ නැහැ.මෙවැනි අවස්ථාවල ජනමාධ්‍යවේදීනුත් අසරණයි.”

“මාධ්‍ය ප්‍රතිසංස්කරණයට ලක්විය යුතුයි. මාධ්‍යයට නියාමනයක් පැවැතීමත් අවශ්‍යයි. ඒත් මා විශ්වාස කරන ආකාරයට රජය මැදිහත්වී මාධ්‍ය නියාමනය කරනවාට වඩා ආචාර ධර්ම මත, හිමිකරුවන් සහ මාධ්‍යවේදීන් එක්ව සකස්කරගන්නා ස්වයං නියාමන ක්‍රමවේද මත එම නියාමනය සිදුවීම වඩා සාර්ථකයි.ජනමාධ්‍යවේදීන්ට වගේම මාධ්‍ය හිමිකරුවන්ටත් වෘත්තිමයභාවයක් අවශ්‍යයි.”

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සී.දොඩාවත්ත, විධායක සභිකයින්වන ආනන්ද ධර්මප්‍රිය ජයසේකර සහ තාහා මුසාම්මිල් යන ජනමාධ්‍යවේදීන් සමග නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වැඩසටහන් ප්‍රධානී නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මෙම සාකච්ඡාව සදහා සහභාගී වූහ.

Archive

Latest news

Related news