ජායාරුපය: සිල් රෙදි බෙදීම රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ අල්ලසක් විය.
මංජුල ගජනායක විසිනි.
රාජ්‍ය දේපළ අවභාවිත කරමින් තම මැතිවරණ ව්‍යාපාර මෙහෙයවීම මෙරටේ ආණ්ඩු බලය හිමි දේශපාලන පක‍්ෂවලට ආවේණික සම්ප්‍රදායක්ව පවතී. කළින් කළ පත්වන ආණ්ඩු රාජ්‍ය සම්පත් අවභාවිත කර ඇත්තේ ඉතා නිර්ලජ්ජිත අන්දමිනි. එවන් දූෂිත ක්‍රියාමාර්ග ප්‍රශ්ණ කිරීමට හා ඒවාට නිසි දඬුවම් ලබාදීම සඳහා ඉදිරිපත් වීමට මෙරටේ කිසිදු ආණ්ඩුවක් මීට පෙර මැදිහත් ව ක්‍රියාමාර්ග ගෙන නැත. එය වඩාත් තීව්‍රර වූ මැතිවරණය වසර 2015 පැවති ජනාධිපතිවරණයයි. රාජ්‍ය සම්පත් අවභාවිතය මහා පරිමාණමය හා වඩාත් සංවිධානාත්මක ලෙස සිදුකරමින් පැවැත් වූ එකී මැතිවරණය ඉතිහාසයට එක් වූයේ මෙරටේ සිදුකළ සුවිසල් රාජ්‍ය සම්පත් අවභාවිතයක් සහිත ජනාධිපතිවරණයක් ලෙසිනි. එලෙස පැවති ජනාධිපතිවරණයට සමාන්තරව පූර්ව ජනාධිපතිවරණ කාල සමය තුළ රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමේ පුරෝගාමී කාර්යය සිදුකරන ලද්දේ ජනාධිපති ලේකම් කාර්යාලය හා එය හෙබවූ නිලධාරීන්ය. එකී නිලධාරීන් එවකට ජනාධිපතිවරයා ඇතුළු තම ස්වාමිවරුන් ලෙස සැලකූ බලගතු ඇමතිවරුන්ගේ බසට අවනතව සිදුකළ වඩාත් කුප්‍රකට වංචාව වූයේ සිල්රෙදි බෙදාදීමයි.
[alert type=”success or warning or info or danger”]සිල්රෙදි පමණක් නොව භික්ෂූන් වහන්සේලා වෙත සිවුරු පිරිකර ද රජයේ මුදල් යොදා ගනිමින් එලෙස බෙදාහරින ලදී. මෙකී සමස්ත ක්‍රියාවලිය සිදු කරන ලද්දේ මහා සංවිධානාත්මක බවකින් යුතුවය. හේතුව නම් එවැන්නක් මැඩපැවැත්වීම පොලිසීයට හෝ මැතිවරණ නිලධාරීන්ට එතරම් පහසු කාර්යයක් නොවීමය. එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක‍්ෂ මහතා පසු කලෙක එය නිර්වචනය කරන ලද්දේ “හාමුදුරුවනේ අපි සිවුරක්, සිල් රෙද්දක් බෙදා දුන්නාම මොකද?“ යනුවෙනි.[/alert]
එලෙස ඉතා සරලව විග්‍රහ කල ද එකී එක් දේශපාලන ව්‍යාපෘතියක පිරිවැය මිලියන 600 කට වඩා අධික විය. එම වැය බර දරන ලද්දේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගිනි. රජයේ සම්පත් අවභාවිත කළා පමණක් නොව ඉතා නිර්ලජ්ජිත ලෙස ආගම ධර්මය ද තම මැතිවරණ ප්‍රචාරණය උදෙසා යොදාගත් එකී කුප්‍රකට මෙහෙයුමෙහි ප්‍රතිඵල අද වන විට ලැබී ඇත. එනම් ඊට වගකිව යුතු ඉහළම රාජ්‍ය නිලධාරින් සිරගත කිරීම සඳහා වූ තීන්දුව මහාධිකරණය මගින් ලබාදීමෙනි.
පසුගිය පූර්ව ජනාධිපතිවරණ කාල පරාසය තුළ සිල් රෙදි බෙදාදීමේ කුප්‍රකට ක්‍රියාවලිය අනාවරණය කරමින් එය වළක්වාලීම සඳහා මූලිකවම ක්‍රියාකරන ලද්දේ එවක මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසීය සහ මෙරටේ ක්‍රියාකාරී මැතිවරණ නිරීක‍්ෂණ සංවිධානයි. බටහිර රාජ්‍යයන් හරහා මුදල් ලබා ගනිමින් මෙරටේ බෞද්ධ සිද්ධස්ථානයකට ලැබෙන චීවරයක් පවා ලබාදීමට මෙවැනි සංවිධාන ඉඩ නොදෙන බවට වන ප්‍රකාශ එකල දේශපාලඥයන් විසින් සිදු කරන ලදී. අවසානයේදී මෙරටේ ප්‍රගතිශීලි බලවේගයන්හී අනලස් දායකත්වයෙන් සිදු කළ අරගලයක ප්‍රතිඵල ලැබී ඇත. අනාගත මැතිවරණයකදී කවරාකාරයෙන් කටයුතු කළ යුතුද යන මාර්ගෝපදේශය, මෙරටේ රාජ්‍ය සේවකයන් වෙත මෙමගින් ලැබී ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.
මෙකී නඩු තීන්දුව මෙරටේ සමාජ සාධාරණත්වය අපේක‍්ෂා කරන පුරවැසියන්ගේ අමන්දානන්දනයට හේතු වනවා නොඅනුමානය. එකී කාර්යය සඳහා කැපවෙමින් මෙරටේ යුක්තිගරුක හා සාධාරණත්වය අපේක‍්ෂා කරන පුරවැසියන්ගේ බලාපොරොත්තු ඉටු කරන ලද මහාධිකරණ විනිසුරුවරයා පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ප්‍රමුඛ සියලු පාර්ශව වෙත මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක‍්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රණාමය හිමිවේ.
මංජුල ගජනායක
ජාතික සම්බන්ධීකාරක
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක‍්ෂණ මධ්‍යස්ථානය (CMEV)
(ශිර්ෂපාඨය අපෙනි.)