“මම මේ රටේ වාමාංශික දේශපාලන පක්ෂයක සාමාජිකයෙක්. වාමාංශිකයෙක් ලෙස මේ රටේ වැඩකරන පන්තියේ වුවමනාවන් හා අත්පත් කරගත යුතු ජයග්‍රහණයන් පිළිබඳව මා තුළ දැඩි හැඟීමක් තිබෙනවා. ඒ අනුව වැඩවර්ජනය කිරීමේ අයිතිය වෙනුවෙන් මා නිතැනින්ම පෙනී සිටිනවා. මේ රටේ අව වරප්‍රසාදිත කම්කරු ජනතාව තමන්ට හිමිවිය යුතු වරප්‍රසාද හා අයිතීන් දිනාගැනීම සඳහා වැඩවර්ජනය අවියක් ලෙස යොදාගෙන ද තිබෙනවා. හෙන්රි ජයසේන නාට්‍යවේදියාගේ එක් සුප්‍රකට නාට්‍යයක් වූ පරිදි ඒවා මනරංජන වැඩවර්ජන ය. ඒ අනුව වරප්‍රසාදයන් අහිමිකර ඇති කම්කරු ජනතාව තම අයිතීන් වෙනුවෙන් වැඩවර්ජනය කරද්දි එය මට මනරංජනිය යි. ඒවා මනරංජන වැඩවර්ජන ලෙස මම හඳුන්වමි”.
“එහෙත් ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද වෛද්‍යවරු යනු වරප්‍රසාදිත පිරිසකි. අධ්‍යාපනයෙන් ද වෘත්තීය ගුණාත්මකභාවයෙන් ද වැටුප් හා අනෙකුත් පහසුකම් සැලකීමේදී ද වෛද්‍යවරුන් යනු වරප්‍රසාද බහුල පිරිසකි. ඒ නිසා වරප්‍රසාද අහිමි ලෝක කම්කරු ප්‍රජාවට ඇති වැඩවර්ජනය කිරීමේ අයිතිය වෛද්‍යවරයාට ද ඇතැයි මම විශ්වාස නොකරමි. ඒ නිසා වෛද්‍යවරුන් කරන වැඩවර්ජන මට මනරංජන වැඩවර්ජන නොවේ. මා ඒවා හඳුන්වන්නේ අතිදුර්ජන වැඩවර්ජන ලෙසටය”.
එම අදහස මේ රටේ සුප්‍රකට දේශපාලන හා සමාජ විචාරකයෙකුගේ ය, කවියෙකු ද, ගීත රචකයෙකු ද වන සාහිත්‍යකරුවෙකුගේ ය. එපමණක් ද නොවෙ මේ රටේ වෛද්‍යවරයෙකුගේ ය. මෑත භාගයේ සමාජ දේශපාලන ක්ෂේත්‍රයන්හි මහත් අවධානයකට යොමුවූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ය. වෛද්‍යවරුන් විසින් සිදුකරන වැඩවර්ජන තමන්ට කිසිදාක මනරංජන නොවූ බවත් ඒවා සෑමවිටම අතිදුර්ජන වැඩවර්ජන වූ බවත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කළේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ද ඇතුලු එහි ප්‍රමුඛ නිලධාරීන් බොහෝ දෙනෙකු ඉදිරිපිටදි ය. ඒ මේ රටේ වෘත්තීය ප්‍රජාව ද ඇතුලු විශේෂයෙන්ම වෛද්‍ය ප්‍රජාවට සිතන්නට තවත් බොහෝ දේ ඉතිරි කරමින්ය.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හා එහි ලේකම් වෛද්‍ය හරීන් අලුත්ගේ යන මහත්වරුන් ද ඇතුළුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රමුඛ පිරිසක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමුවීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමුවීම සඳහා ඔහුගේ නිවසට ගොස් ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරෙන් ඉවත් නොවන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීමට හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරෙන් ඉවත් කළහොත් තම සංගමය වෘත්තීය සමිති දැඩි ක්‍රියාමාර්ගයකට යොමුවන බව ඔහු වෙත දැනුම් දෙන්නටත් ය. වෘත්තීය සමිති දැඩි ක්‍රියාමාර්ගයක් ලෙස නිසැකවම අදහස් කරන ලද්දේ අඛණ්ඩ වැඩවර්ජනයක් පිළිබඳව ය. වෛද්‍යවරයෙකු සිදුකරන වැඩ වර්ජන කිසිසේත්ම තමන්ට මනරංජන නොවන බවත් ඒවා නිසැකවම අතිදුර්ජන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ එතැනදීය.
එපමණක්ද නොවේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා හා ලේකම්වරයා වෙතට හැරෙමින් වැඳ වැටෙමින් කියා ඇත්තේ “මේ දේ කියන්නේ දන්නා සිංහලෙන් බවය. මෙන්න වැන්දා, වැඩවර්ජනයකට නම් යන්න එපා යන්නය. එසේ කරනවාට වඩා එතැනදීම ඔහුගේ බෙල්ල කපා දමන ලෙසට ය.
අපට මෙන්ම රටට ද මෙහිදී මතුවන ප්‍රශ්නයක් තිබේ. එනම් මෑත යුගයේ වැඩවර්ජන වැඩිම ප්‍රමාණයක් සිදුකර ඇති, ඇතැම් විටෙක ලෝක වාර්තාවක් පවා වියහැකි වාර්තාවකට හිමිකම් කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ඉල්ලීම කෙසේ පිළිගනීද යන්නය. අඩුම වශයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයාට ඇහුම්කන් දේ ද යන්නය. සාමාන්‍ය සමාජය තුළ ජීවත් වන අය ලෙස මෙහිදී අපට හැඟෙන්නේ මහාචාර්යවරයා විසින් මතුකර ඇති අදහස පිළිබඳව මුළු මහත් සමාජයම ගැඹුරින් සිතාබැලිය යුතු බවය. මක්නිසාද යත් එක් අතකින් ඔහු දැනුවත් සමාජවාදියෙක් ලෙස කම්කරු පන්තියේ ස්වභාවය මෙන්ම ඔවුන් දිනාගත යුතුව ඇති අයිතිවාසිකම් පිළිබඳව ද මනා දැනුවත්භාවයකින් යුත් අයෙකි.
ඒ නිසා කම්කරු පන්තියට ඇති වැඩවර්ජනය කිරීමේ අයිතියට මහාචාර්යවරයා අතිශයින්ම පක්ෂපාතීය. කම්කරු පන්තිය සිය අයිතීන් උදෙසා වැඩ වර්ජනයකට පිවිසෙන විට ඔහුගේ මනස රංජනය කරන්නේ ඒ නිසාය. ඒ සමගම ඔහු මේ රටේ ප්‍රකට වෛද්‍යවරයෙක් ද වන්නේය. වෛද්‍යවරයෙක් පමණක් නොව වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ද වේ. ඒ සියල්ලටම අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඉමහත් පිළිගැනීමට හා ඇගයීමකට ලක්කරමින් සිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා ද වන්නේය. ඒ නිසා අප බොහෝ දෙනෙකුට වඩා වෛද්‍යවරයෙකුගේ ඇසින් වැඩ වර්ජන පිළිබඳව බලන්නට දකින්නට ඔහුට හැකියාවක් තිබේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍යවරුන්ගේ වැඩවර්ජන පිළිබඳව ඔහුගේ අදහස් විවෘතවම ප්‍රකාශ කර ඇත්තේ ඒ සියලු මානයන් තුලනය කරමින් විය යුතුය.
දැන් ප්‍රශ්නය වන්නේ එසේ තුලනාත්මක ඇසකින් ඒ ආකාරයටම මේ ප්‍රශ්නය දෙස බලන්නට ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නොහැකි වී ඇත්තේ කුමක් නිසාද යන්නය. ඔවුන්ගේ දෑස් වසාගෙන සිටින්නේ කවුරුන් විසින් ද යන්නය.
සුනිල් ජයසේකර