Sunday, April 28, 2024

ජීඑස්පී ප්ලස්: ත්‍රස්ත පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය මැයි 15ට පෙර සංසෝධනය කරන්න – යුරෝපා පාර්ලිමේන්තුව

ජායාරූපය: යුරෝපී්‍ය පාර්ලිමේන්තුවේ සැසි වාරයක්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය ලබන මැයි මාසය වන විට සංසෝධනය කිරීමට ශ්‍රී ලංකාණ්ඩුව අපොහොසත් වුවහොත් යුරෝපීය සංගමයේ ජීඑස්පී ප්ලස් සහනය ලබා ගැනීම වැළකී යා හැකි බවට යුරෝපීය පාර්ලිමේන්තුව අගමැති වික්‍රමසිංහට ලිපියක් එවමින් දන්වා තිබේ. මෙම ලිපිය එවා ඇත්තේ මෙම මස 07වන දිනය.

එම පියවරයන් දෙකට අමතරව අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සහ ලිංගික ලැදියාවන් මත විශම සැළකීම් නොකෙරෙන බවට පියවර ගැනීම ද ජීඑස්පී ප්ලස් සඳහා අදාළ මානව හිමිකම් ප්‍රමිතීන් බව සඳහන් කරන එම ලිපිය එසේ වුවද යම් යම් සංවේදීතාවයන් ඇති බව එම ලිපිය මගින් කියා සිටී.

මෙම ලිපිය එවා දින දහයක් ගතවී තිබුණද වික්‍රමසිංහගෙන් පිළිතුරක් නොලද බැවින් දෝ ශ්‍රී යුරෝපීය සංගමයේ ලංකාවේ කාර්යාලය අද ( 17) ටීවීට් පණිවිඩයක් මගින් ප්‍රසිද්ධ කර ඇත්තේ ජීඒස්පී ප්ලස් සහනය ලබා ගැනීමට ශ්‍රී ලංකාව යෝග්‍ය බව යුරෝපීය පාර්ලිමේන්තුවට සහ කවුන්සිලයට පෙන්වීමට තව ඇත්තේ සති හතරක කාලයක් පමණක් බවයි.

ශ්‍රී ලංකාව යළි ජීඑස්පී ප්ලස් සහනය ලබා ගැනීමට 2016 වසරෙහිදී ඉල්ලුම් කළ බව පෙන්වා දෙන එම ලිපිය එතැන් පටන් ශ්‍රී ලංකාවෙහි සිදුව ඇති මානව හිමිකම් ප්‍රගතිය අගය කරයි.

ඒ අනුව පසුගිය ජනවාරි 11 දින යුරෝපීය කොමිසම ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය ලබා දීම අනුමත කරන ලද බවත් දැන් එම අනුමැතිය යුරෝපීය පාර්ලිමේන්තුව විසින් සනාථ කළ යුතුව ඇති බවත් එම ලිපිය කියයි.

මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රගතියක් ඇති වුවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් විසින් පෙන්වා දී ඇති පරිදි එකී මානව හිමිකම් මණ්ඩළයේ 30/1 දරන යෝජනාව ක්‍රියාත්මක කිරීම ඉතා සෙමින් සිදුවීම ගැන එම ලිපිය කනස්සල්ල පළ කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අන්තර් ජාතික ප්‍රමිතීන්ට අදාළ පනතක් ගෙන එන බවට මෙම ආණ්ඩුවේ දින සියයේ වැඩ පිළිවෙළ කියා තිබුණි. දෙවසරක් ගත වුවද තවම ඒ සඳහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රනිල් වික්‍රමසිංහ අසමත් වී තිබේ. එමෙන්ම අපරාධ නීති විධාන සංග්‍රහය ද වඩා යහපත් පනතක් මගින් විස්ථාපනය කිරීමට මෙම ආණ්ඩුව පොරොන්දු විය. ඒ සඳහාද නිශ්චිත පියවරක් තවම ගෙන නැත.

ලෝකය පුරා සංචාරය කරමින් කයිවාරු ගැසීමේ දේශපාලනයකින් අන්ධ වී සිටින මෙම ආණ්ඩුවේ ප්‍රධානීන්ට මෙරටට අදාළ කටයුතු සඳහා වේලාවක් නැති බව මෙමගින් පෙනේ යැයි මානව හිමිකම් නීතිවේදියකු ශ්‍රී ලංකා බ්‍රීප් වෙත ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය ලබා දීමට හැකි වුවහොත් මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනය ගැන දෘඩ නීරීක්ෂනයක් පවත්වා ගෙන යන ලෙස තමන් යුරෝපීය කොමිසමට නිර්දේශ කරන්නේ යැයි යුරෝපීය පාර්ලිමේන්තුව එම ලිපිය මගින් කියා සිටී.

උක්ත ලිපියේ ඉංග්‍රිසි පිටපත මෙතැන කොටා කියවිය හැක.

Archive

Latest news

Related news