Saturday, April 20, 2024

මල්වතු – අස්‌ගිරි මහනාහිමිවරු රට හදන හැටි

ශ්‍රී ලංකාව ගොඩ නැගීම සම්බන්ධයෙන් මහනුවර උභය මහා විහාරයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු කාරක මහා සංඝ සභා දෙක මඟින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය සඳහා කරුණූ ගණනාවක් යොමු කර තිබේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ථේරිය බෞද්ධ සම්ප්‍රදාය ඇතුළත් කිරීම, පාසැල් සංස්කෘතිය වෙනස් නොකිරීම, මහභාරකාර කාර්යාලය භික්ෂූ පාලනයට යටත් කිරීම, විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීම, සිංහල ජනයා මුස්ලිම්වරුන්ට ඉඩම් විකිනීම සොයා බැලීම යනාදිය ද වේ.

එහි ඇති තවත් ඉල්ලීමක් නම් දෙමළ දරුවන් පැවිදි කරවීම සඳහා ආණ්ඩුව උතුරු සහ මධ්‍යම පළාත්හි මධ්‍යස්ථාන දෙකක් ඇති කළ යුතු බවයි.

එම ඉල්ලීම් මාලාව පහත දැක්වේ.

01. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හෝ පවත්නා ව්‍යවස්‌ථාවට සංශෝධන ගෙන එන්නේ නම් හෝ ඒවායෙහි සිදු කිරීමට අපේක්‌ෂිත ව්‍යුහයමය වෙනස පිළිබඳ කරුණු දැන ගැනීම.

02. මෙරට වර්තමානයේ ඇති වී ඇති සමාජ විරෝධී සහ දේශපාලන බලය මත පදනම් වූ වංචා දූෂණවලට මූලික වී ඇති 1978 ව්‍යවස්‌ථාව මඟින් හඳුන්වා දුන් ඡන්ද ක්‍රමය වෙනස්‌ කොට ඡන්ද කොට්‌ඨාසයකට අනිවාර්යයෙන්ම මන්ත්‍රීවරයෙකු පත් කර ගන්නා සේම මනාප ඡන්ද පදනමින්ද මහජන මන්ත්‍රීවරුන් තෝරා පත් කෙරෙන පරිදි පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ ක්‍රමයක්‌ ලෙස වෙනස්‌ කිරීම.

03. උතුරු, නැගෙනහිර පළාත්වල අවතැන් සිංහල ජනතාව හා දැනට පදිංචි දෙමළ නොවන ජනතාවගේ ආරක්‌ෂාව හා කරුණු දැන ගැනීම, ජාති ආගම් භේද නොසලකා ඒ ඒ ස්‌ථානවල සෑම අවතැන් ජනතාවක්‌ම නැවත පදිංචි කරවීම.

04. උතුරු, නැගෙනහිරට දේශපාලන විසඳුමක්‌ සෙවීමේදී ජනාධිපති බලතල තවදුරටත් ආරක්‌ෂා වන පරිදි හා මධ්‍යම රජයට බැඳීමක්‌ ඇති විසඳුමක්‌ විය යුතුය.

05. 2002 සිට සරණාගතයින් වශයෙන් මෙරටට පැමිණි හා දැනටමත් පැමිණෙන පුද්ගලයන් නියාමනයට ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ කිරීමට යෝජනා කෙරේ.

06. දැනට සංහිඳියා මණ්‌ඩලයකින් ගෙන යන සංහිඳියා පිළිවෙතේ අරමුණ පිළිබඳ කරුණු දැනගැනීම.

07. උතුරු, නැගෙනහිර හා වෙනත් ඓතිහාසික බෞද්ධ පූජනීය ස්‌aථාන ආරක්‌ෂා කිරීමට හා සංරක්‌ෂණයට සංස්‌කෘතික ත්‍රිකෝණය සම්බන්ධ කර ගනිමින් හා ඒ ඒ ස්‌ථානවල විහාරාධිපති හිමියන්ද සම්බන්ධ කරගෙන පෞරාණික විහාරස්‌ථාන ගොඩනැඟීමට විධිමත් වැඩපිළිවෙළක්‌ සැකසීම හා පුරාවිද්‍යාවේ අණ පනත් වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීම.

08. ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටා ඇති සියලු ගොඩනැඟිලි දළදා මාලිගාව වෙත නිල වශයෙන් පැවරීමට අවශ්‍ය කටයුතු යෙදීම.

09. පුරාවිද්‍යාවේ හා සංස්‌කෘතික ත්‍රිකෝණ අරමුදලේ විහාර රක්‌ෂණ කටයුතු පිළිබඳ විධිමත් ක්‍රමවේදයක්‌ ඇති කිරීම හා මහා භාරකාර කාර්යාලය හා බෞද්ධ කටයුතු කාර්යාලයේ කටයුතු රජමහා විහාරයන්හි විහාරාධිපතිත්වයෙන් පරිබාහිර සිදු නොවන ආකාරයෙන් සිදු කිරීමටත්, එකී විහාරස්‌ථානයන්හි ඇති වන සියලුම ගැටලු හමුවෙහි එම විහාරස්‌ථානයන් අයිති නිකාය හෝ පාර්ශවවල මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුමැති අනුවම සිදු කිරීමටත් ඒවා යාවත්කාලීන කිරීම පිළිබඳ කරුණු දැනගැනීම.

10. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුරාධපුර යුගයෙන් ආරම්භ වූ මහා විහාරයීය ථේරිය සම්ප්‍රදාය රැකෙන ආකාරයේ වගන්ති ගෙන ඒම හා මෙරටට ථේරිය දහම් ඉගෙනීමට පැමිණෙන විදේශීය විද්‍යාර්ථයින්ට වීසා පහසුකම් හා පාඨමාලා ගාස්‌තු අය කිරීමේ ක්‍රමවේදය ලිහිල් කිරීම පිළිබඳ කරුණු දැනගැනීම.

11. මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසලින් යන මහා මාර්ගය විවෘත නොකළ යුතු අතර, එයට විකල්ප වශයෙන් දැනට යෝජිත උමං මාර්ගය සහ ලුවි පීරිස්‌ මාවත, රජපිහිල්ල මාවත පුළුල් කිරීම සුදුසු බව යෝජනා කිරීම.

12. පෙර පැවති මහනුවර බෝගම්බර සිරගෙදර උඩරට සංස්‌කෘතිකාංග ඇතුළත් කෞතුකාගාරයක්‌ වශයෙන් ගොඩනැඟීම පිළිබඳ කරුණු දැනගැනීම. මෙය දැනට නාගරික සංවර්ධන අධිකාරියෙන් සංචාරක නිකේතනයක්‌ වශයෙන් ගොඩනැඟීමට කටයුතු යොදා ඇත.

13. උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම නැවත ස්‌ථාපිත කර මුස්‌ලිම් හා දෙමළ ගම්මානවලට මැදිව වර්ෂ ගණනාවක්‌ සංවර්ධනයෙන් තොර වූ සිංහල ගම්මානවල වැසියන් නඟා සිටුවීමට ඉක්‌මනින් කටයුතු යෙදීම. එමෙන්ම ඒ අය අයත් ඡන්ද කොට්‌ඨාසයන්හි මහජන නියෝජිතයෝ දෙමළ හෝ මුස්‌ලිම් වන නිසා මේ ගම්මාන සංවර්ධනය කිරීම හිතාමතාම අත්හැර දැමීම නිසා ඔවුන් තම මුල් භූමිය මුස්‌ලිම් ජනයාටම අඩු මුදලට විකුණන තත්ත්වයට අද අසරණව ඇත. මේ පිළිබඳ කරුණු දැනුවත් කිරීම.

14. රටට අහිතකර ආකාරයෙන් ක්‍රියා කරන රාජ්‍ය නොවන ආයතන නියාමනයට විධිමත් ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීම පිළිබඳ කරුණු දැනගැනීම.

15. විහාරස්‌ථාන ලේඛනගත කිරීමේදී පාර්ශවයේ මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ තීරණය අවසන් තීරණය විය යුතු අතර, එය ඉක්‌මවා ශාසනාරක්‌ෂක බලමණ්‌ඩලයේ ලේකම්ගේ හෝ සමායෝජකගේ තීරණ අවශ්‍ය නොවිය යුතුය.

16. විල්පත්තු රක්‌ෂිතය ආරක්‌ෂා කර ගැනීමට ගැසට්‌ කිරීමෙන් කටයුතු කළා සේම දැනට වන රක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති රක්‌ෂිතයන්ද ගැසට්‌ කර වන ජීවී දෙපාර්තමේන්තුව යටතට ගෙන එන ලෙස මතක්‌ කිරීම.

17. මහනුවර නගරයේ දිනෙන් දින ඇති වන වාහන තදබදය අවම කර ගැනීම සඳහා අස්‌ගිරි කටුගස්‌තොට හා අස්‌ගිරිය ගැටඹේ මාර්ගය පිළිසකර කරදෙන ලෙස මතක්‌ කිරීම.

18. ඉන්දියාවේ අම්බක්‌කර් මැතිතුමාගේ බෞද්ධ සංගම් සමඟ ලංකාව සමීප සම්බන්ධව කටයුතු කිරීමට අවස්‌ථාව ලබා ගැනීම හා දමිල ළමුන් පැවිදි කිරීම හා ඒ අයගේ පෝෂණ, අධ්‍යාපන සඳහා අවශ්‍යතා ඉටු කිරීමට මංපෙත් සැලසුම් කිරීම. එහි වගකීම් මහා භාරකාර මණ්‌ඩලය හා බෞද්ධ කටයුතු කාර්යාලයට පැවරීම. ඒ සඳහා මධ්‍යස්‌ථාන දෙකක්‌ උතුර, මධ්‍යම පළාත්වල ඇති කිරීම.

19. ශ්‍රී ලංකාවේ ඉඩම් දීර්ඝ කාලීන වශයෙන් බදු දීමට ගෙන ඇති ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලීම හා විහාරස්‌ථානවල ශ්‍රී දළදා මාලිගාව හා දේවාල ඉඩම් බදු දීමේදී පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ සුදුසු වැඩපිළිවෙළක්‌ යෙදීම.

20. ජාතික ප්‍රතිපත්තිමය තීරණයක පිහිටා පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලියකට හා එතෙක්‌ මේ දක්‌වා පවත්වා ගෙන පාසල් සංස්‌කෘතිය වෙනස්‌ නොකිරීමට පියවර ගැනීම පිරිවෙන් අධ්‍යාපනයේ ඉපැරණි ගද්‍ය, පද්‍ය ග්‍රන්ථ ආදි මූලාශ්‍රයන් පෙර පරිදිම පවත්වා ගෙන යැම.

21. ලෝකයේ මත් උවදුර දැඩි ලෙස ක්‍රියාත්මක වන බැවින් දැනටමත් ශ්‍රී ලංකාව මූලස්‌ථාන බවට පත් වී ඇත. ඒ සඳහා දැඩි නීතිරීති ක්‍රියාත්මක කළ යුතු වේ.

Archive

Latest news

Related news