Tuesday, July 16, 2024

ඇයි රනිල් මෙච්චර බය?

ජායාරූපය‍: හතලිස් වසර වෙනුවෙන් පින් අනුමෝදන් වන රනිල්.

බිය වූ විට මිනිසුන්ට බාගෙට පිස්සු වැටේ. එවිට සිහිය විකල් වෙයි. නොදන්නා බලවේග කෙරෙහි විශ්වාසය තබන්නට පටන් ගනියි.

නොදියුණු ලෝකයේ මිනිස්සු ගස් ගල් වලට පමනක් නොව තේරුම්ගත නොහැකි සෑම දෙයකටම බිය විය. බිය වී ඒ වස්තූන්ට වන්දනා මාන කිරීමෙන් ජීවිතය බේරා ගත හැකි යැයි සිතූහ. තවමත් එවැනි මිනිස්සු මේ ලෝකයේ සිටිති.

පෙනෙන විදිහට රනිල් වික්‍රමසිංහ ද අයත් වන්නේ ඒ වර්ගයටය. ඔහු සිය ජීවිතය සහ දේශපාලන අනාගතය ගැන කොතරම් බිය වී සිටින්නේ ද යන්න තමාගේ දේශපාලන ජීවිතයට 40වසරක් පිරීම නිමිත්තෙන් නැටූ ජොගියෙන්ම පෙනේ.

දේශපාලනඥයකු වංචාකාරී ජාවාරම්කරුවකුගේ මුදලින් ජීවත්වීමට නිවාසයක් ලබා ගැනීම ලැජ්ජා නැතිකමක් පමණක් නොව එම ජාවාරම්කරුවාගේ කපටි ආරක්ෂකයකු බවට පත්වීමකි.

ඇලෝසියස්ගේ ගෙට රිංගා ගත් එජාප පතාකයකු වන රවි කරුණානායක දැන් සමස්ත ආණ්ඩුවම අර්බූදයකට යවා තිබේ. ඔහු ඉල්ලා අස්නූන හොත් ආණ්ඩුව අමාරුවේය. ඉල්ලා අස්වුවහොත් එජාපය අමාරුවේය.

රනිල් වික්‍රමසිංහ බිය වී සිටින්නේ වර්ධනය වන මෙම දේශපාලන කුණාටුව නිසා පමණක් ද වෙනත් කාරණයක් නිසා ද කියා කියන්නට අමාරුය.

ජාවාරම්කරුවකුගේ හොර සල්ලිවලින් ඇමැතිවරුන් ගෙවල් ගැනීම වැරදි නම් මහජනයාගේ මුදලින් රාජ්‍ය යාන්ත්‍රණය පාවිච්චි කොට අගමැතිවරයෙක් තමාට සෙත් පතා ගැනීම හරිද?

සෙත්පතා ගැනීම යනු හරියට රොහල් ගත වී සේලයින් ලබා ගන්නවා වැනි දෙයති. බොධිපුජා යනු ආගමික සේලයින්ය. අගමැති රනිල් වික්‍රමසිංහට ආගමික සේලයින් අවශ්‍ය නම් කළ යුත්තේ මහජන මුදල් වැය නොකොට අඩු ගණනේ රවි කරුණානායක මෙන් ජාවාරම්කරුවකු අල්ලා ගැනීමය.

නමුත් සිදුව ඇති දේ ඊට වෙනස්ය. අගමැතිගේ 40වසරක පාර්ලිමේන්තු දිවිය අවස්ථාව කර ගනිමින් ඔහුට ( රජයට සහ මහජනයාට යැයි ලිපියේ ලියා ඇතත් ඇත්ත කතාව වෙනස්ය) සෙත් පතා බෝධි පූජා හත් – අට සියයක් මහජන මුදලින් පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ සැළසුම් කර තිබේ. ඔහුගේ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට සියළුම ප්‍රදේශීය සභාවන් විසින් අඩුම ගණනනේ රනිල් වික්‍රමසිංහගේ 40 වසක පාර්ලිමේන්තු දිවිය නිමිත්තෙන් සෙත් පතා බෝධි පුජා 4ක් පැවැත්විය යුත් යැයි නියෝගයක් යැවූයේය. එමෙන්ම සෑම දිස්ත්‍රික් ලේකම්වරයකු විසින්ම ආගමික පූජාතයින් 40 දෙනකු බැගින් රැස්කර පිරිත් දේශනා සහ දානමාන පිංකම් පැවැත්විය යුතු යැයිද එමගින් නියෝග කරන ලදී.

අගමැතිවරයාට ආගමික සේලයින් ලබා ගැනීමට මහජන මුදල් සහ රජයේ යාන්ත්‍රණය අවභාවිත කිරීම මහ දවල් මංකොල්ලයකි.

තම පක්ෂය අනාගමික පක්ෂයකැයි මලික් සමරවික්‍රම ලවා රහස් පුවත්පත් නිවේදන යවන රනිල් වික්‍රමසිංහ තමන්ගේ පුද්ගලික සුබසෙත සඳහා මෙවැනි අවභාවිතයන් කරන්නේ යහ පාලනය ඇති කිරීමටද?

ඇත්තටම රනිල් වික්‍රමසිංහ මේ තරම් බයද?

Archive

Latest news

Related news