Tuesday, July 16, 2024

උමාඔය පරිසර ඇගයීම් වාර්තාව හැදුවේ කොහොමද? ශ්‍රී ජයවර්ධනපුර උපකුලපතිට ප්‍රශ්ණයක්

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් මහාචාර්ය ස්වර්ණා පියසිරි මහත්මිය ගේ කණ්ඩායම් නායකත්වයෙන් සිදු කළ පරිසර ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්ණ කිහිපයක් අද ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ උප කුලපති වරයා වෙත කැෆේ සංවිධානය විසින්  යොමු කර තිබේ.
එම ලිපිය පහතින් දැක්වේ.
 

2017 ජුලි 5 වනදා
උපකුලපතිතුමා,
ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලය,
නුගේගොඩ.

මහත්මාණෙනි,

උමා ඔය පරිසර ඇගයීම් වාර්තාව – 2010 නොවැම්බර්

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් මහාචාර්ය ස්වර්ණා පියසිරි මහත්මිය ගේ කණ්ඩායම් නායකත්වයෙන් සිදු කළ පරිසර ඇගයීම් වාර්තාව සම්බන්ධයෙනි. 
 
උමා ඔය ව්‍යාපෘතිය ඌව පරණගම, වැලිමඩ, බණ්ඩාරවෙල, ඇල්ල, හාලි ඇළ හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන් 6 ක ජනතාවගේ හිස මත කඩා වැටුණු ඛෙදවාචකයක් බව ට පත්වී ඇතැයි ඔබ ද දන්නේ යැයි සිතමි.  එම ව්‍යාපෘතියේ පරිසර ඇගයීම් වාර්තාව සකස් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මගින් යැයි කියනු ලැබේ. 
1.      අදාළ පරිසර ඇගයීම් වාර්තාව සකස් කිරීම සදහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා වාරි මාර්ග අමාත්‍යාංශය සමග කුමන ආකාරයක හෝ ගිවිසුමක්, එකගතාවයක් ඇති කොට ගත්තේ ද?  එසේ නම්, එම එකගතාව/ගිවිසුම පිටපතක් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.
2.      අදාළ පරිසර වාර්තාව සදහා විශේෂඥයින් තෝරා ගැනීමේ දී විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශය විසින් හෝ එවැනි වෙනත් වගකිවයුතු මණ්ඩලයකින්/අධිකාරියකින් අනුමැතිය ලබා ගත්තේ ද?
3.      මුලික වශයෙන් ඉංජිනේරුමය කාර්යයක් වන මේ සදහා අවම වශයෙන් ඉංජිනේරු පීඨයක් හෝ නොමැති ඔබ විශ්වවිද්‍යාලය ඉදිරිපත්වීමට යම් සුවිශේෂ වූ හේතුවක් තිබේ ද? 
 4.      අදාළ විශේෂඥයින් තෝරා ගැනීම සදහා පදනම් වූ නිර්ණායක පවතී ද?  එසේ නම් ඒ මොනවාද? එහි පිටපතක් ලබා ගත හැකි ද?
 5.      සත්ත්ව විද්‍යාව පිළිබද විශේෂඥතාව සහිත පුද්ගලයින් 6 දෙනෙකු හෝ එයට වැඩි සංඛ්‍යාවක් මෙම කමිටුවට ඇතුලත් කිරීමට පදනම් වූ හේතු සාධක කවරේ ද?  කණ්ඩායම් නායිකා මහාචාර්ය පියසිරි මහත්මියගේ පුද්ගලික දැන හැදුණුම්කම් හැර ඒ සදහා වෙනත් සාධක පවතී ද?
 6.      තමන් අදාළ කේෂ්ත්‍ර‍යන් සම්බන්ධයෙන් මෙම විශේෂඥතාව ඇති පුද්ගලයින් විසින් ලබා දුන් නිරීක්ෂණ හෝ නිර්දේශ සියල්ල හෝ කොටසක් හෝ විශ්වවිද්‍යාලයේ එවකට සිටි උපකුපලපතිවරයා හෝ වෙනත් බලධාරියෙකු ගේ අවශ්‍යතාව මත ඉවත් කරනු ලැබුවේ ද?  එසේ නම් එම කොටස් මොනවාද?
 7.      මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවීමෙන් පසුව පරිසර ඇගයීම් වාර්තාවක් වෙනුවෙන් ලැබුණු වැඩිම පැමිණිලි සංඛ්‍යාව (101) ක් ලැබීමෙන් පසුව හෝ එයට හේතු වූ කරුණු පිළිබද පසු විපරමක් කරුනු ලැබුවේ ද? නොඑසේ නම් ඒ ඇයි?
 8.      ඇමරිකානු ඩොලර් මිලියන 248 ක් හෝ එයට වැඩි දුෂණයක් සිදු කිරීම සදහා පාදක ලියවිල්ලක් බවට පත් කොට ගත් පරිසර ඇගයිම් වාර්තාව තුලින් අයාථ වාසි ලැබූ පුද්ගලයින් වේ දැයි විශ්වවිද්‍යාලය මගින් පරීක්ෂණයක් සිදු කරන්නේ ද? නැතිනම් ඒ මන්ද?
9.      ඔබ විශ්වවිද්‍යාල මගින් සකස් කළ බව කියන වාර්තාවක් මත පදනම්ව සිදු කල සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් සිදුව ඇති ඇදහිය නොහැකි විනාශය පිළිබද ඔබ ආයතනය දක්වන ‘සමාජ වගකීම‘ කුමක් ද?
මේ පිළිබද ඔබගෙන් ඉක්මන් පිළිතුරක් අපේක්ෂා කරමි.
 
මෙයට විශ්වාසී,
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

Archive

Latest news

Related news