Friday, May 3, 2024

හැට දෙලක්ෂය සීරුවෙන්: හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගනිමු.

2017 අගෝස්තු 17 වැනි දාට යහපාලන ආණ්ඩුවට වසර දෙකයි.

2015 ජනවාරි 8 වැනි දාත්, අනතුරුව 2015 අගෝස්තු 17 වැනි දාත්, මේ රටේ ජනතාව දෙවතාවක්ම මහින්ද රාජපක්ෂ පාලනය ප්‍රතික්ෂේප කළහ. වර්තමාන යහපාලකයන් ජන වරම ලබා ගත්තේ, එදා මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ සිදු වූ මහ පරිමාණ දූෂණ සහ වංචා ගැන මෙන්ම, සාහසික දේශපාලනික අපරාධ සම්බන්ධයෙන් වගකිව යුත්තන් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන දඬුවම පැමිණවීමේ මූලික පොරොන්දුව පිට ය. ඒ සමගම, මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ සිදු වූ ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලන ක්‍රමය ආපස්සට හරවමින්, සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි, ජාතික සහ ආගමික සහජීවනයෙන් යුත් සාමකාමී සමාජයක් ඇති කිරීමේ පොරොන්දුව පිට ය.

ඒ සියල්ලටමත් වඩා, විනාශකාරී යුද්ධයකට තුඩුදුන් ජාතික ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් බලතල බෙදාහදා ගන්නා, විධායක ජනාධිපති ක්‍රමය මුළුමණින් අහෝසි කෙරෙන සහ නව මැතිවරණ ක්‍රමයක් සහිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන බවටත් එදා ඔවුහූ මේ රටේ ජනතාව ඉදිරියේ පොරොන්දු වූහ. පැවති මහින්ද රාජපක්ෂ පාලනයට සාපේක්ෂව, ඉහත කී කරුණු අරභයා වර්තමාන ආණ්ඩුව යම් ඉදිරි දුරක් පැමිණ ඇති බව අපි පිළිගනිමු. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ අසීමිත බලතල සමහරක් කප්පාදු කිරීම, බෙහෙවින් දේශපාලනීකරණයට නතුව ඇති රාජ්‍ය පරිපාලනය ඉන් මුදවා ගැනීම සඳහා ‘ව්‍යවස්ථා සභාවක්’ පත්කොට, රාජ්‍යකරණයේ ඒ ඒ අංශ සඳහා වන ‘ස්වාධීන කොමිෂන් සභා’ පත් කිරීම, උතුරේ දෙමළ ජනතාවගේ ඉඩකඩම් යම් ප්‍රමාණයක් යළි එම ජනතාවට ලබා දෙමින් ඔවුන් යළි පදිංචි කැරැවීම් කඩිනම් කිරීම, උතුරේ හමුදා ක්‍රියාකාරීත්වය අවම කරමින් සිවිල් සහ ආර්ථික කටයුතුවලින් ඉවත් කැරැවීම, රාජපක්ෂ පාලනය නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරමින් සිටි ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත කිරීම, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ගෙන එම් සහ ‘පුද්ගලයන් අතුරුදහන් කැරැවීම වැළැක්වීමේ පනත’ සම්මත කොට එම කාර්යාංශය ස්ථාපනය කිරීම සඳහා යම් පියවර ගැනීම ආදිය ඒ අතරින් වැදගත් වෙයි.

මීට අමතරව, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් සේ රැස්ව, සියලු පක්ෂ නායකයන්ගෙන් සමන්විත නියාමන කමිටුවක් සහ සියලු පක්ෂ සාමාජිකයන්ගෙන් සමන්විත අතුරු කමිටු හයක් හරහා කටයුතු කරමින් සිටීමත් අපේ ප්‍රසාදයට ලක්වෙයි. මේ සියලු සාධනීය කරුණු එසේ තිබියදී, රාජපක්ෂ පාලන කාලයේ දූෂිතයන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන ඇල්මැරුණු ප්‍රතිපත්තිය අපි හෙළාදකිමු. ඇතැම් අවස්ථාවක ආණ්ඩුවේ ප්‍රධානීන් එකී දූෂිතයන් සහ අපරාධකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වක්‍රාකාරයෙන් පෙනී සිටි අවස්ථා ගැනත් වාර්තා විය.

එපමණක් නොව, වර්තමාන ආණ්ඩුවේ ඇතැම් බරපතල දූෂිත ක්‍රියා ගැනත් වාර්තා වී තිබේ. දූෂිතයන් සහ දේශපාලනික අපරාධකරුවන් සම්බන්ධයෙන් වන විවිධ චෝදනා නීතිය ඉදිරියේ කඩිනමින් විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවන ලෙස නොයෙක් වර අප ඉල්ලා ඇතත්, ඒ ගැන අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාත් කිහිප වරක් ප්‍රතිඥා දී ඇතත්, මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසි පියවරක් ගෙන නැත. මේ නිසා, යහපාලන ආණ්ඩුවට එම කාරණය සම්බන්ධයෙන් මගහැර යාමට අප ඉඩ තැබිය යුතු නැත.

[alert type=”success or warning or info or danger”]එසේම, මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූත්, මේ රටේ සමස්ත ජනතාවගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වූත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඉල්ලීම මගහැර යාමට මේ ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව කටයුතු කරනු දක්නට ලැබේ. ඇතැම්හු මේ ක්‍රමය දිගටම පවත්වා ගත යුතුව ඇති බවත් කියති. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත්, අගමැති රනිල් වික්‍රමසිංහත් හැට දෙලක්ෂයක ජන මතයකින් බලයට පැමිණියේ මූලික වශයෙන් මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට රට ඉදිරියේ තබන ලද පොරොන්දුව පිට ය. මේ නිසා, යහපාලන ආණ්ඩුවට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පරම වගකීමෙන් මගහැර යාමට අප ඉඩ තැබිය යුතු නැත.[/alert]

අවුරුදු තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ධයට තුඩුදුන් ජාතික ප්‍රශ්නයට විසඳුමක් විය හැකි බලතල බෙදාහදා ගැනීමේ දේශපාලන ක්‍රමයක් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තුළ ඇති කර ගැනීමට මේ අතර අප පෙරමුණ ගත යුතුව තිබේ. ජාතිවාදී සහ ආගමික අන්තවාදී ඇතැම් කොටස් එවැනි බලතල බෙදාහදා ගැනීමක් වළක්වාලන මතවාද ගොඩනගමින් සිටින අතර, ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් ද ජාතිවාදී බලවේග ශක්තිමත් කරන ආකාරයෙන් වක්‍රාකාරයෙන් කටයුතු කරන බව පෙනෙන්ට තිබේ. වර්තමාන ආණ්ඩු කාලයේ පවා ඇතැම් අන්තවාදී සංවිධාන මේ රටේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව විවිධ ක්‍රියාවන්හි නිරත වීමට උත්සාහ ගත් බව පෙනුණි. ඒ නිසා, කුමන වේශයකින් පැමිණියත්, ජාතිවාදයට මේ ආණ්ඩුව හෝ ආණ්ඩුවේ ප්‍රධානීන් හිස නොනමන බවට අප වගබලා ගත යුතුව තිබේ.

එසේම, රාජ්‍ය පරිපාලනයේ මූල්‍ය අංශය විධිමත් කෙරෙන සහ ඒ පිළිබඳ පාරදෘෂ්‍ය භාවයක් සහතික කෙරෙන ‘විගණන පනත’ වැනි සමාජ ප්‍රගමනයට හේතුවන පනත් නීතිගත කිරීමට මේ ආණ්ඩුව තවමත් පස්ස ගැසීම අපේ අප්‍රසාදයට හේතු වෙයි. තවද, අපේ නීති පද්ධතිය තුළ පවතින ඉතා අනර්ථකාරී අංගයක් වන ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අහෝසි කිරීමට, බලයට පත්ව වසර දෙකක් තිස්සේමත් නොහැකිව තිබීම අපේ අප්‍රසාදයට හේතු වෙයි. මේ පනත යටතේ සහ වෙනත් නීති යටතේ දීර්ඝ කාලයක් තිස්සේ නඩු නැතිව රඳවාගෙන සිටින දේශපාලනික සිරකරුවන් නිදහස් කරන ලෙසත්, මේ වන විට නඩු පවරා ඇති අයවළුන්ගේ නීතිමය ක්‍රියාපරිපාටි කඩිනම් කරන ලෙසත් අප ආණ්ඩුවට බල කර සිටිය යුතුය.

එසේම, දීර්ඝ කාලයක් තිස්සේ පළාත් පාලන ඡන්දය නොපවත්වා සිටීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී යහපැවැත්මට බෙහෙවින් හානිකර බව අමුතුවෙන් කිව යුතු නැත. තම තමන්ගේ පක්ෂ න්‍යාය පත්‍රවල අවශ්‍යතා මත රටේ සමස්ත මැතිවරණ ක්‍රියාවලියක් අත්අඩංගුවේ තබා ගැනීම මොන ආකාරයකින්වත් අනුමත කළ හැකි දෙයක් නොවේ. එබැවින් වහාම එම පළාත් පාලන ඡන්ද පවත්වන ලෙස අප ආණ්ඩුවට බල කළ යුතුව තිබේ. මේ සියල්ලට අමතරව ජනතාවගේ ආර්ථික සහ සමාජයීය දියුණුව සඳහා කැපී පෙනෙන යමක් කිරීමට ආණ්ඩුව අසමත්ව තිබීමත් අපේ විවේචනයට ලක්වෙයි. අවසාන වශයෙන්, මේ ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා කටයුතු කළ සිවිල් සමාජ ව්‍යාපාර වශයෙන් මේ ආණ්ඩුවේ ‘යහපාලනික භාවය’ ගැන අප වෙත පැවරෙන වගකීම හැම අයුරකින්ම ඉටු කළ යුතුව ඇත.

අගෝස්තු මස 15 වැනි අඟහරුවාදා සවස 3 ට කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට යෝධ සත්‍යග්‍රහයක් පවත්වමින්, රාජපක්ෂ තන්ත්‍රය යළි බලයට පැමිණීමේ සැලසුම් පරාජයක කෙරෙන ආකාරයෙන්, මෙතෙක් කල් ආණ්ඩුව අසමත්ව ඇති හෝ පැහැර හැර ඇති කාර්ය භාරය ඉෂ්ට සිද්ධ කරවා ගැනීම සඳහා ආණ්ඩුව කෙරෙහි මහජන බලපෑමක් ඇති කිරීම අතිශය වැදගත් ය. හැට දෙලක්ෂයේ අපේක්ෂා සාධනය සඳහා වන නිවැරදි මාවතක ආණ්ඩුව යොමු කරවා ගැනීම සඳහා එය ඉවහල් වනු ඇත.

හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය වෙනුවෙන්,

පුරවැසි බලය,

සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය,

නිදහසේ වේදිකාව,

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ,

වීදියේ විරෝධය,

වමේ කේන්ද්‍රය,

ලක්බිමේ මව්වරු සහ දියණියෝ,

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති සන්ධානය

– හැට දෙලක්ෂය සීරුවෙන් හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරයේ නිවේදනය

Archive

Latest news

Related news