Monday, May 20, 2024

කීත් නොයර් පැහැරගත් අපරාධකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජායාරූපය:කීත් නොයාර් පැහැරගැනීමට සහ පහරදීමට එරෙහිව මාධ්‍ය සංවිධාන ක්ෂනිකවම විරෝධතාවක් සංවිදානය කළහ.

බොහෝ කල් ගත වී නමුත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් දැඩි සේ පහර දී අත්හැර දමා යෑම සම්බන්ධයෙන් සැක පිට හමුදා බුද්ධි අංශ මේජර් බුලත්වත්ත සහ සැරයන්වරයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම ගැන ප‍්‍රසාදය පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, කිසිදු ඇඟිලි ගැසීමකට යටත් නොවී ස්වාධීනව එම පරීක්‍ෂණ අවසානයක් දක්වා ගෙන යෑමට සහාය දක්වන ලෙස රජයට අවධාරණය කර සිටී. ‘‘ ද නේෂන් පුවත්පතේ කතුවරයෙකු වූ කීත් නොයාර් පැහැර ගෙන යෑමෙන් පසු වහා කි‍්‍රයාත්මක වූ මාධ්‍ය සංවිධාන ඔහුව නිදහස් කරන ලෙස එවක රජයට බලපෑම් කළ අතර ජාත්‍යන්තර අවධානය ද වහා ලැබුණු හෙයින් අපරාධකරුවන් විසින් දැඩිසේ පහර දී ඔහුව මහ මඟ අතහැර දමා ගොස් තිබිණ.

පෙබරවාරි 18 වැනි දා අත්අඩංගුවට ගන්නා ලද හමුදා බුද්ධි අංශ මේජර්වරයා සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මෙන්ම රිවිර පුවත්පතේ කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට ප‍්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ද සැක කරන බව අනාවරණය වී ඇත. දැන ගන්නට ඇති පරිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් ප‍්‍රහාර කිහිපයක් සම්බන්ධයෙන් වගකිව යුත්තන් අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටී. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ අනෙකුත් මාධ්‍ය සංවිධාන දිගින් දිගට ම කරන ලද බලපෑම් හමුවේ කල් ගත වී නමුත් තවත් එක් පරීක්‍ෂණයක් ආරම්භ කළ පමණින් අපට සතුටු විය නොහැකි අතර මෑත කාලීන ඉතිහාසය තුළ ඝාතනය කළ, අතුරුදහන් කළ මාධ්‍යවේදීන්, ප‍්‍රහාරවලට ලක්වූ මාධ්‍යවේදීන් මෙන්ම විනාශයට ලක් කළ මාධ්‍ය ආයතන වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම වඩාත් කාර්යක්‍ෂම විය යුතුය. ප‍්‍රගීත් අතරුදහන් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු, ඇප පිට නිදහස් වූ හමුදා නිලධාරීන් නැවත හමුදා සේවයේ පිහිටු වීම වැනි මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ සැකයට හා අප‍්‍රසාදයට ලක් වන සිදුවීම්වලින් තොරව මෙම පරීක්‍ෂණ අවසානයක් දක්වා ස්වාධීනව සිදු විය යුතු අතර තරාතිරම නොතකා අපරාධකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කොට දඬුවම් ලබා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටී.

Archive

Latest news

Related news