Saturday, April 27, 2024

සයිටමය අයිටමයක් කරගත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලනය – සුනිල් ජයසේකර

මහා දාර්ශනිකයෙකු වන ප්ලේටෝ කියා ඇත්තේ දේශපාලනය යනු ලෝකයේ පවත්නා අමාරුම කලාවක් බවය. එය වියවුල් සහිත හා තේරුම් ගැනීමට ද අසීරු බව ප්ලේටෝ වැඩිදුරටත් කියා තිබේ. පළමු කාරණය කෙසේ වෙතත් ලංකාවට අදාළව සැලකීමේදී නම් එය වියවුල් හා තේරුම්ගැනීමට ඉතාමත් අසීරු බව නම් පැහැදිළි සත්‍යයකි. ඒ බව හොඳින් පැහැදිළි වන පුවතක් පසුගිය දා දිවයින පුවත්පතෙහි පළවී තිබුණි. එම පුවත නම් සයිටම් විරෝධි සටනට මහින්දත් එක්වන බවය. ඒ බව තහවුරු කර තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද වනවිට සිය අනෙකුත් සියලූ කටයුතු අතහැර දමා පිවිස ඇත්තේ සයිටම් විරෝධි අරගලයකට ය. එය හුදු සයිටම් ආයතනයට එරෙහිව සිදුකරන අරගලයක් ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව සිදුකරන අරගලයක් ද යන්න පිළිබඳ තේරුම් බේරුම් කරදීම ඔවුන්ගේ වගකීමක් බව සියල්ලටම පෙර සඳහන් කළ යුතුය. මක්නිසාද යත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක‍්‍රියාමාර්ග, පෙනීසිටීම් හා අදහස් දැක්වීම් එක් එක් කාලසීමාවන්ට අදාළව සපුරා පරස්පර මෙන්ම ප‍්‍රතිවිරුද්ධ ස්වරූප ගන්නා බව පෙනෙන්නට ඇති නිසාය. ඒ අනුව දේශපාලනයට හා දේශපාලකයන්ට අදාළව සැලකීමේදී ප්ලේටෝ කියා ඇති පරිදිම එහි ඇති වියවුල් සහගත බව තේරුම් ගැනීමට හැකි නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ තැනට වැටී ඇත්තේ ඇයි ද යන්න නම් තේරුම් ගැනීම අසීරුය.

සරලව කියන්නේ නම් දේශපාලකයන් මෙන් නොව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් නියැලෙන්නේ වෘත්තීමය සේවාවක ය. වෘත්තීමය සේවාවක නිරත වෘත්තිකයන්ට දේශපාලකයන්ට නොමැති පිළිපැදිය යුතු නීති මෙන්ම ආචාර ධර්ම මාලාවක් ද පවතී. ඒ නිසා දේශපාලන ලැදියාවන් හා දේශපාලන ස්වාමීත්වය අනුව එකඟවීම් හා පක්ෂග‍්‍රාහී වීම් සිදුකළ නොහැකිය. වෛද්‍ය වෘත්තිකයන් නියෝජනය කරන සංගමයකට නම් එවැනි ලැදියාවක් හා පක්ෂග‍්‍රාහීත්වයක් දැක්වීමට කිසිසේත්ම නොහැකි බව නම් එක එල්ලේම කිවහැකිය. එහෙත් අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරමින් සිටින්නේ එවැනි දේශපාලන ලැදියාවන් තුළ ඔවුන්ගේ දේශපාලන ස්වාමියාට අනුගත ක‍්‍රියාමාර්ගයක් බැව් කණගාටුවෙන් වුවත් කිවයුතුව තිබේ.

ඒ බව තේරුම් ගැනීමට හිප්‍රොක‍්‍රටීස් කියවිය යුතු නැත. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයන්ට අදාළව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රතිපත්ති මෙන්ම මාළඹේ සයිටම් ආයතනයට අදාළ මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති තේරුම් ගැනීම තුළ ඒ බව අවබෝධ කරගත හැකිය. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයන්ට එරෙහිව විරෝධතාවයක් ඇත්නම් එය පොදුවේ පැවතිය යුතු විරෝධතාවයක් වියයුතුය. එනම් ඔවුන් පෙනී සිටිය යුත්තේ රාජ්‍ය විශ්ව විද්‍යාල හරහා බිහිවන වෛද්‍යවරුන් වෙනුවෙන් පමණකි. එහෙත් මුදල් ගෙවා විදේශ විශ්වවිද්‍යාල තුළින් වෛද්‍ය උපාධි ලබාගන්නා වෛද්‍යවරුන් ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය සේවයට ඇතුළත් කරගන්නවාට ඔවුන් විරුද්ධත්වයක් පළ නොකරයි. එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අයත් නැති වෛද්‍ය පීඨ ලංකාවේ ක‍්‍රියාත්මක වනවාට ද ඔවුන් විරුද්ධ නොවේ. සෑම වසරකදීම ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය සේවයට එක්වන විදේශ විශ්වවිද්‍යාල හරහා උපාධි ලබාගත් වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව පිළිබඳ මෙන්ම රත්මලානේ පිහිටි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට එරෙහි නොවීම මගින් ද ඒ බව පැහැදිළි කරගත හැකිය.

අනෙක් අතට සයිටම් අරගලයට මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කරගැනීමෙන් ද මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනුගමනය කරන ලද ප‍්‍රතිපත්තිය පිළිබඳව සලකා බැලීමෙන් ද මේ පරස්පරය හ`දුනාගත හැකිය. සයිටම් ආයතනය ආරම්භ කරන ලද්දේ ත් ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලද්දේ ත් යහපාලන රජය විසින් නොවේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය යටතේ ය. ඒ 2008 වසරේදී ය. එමෙන්ම පුද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස සයිටම් ආයතනය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගන්නා ලද්දේ ත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළදී ය. ඒ 2009 වසරේදී ය. සයිටම් ආයතනය පිළිගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද්දේ ද මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී ය. ඒ 2011 වසරේදී ය. සයිටම් ආයතනය පවත්වාගෙන යාම සඳහා රුපියල් මිලියන හාරදහසක විශේෂ ණය මුදලක් ලබාදී ඇත්තේ ද මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ය. ඒ 2012 වසරේදී ය. සයිටම් සිසුන්ගේ සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් ලබාදීමට තීරණය කරනු ලැබුවේ ද මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළදී ය. ඒ 2013 වසරේදී ය.

ඒ අනුව දැන් පැනනගින්නේ ඉතාමත් සාධාරණ ප‍්‍රශ්නයකි. සයිටම් ආයතනය සඳහා අවසරය ලබාදීමේ සිට එය පවත්වාගෙන යාම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් නීත්‍යානුකූලභාවය ලබාදීමෙන් ද විශේෂ ණය පහසුකම් ලබාදෙමින් ද සියලූ අවශ්‍යතා නොපිරිහෙළා ඉටුකළ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කුමක් කළේ ද යන්නය.

ඒ සමගම සයිටම් ආයතනයට අවසර ලබාදී ඊට නීත්‍යානුකූලභාවය ලබාදීමට සියලූ කටයුතු සිදුකළ මහින්ද රාජපක්ෂ මහතා සමග අද සයිටම් විරෝධීන් ලෙස එකට එක්වීමට තරම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරටවිත් තිබීම අප තේරුම්ගත යුත්තේ කෙසේද? මහින්ද රාජපක්ෂ මහතා යනු බලය උදෙසා  ඕනෑම දෙයක් සිදුකිරීමට සූදානම්ව සිටින දේශපාලකයෙකු ලෙස සැලකීමේදී එක් අතකින් ඔහුගේ මේ ප‍්‍රවේශය තේරුම්ගත හැකිය. එහෙත් සයිටම් ආයතනය පිහිටුවීමේ සිට එහි ඉගෙන ගන්නා සිසුන්ට සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් ලබාදීම දක්වා මහින්ද රාජපක්ෂ පාලනය මගින් ගනුලැබූ සියලූ තීරණයන්හි දී ඊට නිහඬව සහය දුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මහින්ද රාජපක්ෂ මහතා සමග සයිටම් විරෝධයට එක්වීම සැලකිය හැක්කේ අවස්ථාවාදයක් ලෙසද නැතහොත් තමන් අනුගමනය කරන්නේ යැයි කියන ප‍්‍රතිපත්ති පිටපොට ගසමින් සිය ස්වාමියාට සහය වීමක් ලෙසට ද යන්න පැහැදිළි නැත.

ඒ කෙසේ වෙතත් රටේ විද්වත් වෘත්තිකයින්ගේ ගණයට අයත්වන වෘත්තීයවේදීන් පිරිසක් ඉතා යුක්ති සහගත කරුණකට අදාළව හෝ අරගල කළයුතුව ඇති ක‍්‍රමවේදයක් තිබේ. රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය නියෝජනය කරන්නේ මෙරෙටේ පිළිගත් වෛද්‍යවරුන්ය. සාමාන්‍යයෙන් වෛද්‍ය වෘත්තීය සැළකෙන්නේ ඉතා ගරු කටයුතු වෘත්තියක් ලෙසිනි. ඒ ගරුත්වය ඔවුන් වෙත ආරෝපණය වන්නේ සෞඛ්‍ය සම්පන්න ජාතියක් උදෙසා සිදුකරන්නා වූ වගකීම් සහගත දායකත්වය හේතුවෙනි. එහිදී අප ඉතා සැළකිල්ලට ගතයුතුව ඇති වැදගත් කරුණක් වන්නේ රටක සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් යනුවෙන් අදහස් කරන්නේ හුදු රෝග විනිශ්චය හා රෝග නිවාරණය පමණක්ම නොවන බවය. ශාරීරික මෙන්ම මානසික සුවතාවය සඳහා වෘත්තිකයන් ලෙස වෛද්‍යවරුන් සිදුකරන මැදිහත්වීම හුදු රෝග විනිශ්චය හා ඖෂධ ප‍්‍රතිකාරයන්ට පමණක් සීමා නොවිය යුතු වන්නේ ඒ අනුවය. එවැනි සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැඟීම සඳහා උගත්කම පමණක් ප‍්‍රමාණවත් නොවේ. විනය හා ආචාර ධර්ම පදනම් කරගත් වෘත්තිකයන්ගෙන් ද එම වෘත්තිකයන්ගේ මැදිහත්වීම හරහා ගොඩනැගෙන සමාජ, ආර්ථික හා දේශපාලන සුරක්ෂිතභාවයක් ද රටකට ඉතා වැදගත්ය. එවැනි පරිසරයක් නිර්මාණය කර ගැනීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ඒ තුළ තහවුරුවන ජන ජීවිතයේ නිදහස මෙන්ම නීතියේ ආධිපත්‍යය ද රටකට අතිශයින්ම වැදගත්ය.

දැන් අප ඉතා සන්සුන් ලෙස අවධානය යොමුකළයුතුව ඇත්තේ එවැනි අතිශය වගකීම් සහගත වෘත්තිය භාවිතයක යෙදිය යුතු, අප රටේ වෛද්‍යවරුන්ගෙන් සමන්විත රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අද සිදුකරමින් සිටින මෙවන් කි‍්‍රයාමාර්ග තුළ ලබාදෙන දායකත්වය කුමක්ද යන්නය. ඒ සමගම අවධානය යොමුකළයුතු අනෙක් කාරණය වන්නේ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය මේ වන විට මුලපුරා ඇතැයි කියන වෘත්තීය අරගලයට පදනම් වී ඇති හේතු කාරණා මොනවාද යන්නය.

වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප‍්‍රකාශ කර ඇති පරිදි පසුගිය දා දියත් කරන ලද සංකේත වැඩවර්ජනයට පදනම් වී ඇති කරුණු දෙකක් පවතී. ඉන් ප‍්‍රමුඛතම කරුණ වන්නේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මඟින් ලබාදෙන වෛද්‍ය උපාධිය පිළිගන්නා ලෙසට ශී‍්‍ර ලංකාවේ ඉහළම අධිකරණයක් වන අභියාචනාධිකරණය මඟින් ලබාදී ඇති තීන්දුවයි. දෙවැනි කාරණය වන්නේ එම තීන්දුවට අදාළව ගතයුතු කි‍්‍රයාමාර්ගයන්ට එරෙහිවෙමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව සංවිධානය කළ පෙළපාළියකට පොලීසිය මඟින් බාධා කිරීමයි.

මෙහිදී රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය තේරුම්ගත යුතු වැදගත්ම කාරණය වන්නේ අභියාචනාධිකරණය ම‍ගින් ලබාදී ඇති තීන්දුව කිසියම් හේතුන් මත ඔවුනට පිළිගත නොහැකිනම් ඒ ස‍දහා නීතිමය වශයෙන් ගතහැකි කි‍්‍රයාමාර්ග ඇති බවයි. එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ඊට අදාළ  ඕනෑම පාර්ශවයකට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට හැකියාවක් තිබේ. නීතියේ ආධිපත්‍යය පිළිගන්නා ශිෂ්ට සම්පන්න  ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයෙකු විසින් ගතයුතුව ඇත්තේ එවැනි කි‍්‍රයාමාර්ගයකි. එමඟින් බැහැරව යමින් රටක ඉහළම අධිකරණයක් විසින් ලබාදී ඇති තීන්දුවට එරෙහිව වෙනත් කි‍්‍රයාමාර්ගයකට පිවිසිය හැක්කේ එක්කෝ මූලික අධ්‍යාපනයක් හෝ නොමැති, විචාර බුද්ධියක් හෝ සමාජ අවබෝධයකින් තොර බුද්ධිහීනයෙකුටය. නැතිනම් ත‍්‍රස්තවාදියෙකුටය. සාමාන්‍යයෙන් මේ රටේ කිසිදු වෛද්‍යවරයෙක් පළමු ගණයට අයත් නොවනු ඇත. එසේ සැළකිය යුතු ද නැත. එහෙත් අද මේ ඔවුන් සිදුකරමින් සිටින ප‍්‍රතිකි‍්‍රයාවන් සැළකීමේදී ත‍්‍රස්තවාදී මානසිකත්වයෙන් යුතු පුද්ගලයෙකුට හා ත‍්‍රස්තවාදී සංවිධානයකටනම් එවැනි දේ කළහැකිය. මක්නිසාද යත් ත‍්‍රස්තවාදී කි‍්‍රයාමාර්ග වෙත පිවිසෙන වෛද්‍යවරුන්ගෙන්ගැනද ත‍්‍රස්තවාදී සංවිධානයන්ට නායකත්වය දෙන බුද්ධිමතුන් පිළිබඳව ද ඉතිහාසය තුළ  ඕනෑතරම් උදාහරණ දැක්විය හැකි නිසාය.

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය තමන්ගේ මෙම කි‍්‍රයාමාර්ගය සාධාරණීකරණය කිරීම සඳහා පෙන්වාදෙන අනෙක් හේතුව වෛද්‍ය සිසුන්ගේ පා ගමනට පොලීසිය විසින් සිදුකරන ලද බාධා කිරීමය. නිසැක වශයෙන්ම අදාළ පෙළපාලියට පොලීසිය විසින් බාධා කළ බව පැහැදිළි සත්‍යයකි. එහිදී කිසිදු පොලිස් නිලධාරියෙක් නිරායුධ සිසුන් වෙත වෙඩි තැබුවේ නැත. ඔළු නොපැළූහ. අමානුෂික ප‍්‍රහාරයන්ට යොමු නොවූහ. ඔවුන් එහිදී පැහැදිළිවම අනුගමනය කරන ලද්දේ රටේ පවත්නා නීතිමය ප‍්‍රතිපාදනයන්ට අනුව ගතහැකි අවම පියවරයන්ය. එනම් ජල ප‍්‍රහාර හා කදුළු ගෑස් එල්ල කිරීම වැනි කි‍්‍රයාවන්ය. අනෙක් අතට පොලීසිය එවැනි කි‍්‍රයාමාර්ගයක් වෙත පවා පිවිසුනේ උපෝෂිත ශීලය සමාදන්ව සක්මන් භාවනාවේ යෙදුන උපාසක පිරිසකට නොවේ. අධිකරණය මඟින් ඉතා පැහැදිළි ලෙස නියෝග දෙකක් ලබාදී තිබියදීත් රටේ සාමාන්‍ය නීතියට අභියෝග කරමින් නීති විරෝධි ලෙස ගමන් කරමින් සිටි පෙළපාලියකටය.

ඒ අනුව ඉතා පැහැදිළි ලෙසම මේ අභියෝග කරන්නේ කවුරුන් වෙතද? රටේ නීතියට හා එම නීතිය තුළ යුක්තිය පසිඳලීමේ වගකීම ඇති රටේ අධිකරණ පද්ධතියටය. ශිෂ්ඨ සම්පන්න රටක් පිළිබඳව හා එහිදී ඉතා පැහැදිළි ලෙසම තහවුරු විය යුතුව ඇති නීතියේ ආධිපත්‍ය පිළිබඳව පිළිගැනීමක් සහිත යුක්තිගරුක කිසිවෙකුට එවැනි දේ අනුමත කළ නොහැකිය.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news