ලෝකයේ තුන්වැනියට හොඳම තොරතුරු නීතිය සහිත රට වශයෙන් ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණය කිසිදු සැකයක් නැතිවම, අලුත වැඩ පටන් ගත් තොරතුරු කොමිෂන් සභාව (තොරතුරු කොමිසම) විසින් ”ගාස්තු සහ අභියාචන කාර්යපටිපාටිය” පිළිබඳ කදිම රීති මාලාවක් සාදා දීමේ ප්‍රතිඵලයකි
ආණ්ඩුව සමග කරටකර මැදිහත් වෙමින් පෙබරවාරි 3 වැනිදා මෙකී රීති ගැසට් කරන බවට සහතික කර ගැනීමට කොමිෂන් සභාව සමත් වීම නමැති කාරණයම, අප එකහෙළා පිළිගත යුතු ජයග්‍රහණයකි. මේ කොමිෂන් සභාවට සාමාජිකයන් පස් දෙනාම පත්කර එය පූර්ණ වශයෙන් සකර්මණ්‍ය තත්වයට පත්වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ අග හරියේදී ය. නියමිත කාලයට මෙකී රීති ගෙන ඒම කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යය බවට පත්වී තිබිණි.
මේ අතර කොමිෂන් සභාවට එල්ල වූ මහත් ප්‍රහාරයක් වූයේ රටේ ජාතික අයවැයෙන් මේ කොමිෂන් සභාව සඳහා මුදල් වෙන්කර නැති බව වාර්තාවීමයි. ඒ වෙනුවට අරමුදල් පැමිණියේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ය. පසුගිය සතියේ නිකුත් කළ පුවත්පත් නිවේදනයෙන් දැක්වුණේ මෙකී බාධක තිබියදී පවා තොරතුරු පනත යටතේ ස්වාධීන ව ක්‍රියාත්මක වීමට කොමිෂන් සභාවට තිබෙන අරමුණ සහ අධිෂ්ඨානය නැවත ප්‍රකාශ වීමයි. පෙබරවාරි 17 වැනිදා ඬේලි මිරර් කතුවැකියද ලියැවුණේ මෙයට අදාළව ය. මෙම කොමිෂන් සභාවේ සේවය කරන කොමසාරිස්වරුන්ගේ හැකියාව සහ පරාසය සලකා බලනවිට අප විශ්වාස කරන්නේ සහ අප බලාපොරොත්තු වන්නේ මේ ප්‍රතිඥාව ඉටුකිරීම සඳහා ඔවුන් දැඩි ලෙසම ඇපකැපවනු ඇත කියා ය.
මේ සන්දර්භය තුළ, මෙකී කොමිෂන් සභාවට සිය ආයතනයික සැකැස්ම සකසාගැනීම සඳහා, නිදහසේ හුස්ම ගැනීම සඳහා අවකාශය ලබාදීම අවශ්‍ය ය. තවමත් මාස දෙකක් පමණක් වයසැති මේ කොමිෂන් සභාව වැඩකටයුතු කරන්නේ සංක්ෂිප්ත කාර්යමණ්ඩලයක් සමග ය. වාර්තා වන ආකාරයට කොමසාරිස්වරුන් අද දක්වාම සේවය කරමින් සිටින්නේ ප්‍රමාණවත් මූල්‍ය ගෙවීම්වලින් ද තොරව ය.
මේ අදහස් සිතට නැගුණේ Decent Lanka විසින් පසුගියදා තොරතුරු කොමිසමේ සභාපතිවරයා වෙත එවා තිබූ විවෘත ලිපිය දැකීමෙනි. එමගින්, පනතේ 13 වගන්තිය මගින් අනුදකින කාර්යමණ්ඩල සැකසුම, කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු සියලු සාමාජිකයන්ගේ අවම අධ්‍යාපනික සුදුසුකම්, අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුලු කාර්යමණ්ඩලය සේවයට බඳවාගැනීමේ කාර්යපටිපාටිය මෙන්ම මේ සඳහා තිබෙන කාලසටහන ද සවිස්තරාත්මකව විමසා තිබිණි.
යන්තම් මාස දෙකක්වත් වයස නැති තොරතුරු කොමිසම එහි ක්‍රියාකාරීභාවයේ මුල් අවධියේදී, මෙවැනි සවිස්තරාත්මක ප්‍රශ්නවලින් වැටලීමට ලක් කළ යුතුද යනුවෙන්ද මෙහිදී ගැටලු මතු වේ. මේ තොරතුරු ඉල්ලීම සිදුකර තිබෙන්නේ යහපත්ම අරමුණුවලින් බවට සැක නැත. නමුත් එවැනි හොඳම අරමුණු, තොරතුරු දැනගැනීමේ ඉහළම ප්‍රතිපත්තිවලට එතරම් හොඳ නොවන්නට පුලුවන.
තොරතුරු අයිතිය සහ තොරතුරු කොමිසම ශ්‍රී ලංකාව තුළ යථාර්ථයක් වූයේ විශේෂයෙන්ම මාධ්‍ය විසින් ගෙන ගිය දීර්ඝ කාලීන අරගලයකිනි. මේ නිසා මෙය සාර්ථක වනු දැකීමට මාධ්‍යය විශාල උනන්දුවක් දැක්විය යුතුය. තොරතුරු නීතිය සහ කොමිසමට, ශ්‍රී ලාංකික පුරවැසියන් ගේ යහපත වෙනුවෙන් ප්‍රබල ලෙස වැඩකළ හැකිය. මෙම නීතිය මගින් වරදකරුවන් අනාවරණය වන හෙයින් මෙම නීතිය අසාර්ථක වනු ඇතැයි ආණ්ඩුව තුළත් එයින් පිටතත් සිටින ඇතැමුන් ප්‍රාර්ථනා කරනවා වන්නට පුලුවන. මේ නිසා එවැනි අය සතුටු කරවන එවැනි සෘණාත්මක ප්‍රතිඵලයක් ඇතිවීම, තොරතුරු කොමිසමට ක්‍රියාත්මක වීමට අසීරු කරන අනවශ්‍ය පීඩන මගින් ඉක්මන් නොකළ යුතුය. එය එසේ වුවහොත් මහජන අර්ථසිද්ධිය වෙනුවෙන් කැපවී සිටීම සම්බන්ධයෙන් පිළිගැනීමට ලක්ව සිටින එහි සාමාජිකයන් සැබවින්ම මෙයින් ඉවත්ව යනු ඇත.
මේ පුවත්පතේම විචාරකයෙක් මෑතකදී පැවසුවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතිය එහි උත්පාදකයන්ට එරෙහිව යන නීතියක් බව ය. නමුත් වෙනස වන්නේ මේ නීතියේ උත්පාදකයන් දේශපාලනඥයන් නොවීමයි. සත්තකින්ම සිය ඉල්ලීම් ඉදිරිපත් කිරීම හැර වෙනත් විකල්පයක් නැත්තේ ජනතාව සහ ආණ්ඩුවටය.
හොඳ තොරතුරු නීතියක් ගෙන ඒම මගින් ලැබුණු බලාපොරොත්තු තබාගත හැකි ආරම්භය, එය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් තවදුරටත් ශක්තිමත් වේ යැයි අපි සිතිය යුතු වන්නෙමු. තොරතුරු කොමිෂන් සභාව විසින්ම නිරීක්ෂණය කර ඇති පරිදි, ජනතාවගේ අනුබලය හා සහයෝගය මේ සඳහා අත්‍යාවශ්‍ය ය. කිසිදු සැකයක් නැතිව යහපත් අරමුණු සහිත සියලු ශ්‍රී ලාංකිකයන් මේ ආයාචනය සමග එකඟ වනු ඇත.
2017-02-24 ඬේලි මිරර් කතුවැකි /ලංකා නිව්ස් වෙබ්