Tuesday, July 16, 2024

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එපා! ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීමක් ද වැරදි අර්ථකථනයක් ද?

තද නින්දකට වැටී සිටි අවස්ථාවක දී එක්වරම ඇසුණු අමුතු ශබ්දයකින් බියපත්ව දිවයමින් සිටි හාවෙකුගේ බහට රැවටුණ වන සතුන්ට මුහුණ දීමට සිදුවූ ඉරණමට සමාන තත්වයක් අද වනවිට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට සිදුවී තිබේ. රටට අලුත් ව්‍යවස්ථාවක් එපා යැයි සහ බලහත්කාරී අතුරුදන් කිරීම් වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්පත විවාදයට ගන්නත් එපා යැයි මේ රටේ ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් රජයට දැනුම් දී ඇතැයි කියන කතාව මේ රටේ බොහෝ දෙනෙකු විසින් පිළිගෙන තිබීම ද එවැන්නකි.

ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා මුළු මහත් ඉතිහාසය පුරාම රටකළ රාජ්‍ය පාලකයන්ට අර්ථයෙන් හා ධර්මයෙන් සිදුකරන ලද අනුශාසනාවන් පිළිබඳව ඕනෑ තරම් කරුණු කාරණා දැක්විය හැකිය. සාමාන්‍යයෙන් සෑම පොහෝ දිනයකදීම රටේ බොහෝ වෙහෙර විහාරස්ථාන වල සිදුකරන ධර්මදේශනාවන්හිදී ත් රට තොටේ සිදුකරන විවිධ උත්සව හා රැස්වීම් වලදී ත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා දක්වන අදහස් අනුව රාජ්‍ය පාලනයට හා පාලකයන්ට අදාළ විවිධ කරුණු කාරණා ප්‍රකාශ කිරීම සාමාන්‍ය තත්වයකි. ඒ අතර ඇතැම් දේ සාමාන්‍ය තත්වයන් යටතේ සිදුකරන අදහස් හා යෝජනා වන අතර ඉතා වටිනා සාර්ථක මඟ පෙන්වීම් ද ඒ තුළ බොහෝවිට තිබිය හැකිය. තවත් සමහර විටෙක ඒ ඒ භික්ෂූන් වහන්සේලාගේ දැනුම හා හැඟීම්බර තත්වයන් අනුව පටු හා අන්තවාදී අදහස් ද මතුවීමට හැකි ඉඩකඩ නැතුවා ද නොවේ. එය සාමාන්‍ය තත්වයකි. එය බෞද්ධ සංඝ සමාජයට පමණක් අදාළ වන තත්වයක් නොව අනෙකුත් ආගමික පූජ්‍ය හා පූජක පක්ෂයන් වෙතින් ද දැකිය හැකි සාමාන්‍ය තත්වයකි.

එහෙත් ඕනෑම ආගමක නිල ආගමික සංස්ථා යම් අදහසක් සමාජගත කරන්නේ නම් ඒ කිසියම් සම්ප්‍රදායකට අනුගතව, විධිමත් හා ගැඹුරු සංවාදයකින් අනතුරුව ඇතිකරගන්නා පොදු පිළිවෙතක් තුළ එය සිදුකිරීම පිළිගත් ස්වභාවයයි. මල්වතු – අස්ගිරි උභය විහාරය නියෝජනය කරන ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ද අමරපුර, රාමඤඤ යන අනෙකුත් මහා නිකායන් ද අනුගමනය කරමින් සිටින පිළිගත් ශාසනික සම්ප්‍රදාය ද එයම වන්නේය. ඒ අනුව රටට වැදගත් කරුණු සළකා බලා එකී එක් එක් නිකායන් වශයෙන් ද ත්‍රෛනිකායික වශයෙන් ද යම් යම් කරුණු කාරණා අරබයා සිදුකරන පැහැදිළි කිරීම්, නිවේදන මෙන්ම රාජ්‍ය පාලනයට අදාළ යම් යම් මඟපෙන්වීම් අතීතයේ නොයෙකුත් අවස්ථා වලදී ද සිදුකර තිබේ.

සිංහල රජ දවස පමණක් නොව විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති කාලයේදීත් එම සම්ප්‍රදායයේ වෙනසක් නොවූ අතර විශේෂයෙන්ම නිදහසින් පසු නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ දේශපාලන ක්‍රමයට අනුගත මහජන පරමාධිපත්‍යය මත රට කරවන මෑත යුගයට අදාළවත් එය එසේම වී තිබේ. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලා යම් යම් ස්ථාවරයන්ට එළැඹ ඇත්තේ ඒ පිළිබඳව තම තම නිකායන්හි පිළිගත් ශාසන භාරධාරී මහතෙරුණ් වහන්සේලා සමග ද තම නිකායන්හි පිළිගත් සෙසු මහා සංඝයා වහන්සේලා සමග ද තම නිකායන්හි කාරක සංඝ සභාව තුළ ද සිදුකරන ගැඹුරු සංවාදයකින් අනතුරුවය. ඒකාබද්ධ නිවේදනයන් නිකුත් කරන්නේ නම් එක් එක් මහානායක ස්වාමීන් වහන්සේලා අන්‍යොන්‍ය වශයෙන් ගැඹුරු ලෙස අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුවය. ඒ සියල්ල එසේ ඒ ආකාරයට පවත්වා ගනිමින් අවසානයේ එම නිවේදනය, පණිවුඩය හෝ අනුශාසනය සමාජගත කරන්නේ එක් එක් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අත්සන හා ඒ ඒ නිකායන්හි මුද්‍රාව ද සහිතවය.

ඒ අනුව මේ රටේ සමස්ත සමාජයම ගැඹුරින් විමසා සිටිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අනවශ්‍යයැයි හා පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිතව තිබූ වැදගත් පනත් කෙටුම්පතක් විවාදයට නොගන්නා ලෙසට මේ රටේ ත්‍රෛනිකායික අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලා රජයට දැනුම් දී තිබේද යන්නය. එසේ දැනුම් දී ඇත්නම් ඒ දැනුම්දීම සිදුකර ඇත්තේ කෙසේද යන්නය. ඒ පිළිබඳව ඉදිරිපත් කර ඇති විධිමත් ලේඛන මොනවාද යන්නය. තද නින්දකට වැටී සිටි හාවෙකුට ඇසුණ අසාමාන්‍ය ශබ්දයකින් පසු වනවාසීන්ට අත්වූ ඉරණම ම ද ශ්‍රි ලංකාවේ බොහෝ දෙනෙකුට අත්වී තිබේද යන ප්‍රශ්නය පැන නගින්නේ මෙහිදී ය.

මේ රටේ සියලුම ජනමාධ්‍ය පාහේ වාර්තා කර තිබූ අන්දමට පසුගිය අඟහරුවාදා (04 වනදා) මහනුවර අස්ගිරිය විහාරස්ථානයේ ශ්‍රී චන්දානන්ද අනුස්මරණ ශාලාවේදී භික්ෂූන් වහන්සේලා රැසක් එක් රැස් වී කිසියම් සාකච්ඡාවක් පවත්වා ඇති බව සත්‍යයකි. ඒ සඳහා ත්‍රෛනිකායික අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම සහභාගී වී නැතත් මහානායක ස්වාමීන් වහන්සේලා කිහිප නමක් වැඩමවා සිටි බව ද සත්‍යයකි. එමෙන්ම එහිදී අද්‍යතන සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික කරුණු කාරණා රැසක් පිළිබඳව ද අවධානයක් යොමුවී පැවති බව ද සත්‍යයකි. එහෙත් ඒ කිසිදු අවස්ථාවක රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට ත්‍රෛනිකායික අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලා ඒකමතිකව තීන්දු කළ වගට කිසිදු සාධකයක් මේ දක්වාම ඉදිරිපත් වී නැත.

එහෙත් ඒ වෙනුවට ඉහත කී කරුණු වලට අදාළව මෙන්ම තවත් කරුණු කාරණා රැසක් පිළිබඳව සහභාගී වී සිටි ඇතැම් මහානායක ස්වාමීන් වහන්සේලා හා සෙසු මහා සංඝරත්නය ද විවෘතවම අදහස් පළකර ඇති අතර අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කර තීරණයකට එළැඹිය යුතු යැයි යෝජනා කරන කරුණු 15ක් පිළිබඳ ලේඛනයක් ද එළිදක්වා තිබේ. එහි ඇත්තේ අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කර තීරණය කළයුතුව ඇති කරුණු මිසක අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලා අවසන් ස්ථාවරයකට එළැඹ ඇති කරුණු නොවේ.

එසේ නම් ඉතා සංවේදී හා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ද විශාල බලපෑමක් ඇතිකළ හැකි නිමිත්තක් ද ඇතුළු කරුණු කාරණා කිහිපයක් පිළිබඳව සමාජය තුළ වැරදි අදහසක් රෝපණය වීමට මඟ පෑදුණේ කෙසේද? නින්දේ සිටියදී ඇසුණ අමුතු ශබ්දයකට බියපත් වූ හාවාගේ භූමිකාව මෙහිදී ඉටුකර ඇත්තේ කවුරුන් විසින් ද? පසුගිය දිනවල ඊට අදාළව පළවූ ප්‍රවෘත්ති වාර්තා සළකා බැලීමේදී නිසැක වශයෙන්ම එම භූමිකාව ඉටුකර ඇත්තේ මේ රටේ ජනමාධ්‍ය විසින් බව පැහැදිළිවම කිවහැකිය. මේ රටේ ජනමාධ්‍ය වාර්තාකර ඇති ආකාරයට ත්‍රෛනිකායික අතිගරු මහානායක හිමිපාණන් වහන්සේලා පසුගිය 04 වනදා ඔවුන් කියන ආකාරයේ නිවේදනයක් රජය වෙත නිකුත් කර ඇත්නම් ඒ බව තහවුරු කිරීම මේ රටේ සියලුම ජනමාධ්‍ය වෙත පැවරෙන වගකීමකි. නොඑසේනම් එම පුවත වහාම නිවැරදි කිරීම ද ඔවුන් සතු වගකීමක් වනු ඇත.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news