Saturday, April 20, 2024

පොදු පෙරමුණේ ගාල්ල මාතර ලැයිස්තු ගීතාගේ ඉරණමට බිලිවෙයිද?

පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත්වන අවස්ථාවෙහි ද්විත්ව පුරවැසිභාවයක් ලබා තිබූණේය යන සාධකය මත ගීතා කුමාරසිංහ මංත්‍රීවරියක වශයෙන් තේරී පත්වීම අවලංඟුවීම නිසා පොදු ජන එක්සත් පෙරමුණේ ගාල්ල සහ මාතර ලැයිස්තු දෙකම අහෝසිවීමේ අනතුරක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙම ආසන දෙකෙහි පොදු ජන එක්සත් පෙරමුණට අයත් මංත්‍රීවරු 11 දෙනෙක් සිටිති.

මනාප ජන්ද ක්‍රමය යටතේ මැතිවරණ සඳහා ඉදිරිපත් කළ යුත්තේ අපේක්ෂක ලැයිස්තුවකි. එම ලැයිස්තුවෙහි එක් අයකු හෝ ජන්දයෙන් තේරී පත්වීමට නුසුදුසු නම් එම ලැයිස්තුවම අහෝසි විය යුතුය. ඒ අනුව බාල වයස්කර පුද්ගලයකු එජාප ජන්ද ලැස්තුවට ඇතුළත් කර තිබීම නිසා 2006 කොලඹ මහ නගර සභා මැතිවරණයට ඉදිරිපත් කළ එජාප ජන්ද ලැයිස්තුවම අහෝසි වී ගොස් නන්නත්තාර කණඩායමකට බලය හිමිවිය.

2015 අගොස්තු මැතිවරණයෙහිදී ගාලු දිස්ත්‍රික් පොදු ජන පෙරමුණූ ලැයිස්තුවෙහි සිටි ගීතා කුමංරසිංහ ද්විත්ව පුරවැසි භාවයක් ලබා තිබූ බැවින් එම ලැයිස්තුව ප්‍රතික්ෂේප කරන ලෙස එජාපය නාම යෝජනා භාර ගන්නා අවස්ථාවෙහි ම විරෝධතාවයක් දක්වන ලදී.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කය සඳහා පොදු ජන පෙරමුණූ ලැයිස්තුවේ සිටි මනෝජ් ප්‍රසන්න හේවාගම්පොල ද එවැනිම ද්විත්ව පුරවැසිබවක් ලබා ඇති බැවින් එම අපේක්ෂක ලැයිස්තුව ප්‍රතික්ෂේප කරන ලෙසද නාම යෝජනා අවස්ථාවෙහි විරෝධතාවයක් මතු කරන ලදී. මනෝජ් ප්‍රසන්න 2015 මැතිවරණයේ දී තේරී පත්වූයේ නැත.

එසේ නමුත් අදාළ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ගේ අදහස වූයේ 2015 මැතිවරණ අවස්ථාව වන තුරු 1981 මැතිවරණ පනත සංසෝධනය වී නොතිබූ බැවින් එකී විරෝධතා වළංගු නැති බවය. අවශ්‍ය නම් මැතිවරණයෙන් පසු මෙම විරෝධය අධිකරණය හමුවෙහි දක්වන ලෙස නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් කියා සිටියේ ය.

දැන් අභියාචනා අධිකරණය තීරණය කර ඇත්තේ 2015 මහා මැතිවරණයට 19 වන ව්‍යවස්ථා සංසෝධනය විසින් ඇති කරන ලද නීති අදාළ බවය. විජිත් පී. මලල්ගොඩ සහ පද්මන් සුරසේන යන අභියාචනා විනිසුරුවරුන් විසින් පසුගිය 03 දින දෙන ලද තීන්දුවට අනුව ද්විත්ව පුරවැසිභාවයක් ඇති කිසිවකුට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මංත්‍රීවරයකු විය නොහැකිය.

ගීතා කුමාරසිංහ සිය පාර්ලිමේන්තු ආසනය රැක ගැනීම පිනිස ශ්‍රේෂඨාධිකරණයට අභියාචනා කරන බව පවසා තිබේ. එසේ නමුත් නීති අංශ පවසන්නේ මෙම තීන්දුවෙහි වෙනසක් ඇතිවීමට ඇති ඉඩ අල්ප බවය.

තමා පත්වූයේ මහජන ජන්දයෙන් බැවින් අධිකරණ නියෝගයකින් ඉවත් කිරීම සිය ජන්දදායකයින්ට කරන අසාධාරණයයක් බව කුමාරසිංහ පවසයි. ඇය නොදන්නා කාරණය වන්නේ මනාප ක්‍රමය ගෙන ඒමට පෙර මෙරට තේරී පත්වූ මංත්‍රීවරුන් ජන්ද පෙත්සම් මගින් ඉවත් කරන ලද අවස්ථා ගණනාවක්ම තිබෙන බවයි.

ගීතා කුමාරසිංහ සම්බන්ධ තීන්දුව අනුව ගාලු දිසා පොදු ජන පෙරමුණු ලැයිස්තුව අහෝසි වුවහොත් එම ආසන ප්‍රමාණය එජාපයට ලැබෙනු ඇත. මාතර දිසාව සම්බන්ධයෙන් ළඟදීම පැමිණිල්ලක් අභියාචනා අධිකරණය ඉදිරිපත් කැරෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම දිසා දෙකෙහි පොදු ජන පෙරමුණූ ලැයිස්තු අහෝසි වුව හොත් එජාපයට තනි ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ලැබෙනු ඇත.

Archive

Latest news

Related news