Tuesday, April 16, 2024

සිය මහගෙදර සමතලා කරන්නැයි කී  ලී ක්වාන් සහ මහජන මුදලින් පවුලේ ස්මාරක තැනූ රාජපක්ෂ- සුනිල් ජයසේකර

ජායාරෑපය: 1964 ජූලි එවකටත් එරට අගමැති වූ ලී ක්වාන් යූ මහජන රුස්වීමක් අමන අයුරු; AP/File.

සිංගප්පූරුව යනු ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙන කුරු යෝධයෙකි. භූමි ප්‍රමාණයෙන් ඉතා කුඩා රාජ්‍යයක් ලෙස සැලකිය හැකි වුවත් ආර්ථික වශයෙන් සැලකීමේදී ආසියාවේ පමණක් නොව ලෝක පරිමාණයෙන් ද දැවැන්ත යෝධයෙක් ලෙස සිංගප්පූරුව නැගී සිට තිබේ. ලොව ප්‍රමුඛ වරාය කේන්ද්‍රීය වෙළෙඳ මධ්‍යස්ථාන අතර දෙවැනි තැන ගන්නා එරටේ ක්‍රියාත්මක වන්නේ ලොව වඩාත්ම නිදහස්, වඩාත්ම නිර්මාණාත්මක, වඩාත්ම ව්‍යාපාරික හිතවාදී මෙන්ම වඩාත්ම තරගකාරී ආර්ථිකයකි. ග්ලෝබල් ෆයිනෑන්ස් සගරාවට අනුව 2017 වසරට අදාළව ලෝකයේ ධනවත්ම රාජ්‍ය 30 අතරට එක්ව ඇති රටවල් අතරින් සිංගප්පූරුවට හිමිව ඇත්තේ හතරවන ස්ථානයයි. ඒ කාරණයම සිංගප්පූරුව ලබා ඇති ආර්ථික සමෘද්ධියේ තරම තේරුම්ගැනීමට ප්‍රමාණවත්ය.

එහෙත් මේ දිනවල සිංගප්පූරුව බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර වී ඇත්තේ ඒ කිසිවක් නිසා නොවේ. වර්තමාන සිංගප්පූරුවේ පාලකයා හෙවත් අග්‍රාමාත්‍යවරයාට ඔහුගේ සහෝදරයා සහ සහෝදරිය විසින් මතුකර ඇති චෝදනා කිහිපයක් හේතුවෙනි. මේ චෝදනා විමසා බැලීමේදී ලංකාවේ ජීවත් වන ඇතැමුන්ට අනුව නම් මේවාත් ගණන් ගත යුතු දේවල් ද යනුවෙන් සිතනු ඇත. එහෙත් සිංගප්පූරු අගමැතිවරයාට එල්ල වී ඇති මේ චෝදනා නිසා සිංගප්පූරුවේ දේශපාලනය මහත් සේ කැළඹීමට පත්ව ඇති බව නම් සත්‍යයකි.

සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගේ සහෝදරයා මෙන්ම සහෝදරිය ද කර ඇති චෝදනාව වන්නේ අගමැතිවරයා වන තම සහෝදරයාගේ සහ ඔහුගේ බිරිඳගේ චරිත ස්වභාවය, කල්ක්‍රියාව, අරමුණු හා නායකත්වය පිළිබඳව තමන් සැක කරන බවයි. එමෙන්ම තම සහෝදරයා වන අග්‍රාමාත්‍යවරයා ඔහුගේ එකම පුත්‍රයා අනාගතයේදී සිංගප්පූරුවේ පාලකයා බවට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව ද එමගින් ප්‍රකාශ වී තිබේ. ඒ අතර සිය සහෝදරයන් වෙතින් සිංගප්පූරු අග්‍රාමත්‍යවරයා වෙත එල්ල වී ඇති තවත් චෝදනාවක් වන්නේ ඔවුන්ගේ පියා වන සිංගප්පූරු නිර්මාතෘවරයා ලෙස බුහුමන් ලබන ලී ක්වාන් යූ පදිංචිව සිටි අංක 38, ඔක්ස්ලේ පාරේ පිහිටි නිවස තම පියාවන ලී ක්වාන් යූ ගේ අවසන් කැමැත්තට අනුව විනාශ නොකර එය භාවිතයට ගනිමින් අගමැතිවරයා සිය දේශපාලන ප්‍රතිරූපය වර්ධනය කරගන්නට කටයුතු කරන බවය.

සාමන්‍යයෙන් බැලූ බැල්මට මේ චෝදනාව යමෙකුට එතරම් බරපතළ චෝදනාවක් ලෙස නොදැනිය හැකි නමුත් විශේෂයෙන්ම සිංගප්පූරු ජනසමාජය තුළ ඒ ගැන බලවත් අවධානයක් යොමුවී ඇතැයි කියැවේ. ඒ අන්කිසිවක් නිසා නොව සිය ජාතියේ අසහාය නායකයා ලෙස සළකන ලී ක්වාන් යූ ගේ අභිප්‍රාය නොසළකා කටයුතු කරන්නට වර්තමාන තම නායකයා කටයුතු කරන්නේ යන හැඟීම නිසාය. ලී ක්වාන් යූ යනු දුප්පත් මුඩුක්කු වලින් ගහණ ගඳ ගහන වරාය නගරයක් ලෙස පමණක් පැවති කුඩා බිම් කඩකින් යුත් රටක් ලෝකයේ ප්‍රමුඛතම ආර්ථිකයක් සහිත රටක් ලෙස ගොඩනැගූ නායකයා ය. ඒ අනුව අදටත් ඔහු සිංගප්පූරුවේ අසහාය වීර චරිතය වීම එක් අතකට පුදුම වියයුතු කරුණක් ද නොවේ.

දැන් අප විමසිය යුත්තේ තමන් ඉපදී හැදී වැඩුණු තම නිවස තම මරණින් පසු විනාශකළ යුතුව ඇතැයි ලී ක්වාන් යූ සිය අන්තිම කැමැත්තට ඇතුළත් කළේ ඇයි ද යන්නය. ඇත්ත වශයෙන්ම එම තීරණයේ ගැඹුර තුළ ලොවට කියාදෙන පණිවුඩය අතිශයින්ම වැදගත්ය. ලී ක්වාන් යූ එයට පැහැදිළි හේතුවක් ද දක්වා තිබේ. එනම් තමන් ජීවත් වූ නිවස ස්මාරකයක් ලෙස නඩත්තු කිරීමට රජයට විශාල වියදමක් දරන්නට සිදුවීම සහ අසල්වාසීන්ට ඔවුන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමට යාමේදී තමන්ගේ කුඩා පරණ නිවාසය බාධාවක් වියහැකි යැයි ඔහු කල්පනා කළ නිසාය.

Singapore Obit Lee-Kuan-Yew

ඒ අනුව ලී ක්වාන් යූ මරණයට පත්වීමට පෙර කැමැත්ත පළකර තිබුණේ තමන් උපන් නිවස වුවද තමන්ගේ මරණින් පසු එය කඩා බිමට සමතලා කර එම ඉඩම වෙළෙඳපොළ වටිනාකමට අනුව සංවර්ධනය කර නව නිවාස සංකීර්ණයක් ඉදිකළ යුතු බවය.

ඒ ජාතියක් ගොඩනැගු ජාතියක අභිමානය ලොව හමුවේ තහවුරු කළ අද්විතීය නායකයෙකුගේ ප්‍රාර්ථනාවකි. දැවැන්ත නායකයෙකුට තමන්ගේ පරපුර, පුහු ආඩම්බරකම ඉතා කුඩා දේවල්ය. ඔවුන් මරණින් පසුව ද කල්පනා කරන්නේ රටට තමන්ගෙන් ඉටුවියයුතුව ඇති දේ ගැන මිසක පරපුරක් රකින්නට හෝ පරපුරේ පුහු ආඩම්බරය යාවත්කාලීන කරන්නට නොවේ. පියා දුන් ඔවදන නොතකා හැරි සිංගප්පූරුවේ අගමැති පුතාට තම පවුලෙන් මෙන්ම රට වැසියන්ගෙන් ද දෝෂාරෝපණ එල්ල වන්නේ ඒ නිසාය.

ඒ සමගම මේ සිදුවීම මගින් අප බොහෝ දෙනෙක් යටපත් කර ඇති වැදගත් කරුණක් ද සිහිපත් වීම නොවැළැක්විය හැකිය. ඒ අප රටේ හිටපු පාලකයෙක් තම පවුලේ අභිමානය ඔසවා තබන්නට රටේ මහජන මුදල් වැයකර ඇති ආකාරයයි. එනම් ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කරන්නට රජයේ මුදල් ලක්ෂ 900ක ට වැඩි මුදලක් නීති විරෝධි ලෙස යොදවා තිබීමයි. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුදලින් රුපියල් ලක්ෂ 900ක ට වැඩි මුදලක් වැයකර සිදුකර ඇති කාර්යය වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මව හා පියාගේ පිළිරූ ඉදිකරමින් රාජපක්ෂ කෞතුකාගාරයක් නිර්මාණය කිරීමයි.

සිංගප්පූරුව ගොඩනැගූ නායකයා සිය මරණින් පසු තමන් උපන් නිවස කඩා දමා ජනතාවට නිවාස සංකීර්ණයක් ඉදිකරන්නට යැයි උපදෙස් දී තිබියදී අපේ හිටපු නායකයා කර ඇත්තේ තම පවුලේ අභිමානය ගොඩනැගීම සඳහා මහජන මුදල් රුපියල් ලක්ෂ 900ක් නීතිවිරෝධි ලෙස යොදාගැනීමය. ඒ නායකයන් දෙදෙනෙකු තමතමන්ගේ රටවල් ගැන සිතූ ආකාරයයි.
සිංගප්පූරුව එසේ වන්නටත් අපේ රටට මෙසේ වන්නටත් හේතු තේරුම්ගැනීම සඳහා මේ වෙනස ද හොඳටම ප්‍රමාණවත්ය.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news