Tuesday, April 23, 2024

ජපන් බොරුව සහ මහින්දගේ ජී.එස්.පී විරෝධය – සුනිල් ජයසේකර

ජායාරූපය:අධිරාජ්‍යයාගේ ආරාධනයක් ලැබා යන බව කී  රාජපක්ෂ ජපානයේදී  එවැන්නකු හමුවූයේ නැත.

නූතන ලෝකයේ සෑම ශිෂ්ට සම්පන්න රාජ්‍ය පාලකයෙක්ම බලය පිළිබඳව සළකන්නේ තාවකාලිකව තමන් වෙත පැවරුණ වගකීමක් ලෙසය. හිමිකාරීත්වයක් ලෙස නොව භාරකාරීත්වයක් ලෙසය. නූතන දේශපාලන අරුතින් සළකා බැලීමේදී ඒ වැදගත් ආචාර ධර්මය ලොව ප්‍රථමයෙන්ම ප්‍රකාශයට පත්කර ඇත්තේ ලංකාවේදීය. ඒ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කර ඇත්තේ දේවානම්පියතිස්ස මහරජුන් ඉදිරියේදී ය. එහෙත් අපගේ ඒ ඓතිහාසික වටිනාකම් හා සාරධර්ම පවා බලය උදෙසා පිරුවටයක් ලෙස යොදාගන්නා ඇතැම් දේශපාලකයන් ඊට කිසිදු වටිනාකමක් ලබාදෙන්නේ නැත. ඔවුන්ගේ ඒකායන පරමාර්ථය බලය පමණක්ය. ඒ උදෙසා ඕනෑම දෙයක් කරන්නට, ඕනෑම දෙයක් කියන්නට ද ඔවුන් කිසිසේත්ම පැකිලෙන්නේ නැත.

තමන්ට නොලැබුණ ගෞරවයක් තමන්ගෙන් පසු රට කරවන නායකයෙකුට ලැබෙද්දි ඒ පිළිබඳව ආක්‍රෝශ පරිභව කරන්නේත් එපමණකින් ද නොනැවති තම පාලන කාලය තුළ රටට අත්නොවූ යහපතක් පසුකලෙක සිදුවනු දැක එය ඉවසාගෙන සිටීමට හෝ නොහැකි තත්වයක් ප්‍රදර්ශනය කරන්නේත් ඒ අනුවය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජී.එස්.පී ප්ලස් බදු සහනය ගැන සිදුකර ඇති විශේෂ නිවේදනය ද එවැන්නකි.

අද වනවිට නැවතත් රටට හිමිව ඇති ජී.එස්.පී ප්ලස් බදු සහනය ගැන මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත්තේ පසුගිය දා ඔහු නිරතව සිටි ජපාන සංචාරයෙන් අනතුරුවය. ඒ අනුව සැලකීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ අලුත්ම නිවේදනය ගැන මෙන්ම ඔහු පසුගිය දා නිරත වූ ජපාන සංචාරය ගැන ද අවධානය යොමුකිරීම ඉතා වැදගත්ය. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ඒකකය රටට අඟවන ලද ආකාරයට ඔහු ජපානය බලා පිටත්වන්නේ ජපානයේ හිරා්හිතෝ අධිරාජ්‍යයාගේ නිල ආරාධනාවකට ය. එහෙත් සැබෑ තත්වය වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට හිරෝහිතෝ අධිරාජ්‍යයාගෙන් එවැනි නිල ආරාධනයක් ලැබී නැති බවය. ඒ බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය ද ඒ බව තහවුරු කර ඇත. ලොව ඕනෑම රටක මෙන්ම ශ්‍රී ලංකාවේ ද හිටපු ඕනෑම රාජ්‍ය නායකයෙකුට විදේශ සංචාරයන්හි නියැලීමට කිසිදු බාධාවක් තිබිය නොහැකිය. එහෙත් ඒ ඕනෑම සංචාරයකදී ඔහු රටේ ගෞරවය ආරක්ෂා කරනු ඇතැයි රටවැසියා මෙන්ම සංචාරය කරන රට ද අපේක්ෂා කිරීම ස්වභාවිකය. ඒ අනුව සැලකීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජපාන සංචාරය හරහා ප්‍රකාශ කර ඇති බොරුව තුළ මුලින්ම අපහසුතාවයට පත්කර ඇත්තේ ජපාන අධිරාජ්‍යයා යි.

අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතාගේ ජපාන සංචාරයේදී ගරු කටයුතු වැදගත් පුද්ගලයින් හමුවී තිබෙන්නට ද ඇතත් ඒ සියලු ගෞරවයන් ද අවසානයේ පළුදු කරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව සොයමින් සිටින වරෙන්තුකරුවෙකු ද ප්‍රසිද්ධියේ හමුවීම තුළය. ඒ හරහා ඔහු අභියෝග කරන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට වියහැකිය. ඒ අනුව සැලකීමේදී මහින්ද රාජපක්ෂ මහතා සිය ජපාන සංචාරයෙන් පසු විශේෂ නිවේදනයන් නිකුත් කරමින් රටට පැහැදිළි කළයුතුව තිබුණේ තමන්ගෙන් වූ එම වැරැද්ද ගැනය.

ඒ වෙනුවට ඔහු කතාකර ඇත්තේ රටට ලැබී ඇති ජී.එස්.පී ප්ලස් බදු සහනය ගැනය. එමගින් මහින්ද රාජපක්ෂ මහතා උත්සාහ කර ඇත්තේ ජී.එස්.පී ප්ලස් බදු සහනයට අදාළ කොන්දේසි වලින් රටට බරපතළ හානියක් වන බව කියන්නටය. එහෙත් මේ රටට අහිතකර යැයි කියන කොන්දේසි මොනවාද එමගින් රටට වන හානිය කුමක්ද යන්න මහින්ද රාජපක්ෂ මහතා නිශ්චිතව පැහැදිළි කර නැත. ඒ වෙනුවට ඔහු සුපුරුදු පරිදි කර ඇත්තේ දේශපාලන හිතලු මත ගොඩනගන අවලාද කිහිපයක් සමාජගත කරන්නටය.

අනෙක් අතට සිය නිවේදනය මගින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අපූරු තර්කයක් ගොඩනගා තිබේ. එනම් යුරෝපා සංගමය යම් රටකට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදෙන්නේ එම රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4035 ක ට අඩු නම් පමණක් වන නිසා ඉදිරියේදී රට තුළ සිදුවන ආර්ථික වර්ධනය අනුව නොබෝ කාලයක් යෑමට පෙර එම සහනය අහිමිවනු ඇත යන්නය. ඇත්ත වශයෙන්ම රටක් ලෙස අප අපේකෂා කළ යුත්තේ රට ඒ තැනට ගමන්කරවන්නටය.

මහින්ද රාජපක්ෂ මහතා සිය පාලනය හරහා ප්‍රදර්ශනය කළ අදූරදර්ශි ප්‍රතිපත්ති නොවන්නට ලැබෙමින් පැවති මෙම බදුසහනය අප රටට අහිමිවන්නේ නැත. එය පොදුවේ සියලු දෙනාම දන්නා සත්‍යයකි. දැන් අප රටට නැවත ලැබී ඇත්තේ එම වරප්‍රසාදයයි. එම වරප්‍රසාදය පවා අප සදාකාලිකවම බලාපොරොත්තු වියයුතු නැත. අප උත්සාහ කළයුත්තේ අප රටේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4035 ක් දක්වා ඉහළට ගෙනඑමින් රටේ ආර්ථික දියුණුව සාක්ෂාත් කරගැනීම මිසක අන් රටවල බදු සහන මතම යැපීමට නොවේ. එහෙත් මේ මොහොතේ දී අපගේ අපනයන ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා මෙම ජී.එස්.පී ප්ලස් බදු සහනය ඉතාමත්ම වැදගත්ය.

ඒ අනුව අප රටට ලැබී ඇති මෙම බදු සහනය අවතක්සේරු කිරීම තුළ මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහු නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය අපේක්ෂා කරනු ඇත්තේ කුමක් විය හැකි ද? කුමන හෝ තත්වයක් යටතේ රටට යහපතක් වනු දැකීම රටට ආදරේ කරන ඕනෑම දේශපාලනඥයෙකුගේ අපේක්ෂාව වියයුතු නමුත් බලය පිළිබඳව පමණක් කල්පනා කරන කෙනෙකුගෙන් එවැන්නක් අපේක්ෂා කළ නොහැකි බව ද අප තේරුම්ගත යුතුය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා වැනි මේ රටට යම් මෙහෙයක් කර ඇති නායකයෙක් එවැනි තත්වයකට පත්විය යුතු ද නැත.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news