Thursday, April 25, 2024

මැතිවරණ කල් දැමීම පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිළි කළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

20වන සංසෝධනය ඉදරිපත් කරන ලද්දේ  අගමැති වික්‍රමසිංහ විසින් වුව ඊට අමාත්‍ය මණඩල අනුමැතිය ලැබුණි. ( ජායාරූපය PTI  අනුග්‍රහයෙනි.)

පළාත් පාලන මැතිවරණ දිගින් දිගටම කල් දැමීම හා ඉන් නොනැවතී පළාත් සභා මැතිවරණය ද කල් දැමීමේ සැලසුමක් පිළිබඳව මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ පළවෙමින් තිබෙන විවිධ ප්‍රචාර හා ප්‍රකාශ පිළිබඳව ආණ්ඩුව තම ස්ථාවරය අප්‍රමාදව ප්‍රකාශයට පත් කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටී.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාදක කර ගනිමින් මැතිවරණ කල් දැමීමේ සැලසුමක් පිළිබඳ විවිධ පුවත් සහ ප්‍රකාශ මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ පළ වෙමින් ඇති අතර, එමඟින් ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයෙහි බරපතළ නොසන්සුන්තාවයක් ගොඩ නැඟී ඇත.

නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලිය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයෙහි මූලිකාංගයක් ලෙස පිළිගන්නා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එබඳු මැතිවරණ ක්‍රියාවලියක තිර පැවැත්ම උදෙසා දිගුකාලීනව සටන් වැද තිබේ. එබඳු පසුබිමක් තුළ මෙරට මැතිවරණ ක්‍රියාදාමයට හානිදායක වන ඕනෑම පියවරක් පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිටින්නේ දැඩි අවධානයකිනි.

අප සංවිධානය මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා සටන් කළ වෙනත් බොහෝ සංවිධාන ද මේ පිළිබඳව දැඩි අවධානයකින් සිටින අතර, නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාදාමය පළුදු කෙරෙන ඕනෑම පියවරකට එරෙහිව එම බලවේග එදා මෙන්ම නැඟී සිටිනු නොඅනුමානය. එබැවින් මෙම අවස්ථාවේ ආණ්ඩුවේ පළමු වගකීම වන්නේ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හා ඒ ආශ්‍රිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රයත්නය සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිළිව ප්‍රකාශයට පත් කිරීමයි.

එම ස්ථාවරය මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාදාමයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්මට ද කිසිසේත් අහිතකර නොවිය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

සී. දොඩාවත්ත, කැඳවුම්කරු

දිලීෂා අබේසුන්දර,  ලේකම්

Archive

Latest news

Related news