Tuesday, July 16, 2024

ඩලස් අලහප්පෙරුමට මාධ්‍ය නිදහස මතක්වීම සහ අපේ වගකීම – සුනිල් ජයසේකර

“මාධ්‍ය නිදහස වෙනුවෙන් කෑගහපු හැමදෙනාටමයි කියන්නේ – කරුණාකර ඔබේ දෑස් නිරුවත් කරගන්න” මේ අද පුවත්පතේ එක් සිරස්තලයකි. එම සිරස්තලය යටතේ පළවී ඇත්තේ දේශපාලන සංවාදයකි. එකී සංවාදයේදී අදහස් දක්වා ඇත්තේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතායි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රමුඛ මන්ත්‍රීවරයෙක් ලෙසට ද ඊටත් වඩා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ කටයුතු කළ ප්‍රබල අමාත්‍යවරයෙකු ලෙසට ද ඒ සියල්ලටම අමතරව මාධ්‍යවේදීයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අයෙකු හැටියට ද අප රටේ මාධ්‍ය නිදහස පිළිබඳව ඔහු දක්වා ඇති අදහස් කෙරෙහි සමාජයේ අවධානය යොමුවියයුතුව තිබේ.

මේ සංවාදය තුළින් කෙසේවෙතත් සංවාදයට යොදා ඇති සිරස්තලය අනුව පැහැදිළි වන්නේ මේ රටේ මාධ්‍ය නිදහස පිළිබඳව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා තුළ යම් කණස්සල්ලක් ඇති බවය. අදාළ පුවත්පත් සංවාදය හොඳින් කියවාගෙන යාමේදී පෙනී යන්නේ එකී කණස්සල්ලට හේතුව පසුගිය දා ජෝන් අමරතුංග අමාත්‍යවරයා මේ රටේ එක්තරා විද්‍යුත් මාධ්‍යයක ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු හමුවේ පළකළ ප්‍රතිචාරය බව පෙනේ. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මේ රටේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ මේ රටේ පැවති මාධ්‍ය නිදහස පිළිබඳ කතාකිරීමට පෙර ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය හා අදාළ මාධ්‍යවේදියාගේ මාධ්‍ය සදාචාරය පිළිබඳව ද වචනයක් සටහන් කළයුතුය.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඉස්මතු කර ඇති සිදුවීමේදී ජෝන් අමරතුංග අමාත්‍යවරයා ක්‍රියාකළ අන්දම පිළිබඳව මේ රටේ කිසිදු මාධ්‍යවේදියෙකු තුළ ප්‍රසාදයක් තිබිය නොහැකිය. ඒ වෙනුවට මේ රටේ මාධ්‍යවේදීන්ගෙන් මෙන්ම මාධ්‍ය සංවිධාන වෙතින් ද පළවූ බලවත් විරෝධය තුළින් ඒ බව තේරුම්ගත හැකිය. ජෝන් අමරතුංග අමාත්‍යවරයා ද පසුව ඒ පිළිබඳව කම්පා වූ බවක් පෙනෙන්නේ ඔහු ප්‍රසිද්ධියේම ඒ පිළිබඳ කණගාටුව ප්‍රකාශ කළනිසාය. අඩුම තරමේ ක්ෂණික ආවේගය නිසා හෝ තමා හමුවේ ප්‍රශ්න කළ මාධ්‍යවේදියාගේ ආචාර ධර්ම විරෝධි මාධ්‍ය භාවිතය නිසා හෝ කෝපයට පත් අමාත්‍යවරයා එහිදි පළකළ ප්‍රතිචාරය පිළිබඳව පසුව ප්‍රසිද්ධියේ කණගාටුව පළකරන්නට තරම් මහත්මාකමකින් යුක්ත වූ බව මෙහිදි අප අමතක නොකළ යුතුය.

මෙහිදී දැන් පැන නැගෙන සැබෑ ප්‍රශ්නය වන්නේ මේ රටේ ඇතැම් ජනමාධ්‍යකරුවන්ගේ වෘත්තීය භාවිතය සැලකීමේදී මෙන්ම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට අතීතය සපුරාම අමතක කර අද පවත්නා මාධ්‍ය නිදහස ප්‍රශ්න කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇත්ද යන්නය. විශේෂයෙන්ම මේ රටේ බොහෝ පුද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා නියෝජනය කරන වාර්තාකරුවන්ගේ මාධ්‍ය භාවිතය පිළිබඳව බලවත් ප්‍රශ්නයක් ඇති බව පැහැදිළි සත්‍යයකි. ඒ බව මේ රටේ මාධ්‍ය ප්‍රජාව ද සැලකිල්ලට ගෙන ඇති කාරණයකි. ඒ පිළිබඳව කෙටි කාලයක් තුළ විවරණයක යෙදීමට ඇති අපහසුව නිසාම ඕනෑම අයෙකුට ඒ ගැන විවෘත සංවාදයකට ඇරයුම් කරමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීම කෙරෙහි අවධානය යොමුකිරීමට කැමැත්තෙමි.

ඩලස් අලහප්පෙරුම මහතා අද වනවිට මාධ්‍ය නිදහසක් නැතැයි කම්පා වන්නේ තමන් ද සම්බන්ධ වී සිටි පාලනයක දැවැන්ත මාධ්‍ය මර්ධනයක කොටස්කරුවෙක් බව ද අමතක කරමිනි. ඔහුට අනුව අද මාධ්‍ය නිදහස නැතැයි යන්නට දැක්විය හැකි ප්‍රධානතම හේතුව අමාත්‍යවරයෙකු විසින් ජනමාධ්‍යවේදියෙකු වෙත පරුෂ ආකාරයෙන් බැණවැදීමය. එහෙත් රාජපක්ෂ පාලනය තුළ සිය වෘත්තිය භාවිතය නිසා අමුඅමුවේම ඝාතනයට ලක්ව ඇති ජනමාධ්‍යවේදීන් කිසිවෙකු පිළිබඳ ඔහු එහිදී වචනයකින් හෝ සිහිපත් කර නැත. අතුරුදන් කර ඇති මාධ්‍යවේදීන් පිළිබඳ කිසිවක් ද කියා නැත. පහරදී අත පය කඩා දැමූ ජනමාධ්‍යවේදීන් ගැන හෝ ගිනිබත් කර, බෝම්බ ගසා විනාශ කරන ලද ජනමාධ්‍ය ආයතන පිළිබඳව මතකයක් හෝ ඔහු තුළ තිබී නැත. ඒ අනුව ඉතා අවධාරණයෙන් මෙන්ම ඉතාමත් පැහැදිළිව කිවයුතුව ඇත්තේ එක් දෙයකි. එනම් අද මේ රටේ මාධ්‍ය නිදහස පිළිබඳව ඩලස් අලහප්පෙරුම මහතාට පෙනී සිටීමට අවශ්‍යය නම් ඒ පිළිබඳව තමන් තුළ පවත්නා වගකීම හා වරදකාරී හැඟීම ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඒ දේ කරන ලෙසය. අඩුම තරමින් ජෝන් අමරතුංග අමාත්‍යවරයා මෙන් ප්‍රසිද්ධියේ ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටීමෙන් පසුව මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින ලෙසය.

ඒ සමගම මේ දක්වාම මුළු මහත් වෘත්තීය ජීවිතය පුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නැගු ඒ නිසාම අපමණ වේදනාකාරී අත්දැකීම් වලට මුහුණ දී ඇති අයෙකු ලෙස එක් දෙයක් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

අද වනවිට රාජපක්ෂ පාලන සමයේදී පැවති දැවැන්ත භීෂණයක් මේ රටේ මාධ්‍ය සමාජය වෙලාගෙන නැතත් මාධ්‍ය නිදහසට අදාළ බලවත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාවය වෙනුවෙන් අප සතුව බලවත් වගකීමක් ඇති බව පිළිගත යුතුව තිබේ. ජනවාරි 08 දේශපාලන වෙනසින් පසු මේ රටේ ජනමාධ්‍ය ප්‍රජාවට බියකින් හෝ සැකයකින් තොරව මරණ බියක් නොමැතිව කටයුතු කිරීමට ලැබී ඇති නිදහස මේ මොහොත වනතෙක්ම අහිමි වී නැතත් ජනමාධ්‍ය නිදහස උදෙසා ඉටුකළ යුතු වගකීම් සම්භාරයක් අප හමුවේ ඇති බව පිළිගැනීමට මැළිවිය යුතු නැත. ඒ සඳහා වන අරගලය අද වනවිට ඇත්තේ පවත්නා පාලනය සමග පමණක් නොවේ. අප රටේ ජනමාධ්‍ය කර්මාන්තය සමග ද ඒ තුළ කටයුතු කරන ජනමාධ්‍ය ප්‍රජාව සමග ද එම අරගලය සිදුකළ යුතුව ඇති බව නම් පැහැදිළිව කිවහැකිය. ඩලස් අලහප්පෙරුම මහතා ත් අපත් අතර ඇති වෙනස එයයි.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news