Saturday, April 27, 2024

දුෂ්ඨ කටකතාවන්ට තටු මවන ලයිසන් ජනමාධ්‍ය – සුනිල් ජයසේකර

මානව ඉතිහාසයේ පැරණිතම සන්නිවේදන උපාය මාර්ග පිළිඳව සළකා බැලීමේදී කටකතා පිළිබඳව කිසිසේත්ම අමතක කළහැකි නොවේ. පුද්ගලයින් අතර කටින් කට පැතිර යන පණිවුඩයක ස්වභාවය එහි අරුත් ගැන්වේ. එහෙත් අද අප කටකතා යැයි කියන්නේ එයටම නොවේ. කිසිදු පදනමක් නැති නිර්මාපකයන් පිළිබඳ අවිනිශ්චිත, කිසිවෙකු වෙත වගකීමක් නොපැවරෙන, මුලාශ‍්‍රයන් පිළිබඳ කිසිදු තහවුරු කරගැනීමක් කළ නොහැකි, හුදු ආරංචි මාත‍්‍රයක්ම පමණක් වන තොරතුරක් කටකතා යැයි හැදින්විය හැකිය.

එහෙත් එදා මෙන්ම අදට ද කටකතා වලින් හිඟයක් නැත. කොතරම් විශ්වාස කළ නොහැකි වුවද නූතන සන්නිවේදන මාර්ග මොනතරම් නවීන හා තාක්ෂණික අතින් බල සම්පන්න වුවද අද පවා කටකතාවකට සිදුකළ හැකි බලපෑම සැලකිය යුතු තරම් වේ. එදා කටින් කට පමණක් පැතිරුණ එවැනි තොරතුරු මේ වනවිට නවීන තාක්ෂණය සමග ද බද්ධ කරගනිමින් දුරකථන, එස්.එම්.එස් සහ ෆේස් බුක් හෙවත් මුහුණු පොත වැනි සමාජ මාධ්‍ය ජාලා හරහා ද සංසරණය වීම තුළ එදා ඉබි ගමනින් ගිය කටකතාවකට අද වනවිට තටු දසදහස් ගණනක් මැවීමේ විභවයක් නිර්මාණය කර තිබේ.

අාචාර ධර්ම කෙළෙසීම ශ්‍රී ලංකා ජනමාධ්‍ය අතර කැරෙන්නේ තරඟයටය.

එහෙත් එවැනි කටකතා නිර්මාපකයන් පමණක් දන්නා පසුව ඊට සම්බන්ධ වන බොහෝ දෙනෙකු නොදැන සිටිය හැකි අවදානමක් ද තිබේ. එනම් ඒ හරහා සිදුකළ හැකි දැවැන්ත විනාශකාරීත්වයකට ඇති ඉඩකඩ ය. අද වනවිට බොහෝ සමාජ විරෝධි කණ්ඩායම් ද දේශපාලන ව්‍යාපාරයන් ද කටකතා කෙරෙහි ඇති බලය පිළිබඳව නිසි තක්සේරුවකින් යුතුව උරගා බලන්නෙත් ඒ සඳහා සංවිධානාත්මක හා නිර්මාණශීලි ආකාරයකට යොමුවන්නේ්ත් ඒ නිසාය. එහෙත් අවාසනාවකට බොහෝ නොදියුණු සමාජයන් මෙන්ම අද වනවිට දියුණු යැයි අප සිතා සිටින සමාජය ද එහි ගොදුරු බවට නිතැතින්ම පත්වන ආකාරයක් පෙනෙන්නට තිබේ.

ඒ සඳහා දැක්විය හැකි ආසන්නතම උදාහරණයක් වන්නේ ලේ පරික්ෂා කිරීම් හරහා එච්.අයි.වී වෛරසය නිරෝගී සමාජය වෙත ද කාන්දු කිරීමේ සංවිධානාත්මක ක‍්‍රියාවලියක් පවත්නා බවට පසුගිය දා ගෙනගිය ප‍්‍රචාරණයයි. එය කිසිසේත්ම අහිංසක රැුවටීමක් ලෙස නොසැලකිය යුතුය. නියත වශයෙන්ම එම කටකතාව නිර්මාණය කළවුන් ඒ තුළින් අපේක්ෂා කළ අරමුණු දුෂ්ට වනවා පමණක් නොව සාපරාධි ද වන්නේය. එම කටකතාව තුළ එක් අතකින් සමාජය බිය ගැන්වීමට පැවති අරමුණ ද සමග මහජන සෞඛ්‍යට අදාළ ඇතැම් අංශ වල ක‍්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ වෑයමක් ද පැවති බව ඉතා පැහැදිළිය. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිරන්තරව සිදුකරමින් සිටින බරවා රෝග මර්ධන ක‍්‍රියාවලියට ඒ තුළින් ඇතිකළ බලපෑම ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණයයි.

මෙහි ඇති අවාසනාවන්ත තත්වය එයම පමණක් නොවේ. සමාජය තුළ අයාලේ තටු ගසමින් සිටි තවත් කටකතාවකට ඇතැම් පිළිගත් ජනමාධ්‍යයන් ද දැක්වූ අත්වැල් සැපයිමයි. ත‍්‍රිකුණාමලයේ කින්නියා නගරයේ පාසලක සිසුවෙකුගෙන් කිසියම් නාඳුනන පිරිසක් බලහත්කාරයෙන් ලේ ලබාගත්තේ යැයි කියන පුවත ද එබන්දකි. ආරම්භයේදී කටකතාවත් ලෙස පැවති එම පුවත සැබැවින්ම සමාජගත කරන ලද්දේ මේ රටේ ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය මගිනි. එහෙත් අදාළ පාසල් සිසුවා රෝහල් ගත කිරීමෙන් පසුව වෛද්‍යවරුන් සිදුකරන ලද පරීක්ෂාවන්හි දී තහවුරු වී ඇත්තේ එම සිසුවාගේ ඇගිල්ල තුවාල වී ඇත්තේ බලහත්කාරයෙන් ලේ ගැනීමක් නිසා නොව පාරේ ගමන් කරමින් සිටියදී කටු අත්තක වැදීමකින් තුවාල වීම නිසා බවය. එහෙත් ත‍්‍රිකුණාමලයේ පාසල් ශිෂ්‍යයෙකුගෙන් නොහඳුනන පිරිසක් බලහත්කාරයෙන් ලේ ලබාගෙන ඇතැයි යන කටකතාවට තටු ලබාදුන් මේ රටේ පිළිගත් ජනමාධ්‍ය පවා එහි සැබෑ තත්වය හෙළි වූ පසුව හෝ සමාජය නිසි අන්දමින් දැනුවත් නොකළහ.

සමාජ මාධ්‍ය බොරුවේ උල්පතය!

එහෙත් එහි සැබෑ ප‍්‍රතිවිපාක විඳීමට සිදුවූයේ කවුරුන් වෙත ද? මේ රටේ දැනුවත් සමාජය අවධානය යොමුකළ යුතුව ඇති වැදගත් ප‍්‍රශ්නය එයයි. මෙම කටකතා සහ පිළිගත් ජනමාධ්‍ය විසින් ද ඊට සුජාතභාවයක් ලබාදුන් පුවතකින් පසු ඉන් මුලින්ම බැටකෑවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නිරත ක්ෂේත‍්‍ර නිලධාරීන් ය. පුත්තලම හා කොළඹ දිස්ත‍්‍රික්කයන් තුළ බරවා රෝග මර්ධන ව්‍යාපාරය යටතේ කටයුතු කරන නිලධාරීන් පිරිසකට ඇතැම් පිරිස් විසින් පහර දීමට උත්සාහ කරතිබූ බවට පළවන ජනමාධ්‍ය වාර්තාම එයට නිදසුන් ය. ඒ අනුව බරවා රෝග මර්ධන ව්‍යාපාරය සිදුකරමින් පැවති රාත‍්‍රි කාලයේ සිදුකරන රුධිර පරීක්ෂාවන් පවා තාවකාලික ලෙස නවතා දැමීමට සිදුව ඇත.

දැන් අප සමාජයක් ලෙස ගැඹුරින් විමසා බැලිය යුතු, එමෙන්ම තේරුම්ගත යුතු කාරණයක් තිබේ. එනම් මේ ආකාරයේ සාහසික පුවත් සමාජගත කරන්නට උත්සාහ කරන පිරිස් වල සැබෑ අරමුණ කුමක්ද යන්නය. ඔවුන්ගේ නිසැක අපේක්ෂාව සමාජය බියගන්වා කිසියම් හෝ ආකාරයකින් ජනජීවිතය අකර්මණ්‍ය කිරීමේ මාර්ගයක් සෙවීමය. එය බංකොලොත් ප‍්‍රතිපත්ති විරහිත දේශපාලන මාර්ගයක තවත් එක් උත්සාහයක් වියහැකිය. එනම් කෙසේ හෝ කුමන මාර්ගයකින් හෝ රටේ ජනජීවිතය අවුල් කර ඒ තුළින් මතුවන සමාජ අසහනය හා වියවුල් සහගත භාවය හරහා රටේ පාලන බලය ලබාගැනීමේ අපේක්ෂාව වියහැකිය.

සිතාමතාම රටක් අකර්මණ්‍ය කර ඒ තුළින් ජනතාව පීඩාවට පත්කරමින් පාලන බලය ඩැහැගැනීමට කිසිවෙකු හෝ උත්සාහ කරන්නේ නම් නිසැකවම ඔවුන් සැලකිය යුත්තේ ත‍්‍රස්තවාදීන් ලෙසටය. ත‍්‍රස්තවාදයේ තරම හා එමගින් ඇතිකළ සමාජ විනාශය දන්නා රටක් ලෙස එවැනි ප‍්‍රයත්න නිවැරදිව හඳුනාගෙන පරාජයට පත්කිරීම අවශ්‍යයෙන්ම කළයුතු වේ. නියපොත්තෙන් කපා දැමිය යුතු විනාශකාරී බලවේග පොරොවෙන් කපන තෙක් වර්ධනය වීමට ඉඩක් තැබිය යුතු නැත.

 

Archive

Latest news

Related news