Monday, May 20, 2024

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන බ්‍රිතාන්‍ය වාර්තාව: ප්‍රගතිය ඇතත් ඉදිරිය මදි!

148වන දිනටත් ( 2017 ජූලි 21) යුක්තිය ඉල්ලා විරෝධතාවයක යෙදී සිටින වවුනියාවේ අතුරුදහන්වූවන්ගේ මා පියෝ. (c)s.deshapriya.

පසුගිය වසර ඇතුළත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රගතියක් දක්නට ලැබෙන නමුත් ජාතීන් අතර සම්බන්ධතා සහ සමලිංගික අයිතිවාසිකම් ඇතුළු කරුණු සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රගතියක් ලැබිය යුතු බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.
මානව හිමිකම් සම්බන්ධ සිය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් ඒ බව සඳහන් කරන විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධ බ්‍රිතාන්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව මෙතෙක් ලබා තිබෙන ප්‍රගතිය අගය කරන බව සඳහන් කරයි.
විශේෂයෙන්ම අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීම පිළිබඳ පනත සම්මත කිරීම ජාතීන් අතර සංහිඳියාව විෂයයෙහිලා තැබූ ඉදිරි පියවරක් බව පවසන බ්‍රිතාන්‍ය වාර්තාව, කෙසේ නමුත් එම කාර්යාලය තවමත් පිහිටුවා නොමැති බව ද පෙන්වා දෙයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ මුලින්ම සම්මත කොට ඉන් අනතුරුව මේ වසරේ ජුනි මාසයේ සංශෝධනය කරන ලද එම පනතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා (ජූලි 20) අත්සන් තැබුවේය.

ශ්‍රී ලංකාවේ සහ බ්‍රිතාන්‍යයේ සම අනුග්‍රාහකත්වයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරන ලද 30/1 දරන යෝජනාවේ ලබා දුන් පොරොන්දු ඉටු කිරීමෙහිලා ශ්‍රී ලංකාව ප්‍රගතියක් දක්වා තිබෙන නමුත් තවදුරටත් එහි ප්‍රගතියක් ලැබිය යුතු බව ද බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වාර්තාව පවසයි.

විශේෂයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයේදී බලය විමධ්‍යගත කිරීම කෙරෙහි ද අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව පවසන බ්‍රිතාන්‍ය වාර්තාව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතිඥා දී තිබෙන බවත් සිහිපත් කරයි.

මේ අතර පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුන ත්‍රස්තවාදය පිටුදැකීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්, ශ්‍රී ලංකා බලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අති බහුල වශයෙන් යොදා ගනු ලබන්නේ දෙමළ ජනතාවට එරෙහිව වන බැවින්, රාජ්‍යයේ සංවිධානාත්මක වධ බන්ධන යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්වන්නේත් ඔවුන්ම බව සඳහන් කළේය.

විශේෂයෙන්ම එම පනත යටතේ 2016 අග භාගයේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගෙන් 80% ක්ම තමන් වධ බන්ධනවලට ලක් කළ බවට පැමිණිලි කිරීම පිළිබඳව සිය බරපතළ අවධානය පළ වී තිබෙන බව ද සිය සංචාරය අවසානයේ කොළඹ දී මාධ්‍ය අමතමින් විශේෂ නියෝජිතයා සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම, අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීම සහ බලය විමධ්‍යගත කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ගේ ඓතිහාසික ගැටලුවලට විසඳුම් ලබාදීමෙහිලා ඉතා වැදගත් පියවර බව බ්‍රිතාන්‍ය වාර්තාව අවධාරණය කරයි.

ආරක්ෂක හමුදාව තවමත් විශාල වශයෙන් උතුරේ රඳවා තිබෙන නමුත්, හමුදාව සිය කටයුතු බොහෝ දුරට සීමා කිරීම අගය කරන වාර්තාව කෙසේ නමුත් ආරක්ෂක හමුදාවල බියවැද්දීම් සහ හිරිහැර කිරීම් තවමත් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් වාර්තාවන බව ද බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වාර්තාව සඳහන් කරයි.

– බීබීසී සිංහල

Archive

Latest news

Related news