Monday, May 20, 2024

ව්‍යවස්ථා සංසෝධන ගැන රනිල් වික්‍රමසිංහ කතා කරයි.

(කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේ දෙමහල් ගොඩනැගිල්ල සහ සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයේදී අගමැති රනිල් වික්‍රමසංහ දැක්වූ අදහස් ඇසුරෙනි)

අපේ රට දියුණුව කරා යනවා නම් ජාතිවාදය පසෙකලා ශ්‍රී ලාංකිකයින් සේ එකට නැඟී සිටිය යුතුයි. එසේ නොමැතිව එම වැඩකටයුතු සිදු කළ නොහැකියි. 1956 දශකයේ සිට භාෂාව අනුව බෙදීම, ජනවාර්ගිකයන් බවට පත්වීම, ජාතිවාදය අන්තවාදය ඇතිවීම, ත්‍රස්තවාදය ඇතිවීම, බෙදුම්වාදය ඇතිවීම නිසා විශාල සංඛ්‍යාවකට ජීවිත අහිමි වුණා. දැන් ඒ සියලුම දේ අතහැර දැන් එළඹ ඇත්තේ එකතුවීමේ කාලයයි. එය ජනවාරි 08 වැනිදා ජනතාව තීරණය කළා.

දේශපාලනික වශයෙන් ද එකට එකතුවීම සිදු වුණා. ඇතැමුන් බෙදීම ලෙස හඳුන්වන්නේ සිංහල, දෙමළ බෙදීමයි. නමුත් ගමට යනවිට අපට අහන්නට ලැබෙන්නේ යූඑන්පී සහ ශ්‍රීලනිපය අතර බෙදීමයි. අපට තිබෙන්නේ අනෙකුත් රටවල්වල සිදු කරන පරිදි යම්කිසි සීමාවක් තුළ මෙය සිදු කිරීමයි. මේ සියලුම දේ සිදු කිරීමට පෙර දේශපාලනික වශයෙන් ද අප සියලුම දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස අදිඨන් කරගනිමින් අප සියලුම දෙනා පිළිගන්නා නව ව්‍යවස්ථාවක් ඇති කිරීමයි.

බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ පසු ව්‍යවස්ථාවන් දෙකක් ගෙන ආවා. විවිධ ප්‍රශ්න ඒ තුළින් මතු වුණා. එබැවින් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවටත්, ජනාධිපතිතුමාටත් මෙම වරම ලැබුණේ අලුත් ව්‍යවස්ථාවක් ඇති කිරීමටයි. දැන් මේ පිළිබඳව විවිධ කතා ඇති වී තිබෙනවා. ඒ නිසා දැනට පවතින සත්‍යය තත්ත්වය ප්‍රකාශ කිරීමට මා කැමැතියි.

ජනතා නියෝජිතයන් සහ විවිධ සංවිධාන එකට එකතු වී එක වාර්තාවක් අපට එවා තිබෙනවා. ඒ වාර්තාව අප භාරගත්ත ද එහි යෝජනාවන් තවමත් අපි පිළිගෙන නැහැ. එම යෝජනා සලකා බැලීමට අප සූදානම්. අපි ව්‍යවස්ථා දායක සභාවක් ලෙස රැස්වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් මෙහෙයුම් කමිටුවක් ඇති කළා. මේ කමිටුව මගින් විෂයන් 6ක් ගැන වාර්තා කිරීමට අනුකමිටු 6ක් පත් කළා. එහෙම යෝජනා ද අපට ලැබී තිබෙනවා. සමහර යෝජනා පරස්පර විරෝධීයි. අප මේ සියල්ල ජනතාව සමග සාකච්ඡා කරනවා. එසේම සියලුම අදහස් ද භාරදී තිබෙනවා. මෙහෙයුම් කමිටුව හැටියට අප දැන් සූදානම් වන්නේ මෙහි ප්‍රතිපත්ති රාමුව සහ මූලධර්ම පිළිබඳ මූලික වාර්තාවක් සැකසීමටයි.

ඒ ලැබෙන වාර්තාව ඉන්පසුව පාර්ලිමේන්තුව සමග වාද කිරීමෙන් ඇති වන එකඟත්ව හා සංශෝධන අනුව මෙම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සිදුවන්නේ. තවමත් අප මහමුහුදට පැමිණියේ නෑ. දැන් ඇත්තේ වාර්තාව ඉදිරිපත් කිරීම පමණයි. අවුරුද්දක් මුළුල්ලේ වාර්තාව ඉදිරිපත් කිරීම පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. අවුරුදු 40 ක් තිස්සේ පැවැති මෙම ගැටළුවට අවුරුද්දක්වත් අප ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කාලය ලබාදිය යුතුයි. දැන් මේ පිළිබඳව විවිධ ආකාරයේ ගැටළු මතුව තිබෙනවා. ඇතැමුන් මෙය බුදුදහමේ ස්ථානය නැති කිරීමට කරන උපක්‍රමයක් ලෙස හඳුන්වා දෙනවා. කිසිලෙසකින්වත් මෙමගින් එය සිදුවන්නේ නැත. සෑම පක්‍ෂයක්ම ඉල්ලා සිටින්නේ බුදු දහමට ප්‍රමුඛස්ථානයක් ලබා දෙන ලෙසයි. සුළු ජාතීන් සහ ආගම්වලට යම් අඩුපාඩුවක් සිදු වී ඇත්නම් ඒවා නිවැරදි කර බුදුදහමට ප්‍රධාන ස්ථානය ලබාදීමට මෙම ව්‍යවස්ථාව මගින් සිදු කරනවා. සියලුම මිනිසුන්ට තමන්ගේ ආගම ඇදහීමට අයිතිය ලබාදෙමින් ඒ රටේ ප්‍රධාන ආගමට ප්‍රමුඛස්ථානය ලබාදීම සිදු කළ යුතුයි.

උදාහරණ ලෙස ඉන්දියාව ප්‍රමුඛස්ථානය දෙන්නේ හින්දු ආගමට වන අතර, එංගලන්තය ක්‍රිස්තියානි ප්‍රොතෙස්තියානි ආගමටත්, රෝමය කතෝලික ආගමටත්, කුවේටය ඉස්ලාම් ආගමටත් ලෙස පෙන්වා දිය හැකියි. එසේම ඡන්ද ක්‍රමය ගැන, විධායක ජනාධිපති ක්‍රමය ගැන සහ කැබිනට් ක්‍රමය ගැන සාකච්ඡා කර සමහර එකඟත්වයන්ට පැමිණ තිබෙනවා. ඇතමුන් මෙය ෆෙඩරල් ක්‍රමය ලෙස හඳුන්වන්න ලැබුවත් අපට අවශ්‍ය වන්නේ නිවැරදිව බලය බෙදාහැර රට පාලනය කිරීමටයි. දැන් අපේ ප්‍රධාන ගැටළුව වන්නේ බලය බෙදාහැරීම පිළිබඳවයි. මේ පිළිබඳව අප සාකච්ඡා කරමින් පවතිනවා. 13 වන සංශෝධනයෙන් අප පළාත් සභා ඇති කර තිබෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය සභා, නගර සභා පවත්වා ගනිමින් ඉදිරියට යෑම සිදු කළ යුතුයි. ඒවා අහෝසි කිරීමට එම සභා කැමැති වන්නේ නැහැ. එපමණක් නොව ඒවා අහෝසි කිරීමට සියළුම දේශපාලන පක්‍ෂ කැමැත්තක් දක්වන්නේ නැහැ.

13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම අප ක්‍රියාත්මක කරන්නේ පළාත් 9 මුල් කරගනිමින්. මෙය රට පාවාදීමක් නොවේ. ප්‍රථමයෙන්ම අප පවසා සිටින්නේ කිසිම පළාතකට බෙදුම්වාදය පිළිබඳ සාකච්ඡා කිරීම තහනම් කරන ලෙසයි. වෙනත් ඕනෑම දෙයක් පිළිබඳව කතා කළ හැකියි. පසුගිය කාලයේ විශාල විනාශයක් සිදු වූ ආකාරය දකින්නට ලැබෙන බැවින් නැවතත් බෙදුම්වාදය පිළිබඳව සාකච්ඡා කිරීම අනවශ්‍යයයි.

එසේම ප්‍රාදේශීය සභා, නගර සභා පළාත් සභා යටතේ ක්‍රියාත්මක කරන බව සඳහන් කරන්නට කැමැතියි. ඒ අනුව ඒවාට ලැබෙන බලතල සාකච්ඡා කරමින් පවතිනවා. එසේම ග්‍රාම රාජ්‍යය පිළිබඳව වගන්තියක් ඇතුළත් කර ගන්නා ලෙස බොහෝ අය යෝජනා කර තිබෙනවා. ගමේ සියළුම දේ ග්‍රාම රාජ්‍යයට අදාළව කටයුතු කිරීමට අදහස්වී තිබෙනවා. මේ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අපි වගේම නගර සභාවෙන්, ප්‍රාදේශීය සභාවෙන්, පළාත් සභාවෙන් ලබාදීම ද සිදු වනවා. ගමේ සංවර්ධනය ගම තරහා නොකර ගම දැනුවත් කරමින් සිදු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් ජනතාව දේශපාලන පක්‍ෂවලට දොස් පැවැරිය හැකියි.

බලය බෙදාහැරීමේදී එය පැහැදිලි ලෙස සිදු කළ හැකියි. මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් සභාවට බලය බෙදාහැරීමේදී පැහැදිලි ක්‍රමවේදයක් තිබිය යුතුයි. පරමාධිපත්‍යයට බලපාන සෑම විෂයක්ම මහා ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව සමග තිබිය යුතුයි. මෙහිදී මහඇමැතිවරු සියලුම දෙනා සමග අප කතා කරනවා. සෑම මහා ඇමැතිවරයකුටම බලය ලබාදෙන ලෙස පළාත් සභාවලදී පවසා සිටිනවා. එක මහඇමැතිවරයෙකු හෝ අඩුවෙන් බලය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ නැහැ. දකුණේ හත් දෙනා සහ විපක්‍ෂ නායකවරුන් ද පවසන්නේ බලය ලබාදෙන ලෙසයි. මේ සියලුම දෙනාගේම අදහස් ලබාගෙන එකඟත්වය ඇති කරුණු සලකා බලන ලෙස සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමාත්, තුසිතා විජේමාන්න මන්ත්‍රීතුමියත්, ආණ්ඩුකාරවරු, මහඇමැතිවරු, විපක්‍ෂනායකවරු මුණගැසී සම්පූර්ණ වාර්තාවක් වෙනම ලබාදී තිබෙනවා.

මෙම කරුණු ලබාගෙන විශේෂයෙන් දකුණේ මහඇමැතිවරු හත් දෙනාගේ පොදු යෝජනා දෙස බලමින් ක්‍රියා කරමින් පවතිනවා. සියලුම මහඇමැතිවරු පවසන්නේ ආණ්ඩුකාරවරයා කටයුතු කළ යුත්තේ මහඇමැතිවරයාගේ උපදෙස් මත වන අතර, තනිවම කටයුතු කළ නොහැකි බව පවසනවා. එසේ වුවහොත් මහඇමැතිවරයාට පක්‍ෂව හෝ විපක්‍ෂව කටයුතු කළ හැකියි. මහඇමැතිවරයාගේ ක්‍රියාකලාපය වැරැදි නම් ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට හැකියාව පවතිනවා. ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට ප්‍රධාන බලතල ජනාධිපතිතුමා සතුව පැවැතිය යුතුයි.

පළාත් සභා ප්‍රඥප්ති නීත්‍යානුකූල ද යන්න නැද්ද තීරණය කරන්නේ අධිකරණයයි. පළාත් රාජ්‍ය සේවයේ බලතල, පළාත් පොලිස් කොමිසමේ බලතල, ඒ අය ස්වාධීන ව්‍යවස්ථා දායක සභාවෙන් පත් කළ යුතු ද නැත්ද යන්න, රාජ්‍ය ඉඩම් යනාදීන් පිළිබඳව මෙමගින් සාකච්ඡාවට ලක් කෙරේ. රාජ්‍ය ඉඩම් ඕනෑම අවස්ථාවක රජයට ලබාගැනීමට හැකියාව තිබිය යුතුයි. එසේ ප්‍රශ්නයක් ඇතිවුවහොත් උසාවියට හෝ වෙනත් මණ්ඩලයකට යොමු කරනවා ද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරේ.

මෙම නව ව්‍යවස්ථාවේ ඇත්තේ ජාතික ඉඩම් කොමිෂම ලෙසයි. නමුත් දැන් යෝජනා වී තිබෙන්නේ එය ජාතික ඉඩම් හා ජල කොමිෂම ලෙස වෙනස් කරන ලෙසයි. ගංගාවල ජලය බෙදාහැරීම ජල හිඟය, ජලය ආරක්‍ෂා කිරීම එයට හේතු වී තිබෙනවා. මීළඟට සමගාමී ලැයිස්තුව ඇතැමුන් අහෝසි කළ යුතු යැයි පවසනවා. තවත් සමහරු එය අහෝසි නොකළ යුතු යැයි පවසනවා. මාගේ අදහස ද එය අහෝසි නොකළ යුතු යන්නයි. සමගාමී ලැයිස්තුවේ සමහර බලතල ප්‍රාදේශීය සභාවට දීමට ද හැකියාව පවතී. මේ ගැනයි අප මේ ව්‍යවස්ථාව තුළින් කතා කරන්නේ. එහෙම නැතිව රට බෙදීම ගැන නොවේ. ඒකීයභාවයට තර්ජනයක් නොවන අයුරින් අප බලන්නේ ජනතාව කැමැති විදිහට මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ කෙසේදැයි යනුවෙනි. විපක්‍ෂනායක තුමාද පවසන්නේ එම ගැටලුව ඉක්මනින්ම විසඳා ගත යුතු බවයි.

විපක්‍ෂ නායකතුමා ඩී.එස්. සේනානායක මැතිතුමාගේ කාලයේ පරිදි ජාතික ගීය දෙමළින් ගායනා කිරීමට සිය කැමැත්ත පළ කළා. ජාතික ගීය දෙමළින් ගායනා කළ ද එහි අර්ථය වෙනස් වන්නේ නැත. සිංහල නොදන්නා පිරිස් එය දෙමළින් මෙය අපේ ලංකාව බව පැවසීම කොතරම් හොඳද? ඇතැමුන් මේ සඳහා විරුද්ධ වනවා. මෙයින් රට බෙදේ යනුවෙන් වැරැදි සහගත ලෙස සිතේ නම් ඇතැමුන් එල්.ටී.ටී.ඊ ය නියෝජනය වන පරිදි අප ඊළාම් යනුවෙන් ජාතික ගීය ගායනා විය යුතුයි. නමුත් ඔවුන් ගායනා කරන්නේ ද අප ශ්‍රී ලංකා, එක මවකගේ දරුවෝ යනුවෙනි. නමුත් ගැටලූ මතුකරන අය පවසන්නේ එසේ එක මවකගේ දරුවෝ යනුවෙන් ගායනා නොකරන ලෙසයි.

මීළඟට ද්විතීය සභාවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙය සෙනට් සභාව ලෙස පවසනවා. සෙනට් සභාව ලෙස ඉතිහාසයේ ද්විතීය මණ්ඩලයක් පැවතුණා. ද්විතීය මණ්ඩල ෆෙඩරල් රටවල පමණක් නොවෙයි ඒකීය රාජ්‍යයන් වන එංගලන්තය, ප්‍රංශය, නෙදර්ලන්තය, ජපාන යන රටවල සභා දෙකක් දකින්න ලැබෙනවා. අපි 1971 දී එය අහෝසි කර තනි සභාවකට පැමිණියා. දැන් තවත් සභාවක් අවශ්‍ය බව පවසනවා. එයට හේතුව සාමාජිකයන් තෝරා ගැනීම අපට පළාත් සභා මගින් සිදු කළ හැකියි. සෙනට් සභාවට හැම පළාත් සභාවකින්ම සභිකයින් පස් දෙනෙකු තෝරා ගත යුතුයි. ඇමැතිවරු, සභාපති, උපසභාපති, විපක්‍ෂනායක හැර වෙනත් ඕනෑම කෙනෙකු මේ සඳහා තෝරාගත හැකියි. එහි වාසිය 45% ක් වන දැනටමත් සිටි අලූත් මන්ත්‍රීවරුන්ට හිමි වනවා. මේ නිසා නැවත අලුතෙන් වාහන ලබාදීමට ද කාර්යාල ලබාදීමට ද අවශ්‍ය වන්නේ නැහැ.

එසේම ඒ සඳහා පාර්ලිමේන්තුවේද 10 දෙනෙකු තෝරාගත යුතුයි. එහි බලතල ලෙස දැනට යෝජනා වී ඇත්තේ පළාත් සභාවට බලපාන නීති සභා දෙකෙන්ම අනුමත කළ යුතුයි. ව්‍යවස්ථා සංශෝධන සභා දෙකෙන්ම අනුමත කළ යුතුයි. ද්විතීක සභාවට අනෙක් සියල්ලම පාර්ලිමේන්තුවට සලකා බලන ලෙස ලබාදිය හැකියි. ඉන්පසුව මාසයකින් දෙකකින් එය සලකා බලා සංශෝධන සිදු කර ලබාදිය හැකියි. මෙය අමාරු කර්තව්‍යක් නොවේ. සියලුම පක්‍ෂ එකට එකතු වී මෙය ක්‍රියාත්මක කිරීමට පෙළ ගැසිය යුතුයි.

 

Archive

Latest news

Related news