Sunday, April 28, 2024

කුණු ගොඩවල් හමුවේ සමාජයේ මෙන්ම රාජ්‍යය සතු වගකීම – සුනිල් ජයසේකර

ජායාරූපය: සහන සේවා හමුදා සෙබළකු සිරුරක් දෙස බලා සිටීම:සන්තාපය විසඳුමක් කරා යොමුකිරීම වෙනුවට ජනදුක ගසා කෑම අදට උවිත නැත. (c)s.deshapriya.

රටක හෝ යම් සමාජයක සිදුවන  ඕනෑම අන්දමේ ඛේදවාචකයක් අදාළ සමාජය තුළ බලවත් කම්පනයක් ජනිත කිරීම අතිශයින්ම ස්වභාවිකය. එහිදී ශෝකය, දුක, වේදනාව පමණක් නොව මිනිස් සන්තානයේ ඇතිවන ස්වභාවික හැඟිම් තුළ ක්ෂණිකව ඇතිවිය හැකි කෝපය ද ඒ තුළ තිබිය හැකිය. එය පුහුදුන් මනුෂ්‍යයාගේ ස්වභාවයකි. එහෙත් දියුණු මනසකින් යුත් මිනිස් සමාජයක් එම හැඟීම් කිසිවිටෙක යාවත්කාලීන කළයුතු නැත. තමන් මත කඩා වැටුණ ඛේදවාචකයකින් පසු තවමත් ගැලවී සිටිය නොහැකි මීතොටමුල්ල විපතට පත් ජනතාවට එම ගැඹුරු සත්‍යය තවමත් පසක් කරගත නොහැකිවීම තේරුම්ගත හැකිය. මක්නිසාද යත් සිදුව ඇති මේ ඛේදවාචකයේ ගැඹුරුතම වේදනාව අන්සියල්ලන්ටත් වඩා කිඳාබැස ඇත්තේ ඔවුන්ගේ හදවත් තුළ වන නිසාය.

එහෙත් සබුද්ධික ජනසමාජයක් එහිදී හැසිරිය යුත්තේ කඳුළු මත පිහිනමින් නොවේ. ආවේගයන් පෙරටු කරගනිමින් අවලාද අදෝනා මැද මංමුලාවට පත් පිරිසක් ලෙස නොවේ. ඇතිවූ ඛේදවාචකයට පදනම් වූ මූලයන් හා හේතු අමතක කර දැමියයුතු බවක් ඉන් කිසිසේත්ම අදහස් වන්නේ නැත. එහෙත් යථාර්ථය අවබෝධ කරගනිමින් ඉදිරියේදී එවන් විපතක් මෙරටේ කිසිදු ජනකොටසකට අත්කර නොදීමේ වගකීම් සහගතභාවය එහිදී කිසිවෙකු හෝ අමතක කළයුතු නැත. එම සමාජ වගකීම මේ රටේ සියලූ ජනමාධ්‍ය මෙන්ම මහජන මතය හසුරුවන සියලූ ආයතන හා කණ්ඩායම් ද අවබෝධ කරගත යුතුව තිබේ. දේශපාලන පක්ෂ මුල්කරගත් ජනමතය හසුරුවන සංවිධාන මෙන්ම සිවිල් සමාජ සංවිධාන වලට ද එහිදී ඇත්තේ ප‍්‍රමුඛ වගකීමකි.

මේ පූර්විකාවට හේතු වූයේ මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු ඇතැම් දේශපාලන කණ්ඩායම් හා මාධ්‍ය ආයතන මෙන්ම රටේ නාමධාරී පුද්ගල චරිතයන් හැසිරෙමින් සිටින වගකීම් විරහිත ස්වභාවය සැලකිල්ලට ගැනීමේදී ය. විශේෂයෙන්ම මේ රටේ ඇතැම් ජනමාධ්‍ය හැසිරෙමින් සිටින අතිශය පක්ෂග‍්‍රාහී ස්වභාවය තුළ ද ඇතැම් දේශපාලන කණ්ඩායම් මෙම දුක්ඛදායී තත්වය තම දේශපාලන අරමුණු උදෙසා යොදාගැනීමට දක්වන උනන්දුව හා උත්සාහය ද අතිශයින්ම පිළිකුල් සහගත බව නොකියා සිටීමට නොහැකිය.

රටක සිදුවිය හැකි මේ ආකාරයේ විපතක දී යමෙකු එය පටු ව්‍යාපාරික හෝ දේශපාලන අරමුණු සඳහා යොදාගැනීමට කටයුතු නොකළයුතුය. බලය සඳහා හෝ ආර්ථික හා වෙනත් ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම සඳහා රටේ පැවැත්ම පරදුවට තැබීමට කිසිවෙකුට ඉඩක් දියයුතු නැත. සියලූ දේ සඳහා ඒ සියල්ලටම පෙර රටක් තිබිය යුතුය. රටක් යනු කිසියම් නිශ්චිත භූමි භාගයක් හෝ ඒ මත සැරිසරන සත්ව හා මනුෂ්‍ය ජීවිත පමණක්ම නොවේ. ඒ සියල්ලේම පැවැත්ම ද ආරක්ෂාව ද උදෙසා රාජ්‍යය ස්ථාවරව පැවතිය යුතුය. රාජ්‍යයේ ස්ථාවරත්වය ඉදිරියේ දේශපාලන බලය හෝ අනෙකුත් සමාජ අරමුණු නොතකා හැරිය යුතු දේ බව එහිදී සියලූ දෙනා වටහාගත යුතුව තිබේ.

මීතොටමුල්ල ඛේදවාචකයට මුවාවෙමින් හෝ එය හේතුවක් කරගනිමින් කොළඹ හා ඒ අවට විරෝධතා සංවිධානය කරන පිරිස් ඒ බව හොඳින් වටහාගත යුතුව තිබේ. ඒ සියල්ලන්ම තම තම ක‍්‍රියාකාරීත්වයන් සිදුකරද්දි ප‍්‍රශ්නය හොඳින් තේරුම්ගත යුතුවාක් මෙන්ම ප‍්‍රශ්නයට ඇති විසදුම ද ජනතාවට පැහැදිළි කළයුතුය. එහෙත් බැලූ බැල්මට සිදුවෙමින් පවතින්නේ එවැන්නක් නොවේ. මීතොටමුල්ල වෙනුවට කුණු කසළ බැහැර කිරීම සඳහා විකල්ප ස්ථානයන් හඳුනාගනිමින් සිටිද්දි ඒ ස්ථාන මුල් කරගනිමින් විරෝධතා සංවිධානය කරන්නට ඇතැමුන් හදිසි වීම තුළම ඒ බව තේරුම්ගත හැකිය.

ඕනෑම සමාජයක කුණු කසළ බැහැර කිරීමට සිදුවීම අත්‍යවශ්‍ය තත්වයකි. නාගරික වූ සමාජයන්හි එය අතිශයින්ම සංකීර්ණ කි‍්‍රයාවලියක් බවට පත්වේ. කොළඹ නගරයෙන් දිනකට එකතුවන්නේ යැයි කියන කුණු කසළ ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 750ක් වෙතැයි සඳහන් වීම ඊට හොඳම උදාහරණයකි. අතීතයේ එය නිසිපරිදි කළමණාකරණය වී නොමැති බව මීතොටමුල්ල ඛේදවාචකයෙන් පැහැදිළි වේ. එමෙන්ම නිසි කළමණාකරණයකින් යුතුව විද්‍යාත්මක ක‍්‍රමවේදයන්ට අනුගතව ඒ සඳහා සැලසුම් කළ ප‍්‍රතිකර්ම ගණනාවක්ම පසුගිය කාලයේදී වැළකී ගොස් ඇත්තේ ඇතැම් දේශපාලන පක්ෂ වල පටු උවමනාවන් මත ක‍්‍රියාත්මක වූ ජනතා විරෝධයන් නිසා බව ද ඒ සමඟම පිළිගත යුතු කරුණකි. ඒ අනුව ජනතාව විමසිලිමත් වියයුත්තේ කුණු කසළ බැහැර කිරීමට සැලසුම් කරන ස්ථාන පිළිබඳව නොවේ. එහිදී විධිමත් කළමණාකරණයක් යටතේ විද්‍යාත්මක ක‍්‍රමවේදයක් ඔස්සේ එය සිදුකරන්නේ ද යන්න පිළිබඳවය.

මෙම ප‍්‍රශ්නය හමුවේ රජයට මෙන්ම රජයට අයත් සියලූ ආයතන වලට ද බලවත් වගකීමක් තිබේ. එනම් තමන් අනුගමනය කරන විකල්ප ක‍්‍රමවේදයන් පිළිබඳව ජනතාවට නිසි අවබෝධයක් හා දැනුවත්භාවයක් ලබාදීම ය. මේ රටේ ජනමාධ්‍ය ප‍්‍රශ්න කළයුත්තේ ද විමසා බැලිය යුත්තේ ද එවැනි විධිමත් විද්‍යාත්මක ක‍්‍රමවේදයන් පිළිබඳවය. එසේ නොමැතිව සාමාන්‍ය ජනතාව උසි ගන්වමින් පටු දේශපාලන අරමුණු උදෙසා ක‍්‍රියාකරන කූඨ සංවිධාන වල අතකොලූ වෙමින් උද්ඝෝෂණ වාර්තා කිරීම පමණක් ජනමාධ්‍ය වල කාර්යභාරය වියයුතු නැත.

ඒ සමගම මේ රටේ සෑම ප‍්‍රදේශයකම වෙසෙන ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සුබසාධනය සඳහා රජයේ සතු වගකීම ද කිසිවෙකු අමතක කළයුතු නොවේ. අන්සියල්ලටම පෙර රාජ්‍යයයේ පැවැත්ම තහවුරු කිරීම එහිදී ආණ්ඩුවක වගකීම වේ. මීතොටමුල්ල වැනි ඛේදවාචකයන් අනාගතයේ සිදුවීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහා තම උපරිම ශක්තිය මෙන්ම බලය ද ක‍්‍රියාවේ යෙදවීමට රජය ද කිසිසේත්ම පසුබට වියයුතු නැති බව ඒ අනුව ඉතා පැහැදිළිය.

– සුනිල් ජයසේකර

Archive

Latest news

Related news