Sunday, May 5, 2024

මෙහෙම ගියොත් 2020 වෙනකම් එක දූෂණ නඩුවක්වත් ඉවර වෙන්නේ නෑ – නි. ඇමැති අජිත් පී. පෙරේරා

“අද නඩු විභාග වන අන්දමට දිගමෙ ගියොත් 2020දී මේ ආණ්ඩුවේ කාලය ඉයර වන තුරු දූෂණ සම්බන්ධයෙන් පවරා ඇති එක් නඩුවක්වත් අසා ඉවර කරන්නට බැහැ” යැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

ඔහු මේ බව පැවසූයේ පසුගිය 03දා ජාතික පුස්තකාල සේවා මණ්ඩලය ශ්‍රවනාගාරයෙහි ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය සඳහා සංසදය විසින් පවත්වන ලද රුස්වීමකදී අදහස් දක්වමිනි.

ඔහු තව දුරටත් මෙසේ පැවැසීය.

“ මං පසුගිය දවස්වල මේ ගැන විස්තර සොයා ගත්තා. ප්‍රශ්ණය තියෙන්නේ කොහේද? පොලීසියේ හෝ එෆ්අයිසීඩීයේ නොවෙයි. ඔවුන් මේ වන විට මහා පරිමාණ දූෂන 89 ගැන පරීක්ෂණ අවසන් කර නීතිපති දෙපාර්ථමේන්තුවට යවා තිබෙනවා. නීතිපති දෙපාර්ථමේන්තුව පවරා තිබෙන්නේ නඩු 15ක් පමණයි. හැම පරීක්ෂණ වාර්තාවක් අනුවම නඩු දාන්න පුලුවන් යැයි මං කියන්නේ නැහැ. නමුත් ඇයි 15ක් විතරක්.

“ප්‍රශ්ණය තියෙන්නේ නීතිපති දෙපාර්ථමේන්තුවේ. ඒ විතරක් නොවෙයි. අධිකරණයේත් තියෙනවා ප්‍රශ්ණයේ කොටසක්. පහුගිය දවස්වල විභාගයට ගත් එවැනි දූෂණ නඩු ලබන ජනවාරි පෙබරවාරි දක්වා කල් දමා තිබෙනවා. මේ දූෂිත දේශපාලනඥයින් ගණන් හදනවා තව කී වතාවද 2020 වන තුරු නඩු කල් දා ගන්න තියෙන්නේ කියලා.

“ මේ නඩු අහන්න විශේෂ අධිකරණ පිහිටුවන්න ඕනෑ. නැත්නම් එක දිගට අසා නඩුව ඉවර කරන ට්‍රයල් ඇට් බා කියන ක්‍රමයට නඩු අහන්න ඕනෑ. දැන් යාපනයේ විද්‍යා දැරිය කෙළෙසීමේ සහ ඝාතනය කිරීමේ නඩුව නඩු පෝලිමේ තියන්නේ නැතුව ඒ විදිහටයි අහන්නේ. අන්න ඒ විදහට මේ දූෂණ චෝදනා සහිත නඩු අහන්න නීතිපති දෙපාර්ථමේන්තුව ක්‍රියා කරන්න ඕන.

“ ප්‍රශ්ණය තියෙන්නේ එතනත් නොවෙයි. අධිකරණ අමාත්‍යාංශයේ. එතැනින් තමයි මේ ප්‍රශ්ණය විසදන්න පුලුවන්. ”

“අප අද මේ දූෂිතයින්ට දඩුවම් කරන්නේ නැත්නම් ව්‍යවස්ථා ජනමත විචාරණයක් දිනන්න බැහැ. ජනයා ජන්දය දෙන්නේ ආණ්ඩුව දිහා බලලයි. ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැත්නම් ජනමත විචාරණයකදී ව්‍යාවස්ථාවට විරුද්ධව ජන්දය දේවි.“

“ මේ ප්‍රශ්ණය විවෘතව සාකච්ජාවට ගන්න ඕනැයි කියළ මං තීරණයකට ආව සතියකට කලින්. මොකද අපි මේ අවස්ථාවේ මෙම ප්‍රශ්ණයට මැදිහත් වුණේ නැත්නම් ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය නැතිවෙලා ගිහින් අපේ ප්‍රධාන පොරොන්දුව වූ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම කරන්න බැරි වෙනවා. “

“ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම එවැනි නව ව්‍යවස්ථාවකින් කළ යුතුමයි. අප පෙනී සිටින්නේ ඒ සඳහායි. ”

මෙම සභාව අමතා කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර, සමසමාජ බහුතර කණ්ඩායමේ ජයම්පතී වික්‍රමරත්න, ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත්, දෙමළ ජාතික සන්ධානයේ එම්. සුමන්දිරන් සහ ශ්‍රීලනිපයේ අතාවුද සෙනවිරත්න යන මහත්වරුද අදහස් දැක්වූහ.

Archive

Latest news

Related news