Monday, May 20, 2024

රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම නිවැරදියි.

කිර්ති තෙන්නකෝන්.

රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම ද්‍රවිඩ ජාතික සන්ධානයේ අවශ්‍යතාවය මත සිදු වූ බවට මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සිදු කළ පදනම් විරහිත ප්‍රකාශය ‘ජාතිවාදී සහ අවස්ථාවාදී ප්‍රකාශයකි. ද්‍රවිඩ භාෂාව කතා කරන ප්‍රදේශයන් හි පමණක් නොව රට පුරාම මහාධිකරණයන් හි නඩු ප්‍රමාදය වැලැක්වීම සදහා හැකි සියළු පියවර ගැනීමට ජනාධිපතිවරයා තවදුරටත් කටයුතු කළ යුතුය.

හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු ද වන මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මහාධිකරණයට විනිසුරුවන් පත් කිරීමේ ක්‍රමවේදය නොදන්නා අයෙකු හෝ නීතිය නොදන්නා අයෙකු හෝ නොවේ. දේශපාලන පක්ෂයට මහාධිකරණ විනිසුරුවන් පත් කිරීමේ හැකියාවක් නොමැති අතර එවැනි ව්‍යවහාරයක් ද නොවේ. එසේ තිබිය දී මෙවැනි ව්‍යාජ ප්‍රකාශ සිදු කිරීම පුදුම සහගතය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අමල් රන්දෙණිය මහතා අධිකරණ සේවා සංගමය වෙත යොමු කළ ලිපියක් මගින් මහාධිකරණ විනිසුරු පත් කිරීම පිළිබද සත්‍ය කරුණු රැසක් අනාවරණය වේ.

එම ලිපිය අනුව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස තමන් මඩකලපුව නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් ලබාදුන් නිර්දේශයක් මත තම නිර්දේශය ද සහිතව රාමනාදන් කන්නන් මහතා ගේ අයදුම්පත නිර්දේශ කොට ජනාධිපතිවරයා වෙත යොමු කළ බව අලගරත්න මහතා පවසා ඇත. ඔහු එම ලිපියේ පිටපත් 2016 සැප්තෑම්බර් මස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කොට ඇත්තේ අගවිනිසුරු සහ අධිකරණ අමාත්‍යවරයාට ද පිටපත් සහිතවය.

තම නිර්දේශය සදහා හේතු දක්වමින් අලගරත්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ, උතුරු නැගෙනහිර පලාත් හි පවතින දෙමළ භාෂා කථා කරන විනිසුරුවන්ගේ හිගය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් මෙම කටයුත්ත සදහා නිදහස් කිරීම හැකියාවක් නොමැති නිසා තම නිර්දේශය ලබා දුන් බවයි. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහ නීතිපතිවරයාගේ නිර්දේශය මත කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කළ බව ද එම ලිපියේ තවදුරටත් දැක්වේ. මෙයට පෙර ද පෙන්වා දුන් පරිදි, අධිකරණ සේවාවට පිටින් මහාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණට මාර්ක් ප්‍රනාන්දු, ශිරාණි බණ්ඩාරනායක, ආචාර්ය.ඒ. ආර්.බී.අමරසිංහ, ආචාර්ය රංජිත් ධීරරත්න, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සුරේෂ් චන්ද්‍රන්, උපාලි ඉසෙඩ් ගුණවර්ධන සහ තවත් පුද්ගලයින් පත් කොට ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව මෙයට පෙර කුමන අවස්ථාවක දී හෝ අධිකරණ පත්වීමක් සම්බන්ධයෙන් එහි විධායක සංගමයේ එකගතාව ලබාගෙන නොමැති බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා නොදන්නවා විය නොහැකිය. වෘත්තීය නීතිඥයෙකු නොවන බැවින් හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයෙකු නොවූ පමණන් ඔහුට එම තොරතුරු ලබා ගැනීමේ හැකියාව අහිමි වන්නේ නැත. අවශ්‍යතාවයක් පැවතියේ නම් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ට නිවැරදි තොරතුරු ලබාගෙන අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් හා වගකීමක් තිබුණි.

දැනට ද්‍රවිඩ භාෂාව කථා කරන ප්‍රදේශයන් හි මහාධිකරණ නඩු විශාල සංඛ්‍යාවක් ගොඩ ගැසී තිබේ. මෙම නඩු විභාග කිරීම සදහා සුදුසුකම් සහිත පුද්ගලයින් පිළිගත් ක්‍රමවේදයක් මත තෝරා ගැනීම මගින් අධිකරණය කෙරෙහි වන ජනතා විශ්වාසය නැවත ස්ථාපනය කිරීම අතිශයින් වැදගත් කරුණකි. අනෙක් අතට සිංහල භාෂා නඩු විභාග පැවැත්වෙන ප්‍රදේශයන් හි දී නඩු ගොඩ ගැසීමේ තත්වය මේ වන විට සුලබ ව්‍යවහාරයක් වී ඇත. දැනට අධිකරණ සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ සහ කාර්යක්ෂම විනිසුරුවන් අතුරින් ද, සුදුසුකම් සහිත නීතිවේදීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් වහා එම තනතුරු පිරවීම කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතුය‍

(  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ නිවේදනයක් ඇසුරිනි.)

Archive

Latest news

Related news