Thursday, March 28, 2024

මහින්දගේ නිවේදනයේ නොකී කතාව – සුනිල් ජයසේකර

ජායාරූපය: රාජපක්ෂට අමතක වී ඇති කාරණය නම් ජිනීවා මානව හිමිකම් මණ්ඩළයේ  ශ්‍රී ලංකාව සම්බන්ධ සියළු යෝජනා පදනම් වූයේ 2009 මැයි රාජපක්ෂ – බැං කී-මූන් ඒකාබද්ධ නිවේදනය මත බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා දිනපතා පුවත්පතකට සපයා ඇති දේශපාලන විග‍්‍රහයක දී ශ‍්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ බද්ධ ක‍්‍රියාවලීන් තුළ දැකිය හැකි මූලික ලක්ෂණයක් පෙන්වා දී තිබේ. එනම් දේශපාලනය, වෙළෙඳපොල, සන්නිවේදන මාධ්‍ය හා ප‍්‍රචාරණය යන සෑම ක්ෂේත‍්‍රයක්ම තම අරමුණු සාක්ෂාත් කරගැනීම ස`දහා ආමන්ත‍්‍රණය කරන්නේ සත්‍ය කරුණු හා සිද්ධි වාචික මත නොවේ යන්නය. ජනතාවගේ තාර්කික බුද්ධිය මත පදනම්ව නොවන බවය. ඒ සෑම ක්ෂේත‍්‍රයක්ම ආමන්ත‍්‍රණය කරන්නේ තාර්කික බුද්ධියට නොව, අතාර්කික හැඟිම් වලටය. පසිඳුරන් කේන්ද්‍රීය ආශාවන්ට ය.

එය ඉතාමත්ම නිවැරදි නිරීක්ෂණයකි. එය පෙර කී සෑම ක්ෂේත‍්‍රයකටම අදාළ සෑම මට්ටමකම වගකිව යුතු පුද්ගලයින් වෙතින් පවා දැකිය හැකි සුලබ ලක්ෂණයකි. තම අරමුණු ඉටුකරගැනීමේ අවශ්‍යතාවය තුළ සත්‍යය මරා දමමින්  ඕනෑම බොරුවක් සමාජගත කිරීමට ඔවූහූ කිසිසේත්ම පැකිලෙන්නේ නැත. ඒ ස`දහා පෙන්වා දිය හැකි අගනා උදාහරණයක් අද දිනයේ ප‍්‍රකාශයට පත්වී ඇති සෑම පුවත්පතකම ප‍්‍රධාන පෙළේ ප‍්‍රවෘත්තියක් ලෙස පළකර තිබුණි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති විශේෂ නිවේදනයකි. එම නිවේදනය මගින් මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස්වරයා විසින් ශ‍්‍රී ලංකාවට අදාළව නිකුත් කර ඇති වාර්තාව ශ‍්‍රී ලංකාව විසින් ඉහළින්ම පිළිගෙන තිබීම තුළ ශ‍්‍රී ලංකාවේ හමුදාව පාවාදීමකට ලක්කර ඇති බවය.

මේ රටේ හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ එම අර්ථ දැක්වීම නිවැරදි නොවනවා මෙන්ම පෙර සඳහන් කරන ලද ආකාරයට එමගින් ඔහු උත්සාහ ගන්නේ ශ‍්‍රී ලාංකිකයාගේ බුද්ධිය මොට කරමින් තමන්ගේ දේශපාලන අරමුණක් ඉටුකරගැනීමටය. මහින්ද රාජපක්ෂ මහතාගේ එම අර්ථ දැක්වීම වැරදි සහගත බව පැහැදිළි ලෙසම කිවහැක්කේ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඒ ආකාරයෙන් පිළිගන්නා බවට ශ‍්‍රී ලංකාව නිල වශයෙන් කිසිදු ප‍්‍රකාශයක් සිදුකර නැති නිසාය. මෙවර ජිනීවා නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නිල වශයෙන් ඊට සහභාගී වූ ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර හා නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා හෝ ජිනීවා හි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ යන මහත්වරුන් එහිදී සිදුකර ඇති ප‍්‍රකාශයන් මැනවින් විමර්ශනය කිරීම තුළ ඒ බව පැහැදිළිවම කිව හැකිය.

ඒ සමගම මහින්ද රාජපක්ෂ මහතා ද අමතක කළයුතු නැති මේ රටේ ජනතාව ද අවබෝධ කරගත යුතු ඉතාමත් පැහැදිළි සත්‍යයක් තිබේ. එනම් පසුකාලයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මත වූ යෝජනාවන් සඳහා ද ශ‍්‍රී ලංකාවේ පශ්චාත් යුද ගැටුම් තත්වය පිළිබ`දව ජාත්‍යන්තර අවධානයක් යොමුකරවීම සඳහා ද තීරණාත්මක ලෙස හේතු සපයා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ පොරොන්දුවක් තුළ බවය. මහින්ද රාජපක්ෂ මහතා එම පොරොන්දුව ලබාදුන්නේ මුළුමහත් ලෝකයට ය. ඒ 2009 මැයි මස 19 වනදා මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කි මූන් මහතා සමග සිදුකළ ඒකාබද්ධ ප‍්‍රකාශනය මගින් ය.

එපමණක් ද නොව, යුද්ධයේ අවසන් කාල සීමාවේ දී සිදුව ඇති ඇතැම් සිදුවීම් පිළිබඳව විධිමත් විමර්ශනයකට යායුතු බවට අපට කියා ඇත්තේ විදේශ සංවිධාන හා විදේශීය රටවල් පමණක්ම නොවේ. ඒ බව ඉතාමත් පැහැදිළි ලෙස මහින්ද රාජපක්ෂ මහතා වෙත නිර්දේශ කළේ මහින්ද රාජපක්ෂ මහතා විසින්ම පත්කරන ලද කොමිෂන් සභාවකිනි. ඒ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාව මගිනි. එම කොමිෂමේ වාර්තාව එදා මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගත්තා පමණක් නොව එය පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කරමින් ඊට නිසි සුජාතභාවය ද සහතික කරන ලදී. ඒ අනුව පසුකාලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බොහෝ රටවල් ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනු ලැබූවේ එම නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙසටය.

අනෙක් අතට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේදී මෙවර ඉදිරිපත් වූ වාර්තාව ඒ ආකාරයෙන් පිළිගන්නා බවට ශ‍්‍රී ලංකාව කිසිදු සහතිකයක් ලබා දී නැතත් ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ද අග‍්‍රාමාත්‍යවරයා ද ඉතා පැහැදිළි ලෙස එක් ස්ථාවරයක එළැඹ සිටින බව නම් ඉතා පැහැදිළිය. එනම් යුද ගැටුම් අවසානයේ සිදුවූවා යැයි කියන සිදුවීම් විමර්ශණය කිරීම සඳහා කිසිදු විදේශීය විනිසුරුවරයෙකුට අවසර නොදීමට ය. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ද රජයේ පැහැදිළි ස්ථාවරය අනුව ද ඒ බව ඉතාමත් පැහැදිළි ලෙස මුළු මහත් ලෝකයටම මේ වනවිටත් ප‍්‍රකාශ කර අවසන්ය.

ඒ සමගම මහින්ද රාජපක්ෂ මහතා ද තේරුම්ගත යුතු දෙයක් තිබේ. එනම් ශ‍්‍රී ලංකා රජය ඒ ආකාරයට පැහැදිළි ස්ථාවරයක කටයුතු කරද්දි ශ‍්‍රී ලංකාවට අදාළව එල්ල වන චෝදනා විමර්ශණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයෙකු පත්කරන ලෙස ඉල්ලා ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයෙකු විසින් වන බවය. මේ රටේ ජනමාධ්‍ය ඉතා පැහැදිළි ලෙස වාර්තා කර ඇති අන්දමට එම ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ජිනීවාහි දී පැවති මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරය ඇමතු නියෝජිතයා ය. එනම් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාය. ඒ අනුව අන් සියල්ලටම පෙර මහින්ද රාජපක්ෂ මහතා සිය ස්ථාවරය පැහැදිළි කළයුත්තේ ඒ ගැනය.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news