Thursday, November 21, 2024

වැලිකඩ ඝාතන 27: ‘බන්ධනාගාරයේ මකර තොරණ ළඟදි පණ තියෙන අයත් බෆල් රථයට නංවා ගත්තා ‘

කසුන් පුස්සෙවෙල විසිනි.

– ඇසින් දුටු බන්ධනාගාර නිලධාරියකුගේ සාක්ෂ්‍ය සටහන –

වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු සංඛ්‍යාතම්කව ඝාතනය වී සිව් වසරකුත් මාස දෙකක් ගතව තිබේ. එහෙත් ඇසින් දුටුවන් බොහෝමයකට අනුව මියගිය ප්‍රමාණය ඊට වැඩි විය යුතුය. එහෙත් මේ වනතුරුම එම සිදුවීම පිළිබඳව කිසිඳු පරික්ෂණයක් සිදු නොවුණි.එම සිදු වීම අතරතුර සිදු වූ ලැයිස්තුගත ඝාතන හා ඊට අමතරව සිරකරුවන් බන්ධනාගාරයෙන් සන්නද්ධ රථ මගින් ආවරණය කොට රැගෙන ගිය බවට පසුගිය සතියේ දී එම සිදුවීමට මහුණු දුන් රැඳවියෙකුගේ මතක සටහන් මඟින් අනාවරණය කෙරිණි.එම සාක්ෂ්‍ය සටහන් මීට සිව් වසරකට පෙර එම සිදු වීමෙන් දින දෙකකට පසුව ඔහු ස්වේච්ජාවෙන් ලියුම්කරු වෙත අනාවරණය කළ කාරණාය.

2012.11.18 වැනි දින එම සාක්ෂ්‍ය පදනම් කොටගෙන වැලිකඩ බන්ධනාගාරය තුළ 2012.11.09 වැනිදා සිදු වූවේ කැරැල්ලක් මැඩ පැවැත් වීමක් බව පෙන්වමින් තෝරාගත් පිරිසක් ලැයිස්තුගත කර ඝාතනය කිරීමක් බව ලියුම්කරු විසින් මුද්‍රිත මාධ්‍ය තුළ පළමුවරට හෙළි කරන ලදී.එවක දී පැවති රජයද,අභනිවයෙන් පත් වූ රජයද කමිටු පත් කළ ද ඒවායෙහි වාර්තා අදටත් මාධ්‍යයට මුදා නොහැර ඝාතකයන් හා ඊට අනුබල දුන්නන් සඟවා තබා ගනිමින් සිටිති. සිරකරුවන් දණ ගස්වා ලැයිස්තුවකට ගෙන ඝාතනය කළ බව ද,එදින පැමිණි රජයේ නිල ඝාතන කණ්ඩායම බන්ධනාගාර ලොග් සටහන් පොත් ගිනි තැබූ බව ද,එදින අලූයම පැමිණි සන්නද්ධ බෆල් රථයකින් යම් පිරිසක් හෝ මෘත ශරීර කිහිපයක් පිටතට ගෙන ගිය බව ද,ඉන්පසුව බන්ධනාගාරයේ පිරික්සුම් වල දී සිරකරුවන් නොමැති සිර ගොනු හමු වූ බව ද, එවක සිට අද වනතුරු සක්ෂ්‍ය සහිතව වාර්තා කළ ද සිදු වූ පරීක්ෂණයක් නොවීය.

පසුගිය වසරේ නොවැම්බර් 9 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කරන ලද පැමිණිලල් අනවු පසුගිය 10 වැනිදා එම වකවානුවේ දී මීට අදාළව ලබාගෙන තිබූ සියලූ හඬ පට සහ සාක්ෂ්‍ය එම කොමිසමට ලබා දෙන ලදී.පහත පළ වන්නේ එවක දී මෙරටේ තිබූ ආරක්ෂක වාතාවරණය හමුවේ මාධ්‍ය තුළ හෙළි නොකළ,එමෙන්ම අනන්‍යතාව හෙළි කළ නොහැකි බන්ධනාගාර නියාමකවරයෙකු එදින ඇසින් දුටු සාක්ෂ්‍යයන්හි ඉතාම සංක්ෂිප්ත සටහනකි. සිවිල් ඇඳුමෙන් පැමිණි යුද හමුදාවේ ද මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ද ආරක්ෂක නිල ඝාතකයන් තම හිසට පිස්තෝලය තබමින් සිදු කළ දෑ පහත පළ වනු ඇත.එදින ලැයිස්තුවේ නම් සහිත පුද්ගලයන් ද, සිර මැදිරි ද පෙන්වන ලෙස ද ඔහුට අණ කරන ලද අතර එයින් දින කිහිපයකට පසුව ඔහු ලියුම්කරුව සොයා විත් ලබා දුන් පාපොච්චාරණයෙන් මාධ්‍යයේ පළ කළ හැකි උපුටා ගැනීම් මෙලෙස මහ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ හිමිකම වෙනුවෙන් පළ කරමු. එලෙසම නව පාලනය තුළ දී පෙර පැවති පාලනයේ දී මෙන් මෙම සාක්ෂ්‍යකරුවන් සහ අපරාධ වින්දිතයන් ආරක්ෂා කිරීමේ නෛතික රාමුව තුළ ඔවුන්ගේ අනන්‍යතා සොයා ගොස් අඩත්තේට්ටම් සිදු නොකරනු ඇතැයි අපේක්ෂා කරමු.නව රජයේ අගමැතිවරයා සතුව ඇති මෙම ඝාතන පිළිබඳව දෙවන කමිටු වාර්තාව හෙළි නොකරන්නේ ඇයි? එදා යුද හමුදාවට අණ දුන්නේ කවුද? තෝරාගෙන ඝාතනය කළෝ කවරහුද? යමෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන ගියෝ නම් ඒ කවුද? සිව් වසරක් පුරා තවමත් මේවා සඟවන හේතුව පිළිබඳව යුක්තිය අපේක්ෂා කරන මහජනතාවට හෙළි කළ යුතුය. මේ පිළිබඳ තවත් සාක්ෂ්‍ය සටහනක් ලබන සතියේ දී ද පළ වේ. –

බන්ධනාගාර නිලධාරියෙකු විදියට මේ සිදුවීමේ ආරම්භය කොහොම ද ඔබ දැක්කේ ?

මේක පටන් ගත්තේ 9 වැනිදා දවල් ඉඳලා. ඉන්දික කියන බන්ධනාගාර නිලධාරියා එක්ක බන්ධනාගාර බුද්ධි අංශය කියන කණ්ඩායම එස්.ටී.එෆ් එකත් එක්ක ඇතුළට යන්න ඕන කියලා ආවා.ගේට්ටු භාර මහත්තයා කිව්වා එහෙම යන්න දෙන්න බෑ කියලා. කොමසාරිස්තුමාගෙන් අවසරයක් නැතුව යන්න දෙන්න බෑ කිව්වත් ඒ අය ඇහුවේ නෑ. එස්.ටී.එෆ් එකේ එදා ආව ලොක්කත් කෑ ගැහුවා අපට කොමසාරිස්ගේ ලියුම් ඕන නෑ කියලා.

එවෙලෙ එස්.ටී.එෆ් කීයක් විතර ඇවිත් හිටියා ද ?

ගොඩක් ඇවිත් හිටියා.ඉස්සෙල්ලාම එක කන්ඩායමක් තමයි බන්ධානාගාරයට ඇතුල් වුණේ.තව පිරිසක් එලියෙත් හිටියා.මීට කළින් එකපාරටම පොලීසිය ඇවිත් පරීක්ෂා කරපු වෙලාවෙ අත්දැකීම් අපට තියෙනවා.අපිටත් පුදුමයි එදා මේ තරම් ප්‍රමාණයක් එස්.ටී.එෆ් එකෙන් ආව එකට.

ඒ අය මොනවද පරික්ෂා කරන්න ගෙනත් තිබුණේ ?

ඒ ඔක්කොම ගාව වගේ තුවක්කු තිබුණා.ඒව එක්ක එකපාරටම ඇතුළු වුණා.එවෙලෙ ගේට්ටුවේ මහත්තයා අසරණ වුණා. එයාල බලෙන්ම වගේ බන්ධනාගාරයේ ඉන්දික මහත්තයලා එක්කම ඇතුළට ගියා.

මුලින්ම කොහෙට ද යනවා දැක්කේ ?

මුලින්ම ඒ කණ්ඩායම ගියේ චැපල් වාට්ටුව පැත්තට.මම එතනට ගියේ නෑ. මොකද ඒ වෙද්දි මගේ ඩියුටි ඕෆ් වෙලා මම එලියට යන්න එද්දී තමයි මේක පටන් ගත්තේ. නමුත් මම නිල නිවාසයට ගියේ නැතුව එතැන හිටියා. මට මතකයි එතනදි චැපල් එකේ කීපදෙනෙක් එලියට අරගෙන දණ ගැස්සුවා. දණ ගස්සලා ඒ අයට ප්ලාස්ටික් පටි දාලා අත් පිටිපස්සට කරලා ලොක් කළා. කළබලේ පටන් ගන්නේ එතනින්.චැපල් එකේ ඔක්කොම වගේ එතන දී කෑ ගහලා තියෙනවා ඇයි අපට මෙහෙම කරන්නේ කියලා. අපි දන්න විදියට එතන හිරකාරයින්ව ඇවිස්සෙන විදියට තමයි මේ පරීක්ෂාව වුණේ.

මේ තරම් ඇවිස්සෙන්න බරපතළ කාරණා මොනවාද එතන සිදු වුණේ ?

එතන තියෙනවා මානසික ප්‍රශ්න තියෙන හිරකරුවන් රඳවලා තියෙන වාට්ටුව.ඒ වගේම වයසක හිරකරුවන් රඳවලා තියෙන වාට්ටුව. එතන අයට මේ ගියපු අය කුණුහරුප කියලා පහර දීලා තියෙනවා.ඒ සිදුවීම් තමයි මේක ආරම්භ වෙන්න මූලික වුණේ.

ඒ වෙද්දී ඔබ කොහේද හිටියේ ?

මම ඒ වෙලාවෙදි හිටියේ ගේට්ටුව ළඟ.නමුත් නිලධාරීන් සහ හිරකරුවන් එතන වුණු සිදුවීම ගැන කිව්වා.

ඊට පසුව මොකද සිදු වුණේ ?

එතන ඉන්න අවශ්‍යතාවයක් තිබුණේ නැති නිසා මම නිලධාරී බැරැක්කයට ආවා. ආයෙ හවස අපිට මේක බරපතළ වෙලා තියෙනව කියන ආරංචිය එද්දී ඇතුළට යන්න ගියත් අපට අපේ උසස් නිලධාරීන් වාචිකව කිව්වා ඇතුළට යන්න එපා,ඔයාල බැරැක්ක වලටම වෙලා ඉන්න කියලා.කොහොමත් ඒ වෙද්දි හවස් වෙලා. හරියටම වෙලාව මතක නැහැ.

මේ සිද්ධිය මැඩපවත්වන්න බන්ධනාගාර නිලධාරීන් උත්සාහ කළේ නැද්ද ?

කොහොම හරි ඒ වෙලාව වෙද්දී බන්ධනාගාර අධිකාරී ගාමිණී ජයසිංහ, නානායක්කාර කියන මහත්තයලා, සම්පත් කියන මහත්තයලා ඇතුළේ අයත් එක්ක සාකච්ජා කරමින් හිටියේ ගේට්ටුව ළඟට වෙලා.පළවෙනි පාර ඒ සාකච්ජා සාර්ථක වෙනවා. ඇතුළේ හිරකරුවන් කියනවා හරි සර් මේක නතර කරනවා කියලා. ඒ වෙද්දී ඒ අය ආයුද අතට අරගෙන හිටියේත් නෑ. නමුත් ඒ සාකච්ජා කරපු විදියට මේක මැඩපවත්වන්න වෙන්නේ නෑ.මොකද එස්.ටී.එෆ් එකේ අය ඇතුළට වෙඩි තිබ්බා. කතා කරලා සමථයකට එද්දීම ඇතුළට කඳුලූ ගෑස් ගැහුවා.

දැන් වෙලාව කීයට වගේ ඇති ද ?

ගොඩක් කළුවර වැටිලත් නෑ. කොහොම වුණත් ඒ වෙද්දි ආයුද ගබඩාව කඩලා තිබුණේ නෑ.සාකච්ජා දිගටම ගෙනියන්න වෙන්නේ නෑ. ඒ හිරකරුවනුත් අපිත් අතර විශ්වාසය ඒ එක්කම නැති වෙලා යනවා. ඒත් අපේ අය දෙවැනිපාරටත් සාකච්ජා කරනවා. මිය ගියපු මාලන් වගේ එලියට බැහැල කලබල කරපු අය එක්ක තමයි එතන දි මේ සාකච්ජා අපි පවත්වන්නේ. හිරකාරයො මේක නවත්වනව කියල ආරංචි වුණු ගමන් ම අර ආව අය කළේ තව කඳුලූ ගෑස් ගහපු එක.එවෙලෙ ඉඳන් හිරකාරයො කෑ ගහන්න පටන් ගන්නවා මුං අපට බොරු කරන්නේ කියලා.අපිත් කඳුලූ ගෑස් ප්‍රහාර කාගෙන ආයෙ එලියට එනවා.ඒ එද්දී තමයි හිරකරුවන් ගල් මුල් වලින් එලියට ගහන්න පටන් ගන්නේ.

ඇතුළෙත් බන්ධනාගාර නිලධාරීන් හිටියා නේද මේ සිදුවීම වෙන අතරතුර ?

ඔව්. අපේ අය කීපදෙනෙක් ඒ වෙලාව වෙදදී ඇතුළෙ හිර වෙලා වගේ හිටියා.කොහොම හරි අපි ආයෙත් පැය එකහමාරකට වගේ පස්සේ
හිරකරුවන් ටිකක් සංසුන් වුණාම යනවා ඇතුළට සාකච්ජා කරන්න. ගාමිණී ජයසිංහ මහත්තයත් තවත් නිලධාරීනුත් යනවා.අපට පේනවා ඒ වෙද්දී බොරැල්ල පොලීසියත් ඇවිත් එලියේ හිටියා.එදා ප්‍රධාන ජේලර් විදියට රාජකාරි කළේ යූ.බී වලිසුන්දර කියන මහත්තයා.හැබැයි එදා එයා නිවාඩු.ඒ වෙනුවට වැඩ බැලූවා බන්දුල සෙනෙවිරත්න කියන මහත්තයා.කොහොම හරි දෙවන සාකච්ජාව සිදු වෙද්දී අපි එතන හිරකරුවන් සමඟ කතා කරන දේවල් එලියට ගියා.මොකද අපිත් එක්ක එස්.ටී.එෆ් එකේ කීපදෙනෙකුත් ආවා.මේක කරනන් එපා නතර කරනන් කියද්දිම තමයි එලියෙන් ආයෙත් කඳුලූ ගෑස් ගහන්නේ. එතකොට තමයි හිරකරුවන් අපේ චමින්ද කියන විනය බාර ජේලර් මහත්තයෙකුගේ ඔලූවට ගලකින් ගහන්නේ උඹල අපට බොරු කරනවා කියලා.ඒක වෙන්නේ දැන් මුරකුටිය තියෙන තැන දී.අපි එලියට එනකොටම තමයි හිරකාරයො වහල උඩට නගින්නේ.

මේ සිදුවීම මාධ්‍යයේ පළ වෙනවා.බන්ධනාගාර නිලධාරීන් සහ ආරක්ෂක අංශ අතර මත ගැටුමක් ලෙස එතන දී මාධ්‍ය වාර්තා කළා. මොකද්ද වුණේ ?

අර ජේලර් එලියට අරගෙන එනවා.ඒත් එයාව යවන්න ඇම්බියුලන්ස් එකක් නෑ. බන්ධනාගර උසස් නිලධාරිනුත් ඒ වෙද්දී මැගසින් එක පැත්තට ගිහින් සද්දයක් නැතුවම. එස්.ටී.එෆ් එකේ රණවන කියන උසස් නිලධාරියෙක් තමයි එතන හිටියේ.බන්ධනාගාර නිලධාරියෙක් අහනවා මෙහෙම සිදුවීමක් වෙද්දී ඇයි ඇම්බියුලන්ස් එකක් නොගෙනාවේ කියලා.එතන බහින්බස් වීමක් සිදු වෙනවා.කොහොම හරි ත්‍රී වීල් එකක දාල යැව්වා.ඒ වෙද්දී හිරකරුවන් කීපදෙනෙක් පවා තැන තැන වැටිලා අමාරුවෙන් හිටියත් ගෙනියන්න කවුරුවත් උත්සාහ කළේ නෑ.

මේ වෙලාවෙදී ද බන්ධනාගාරය ඇතෙළේ ඉඳලා එලියට ආපු ත්‍රී රෝද රථයකට වෙඩි තබන්නේ ?

ඒ වෙද්දී කළු වර වැටිලා.ඒ විතරක් නෙමෙයි වැලිකඩ බන්ධනාගාරය ඇතුලේ විදුලිය විසන්ඳි කරලා.ප්‍රධාන ගේට්ටුවේ ඉඳලා තමයි ඔය කියන ත්‍රී වීල් එක එලියට එන්නේ.එලියෙ ඉන්න එස්.ටී.එෆ් නිලධාරීන් දිගට හරහට ඒකට වෙඩි තියනවා.ඔය අතරෙදි තමයි එස්.ටී.එෆ් ලොක්කට වෙඩි වදින්නේ.

ඒ වෙඩි එනේනේ බන්ධනාගාරය ඇතුළෙන් ද නැත්තම් එලියෙන් ද ?

මම හිතන්නේ අර ආපු ත්‍රී වීල් එකෙන් තමයි ඒ වෙඩි ආවේ.ඒ අය පැනලා යන්න ආවා කියලත් කියනවා.ඇතුළෙ දි වෙඩි වැදිලා තුවාල වුණු අය ගෙනියන්න ආවා කියලත් කියනවා.නමුත් ඒකෙන් තමයි වෙඩි පිට වෙන්න ඇත්තේ.ඒක හරියටම කියන්නත් අමාරුයි.ඒ සිදුවීම යූ ටියුබ් එකේ තියෙනවා.හිතාගන්න අමාරුයි ඒ වෙඩි එන්නේ ත්‍රී වීල් එකෙන් ද එස්.ටී.එෆ් එකේ එකක් ද කියලා.

මේ වෙද්දි බන්ධනාගාරයේ සහ ඒ අවට වටපිටාව මොන වගේ ද ?

මේ වෙද්දී වටේම කළුවරයි. රෑ නමය වගේ වෙලා ඇති.කොහොම හරි මේ වෙලාව වෙද්දී මුළු වැලිකඩ ප්‍රදේයටම විදුලයි විසනධි කරලා.අපිත් ඒ වෙලාවේ බන්ධනාගාරය ළඟම ඉන්නේ නැතුව ටිකක් එහාට ගියා.

විදුලිය විසන්ධි කරන්නේ කවුද ?

ඒවා ක්‍රියා විරහිත කරන්න නම් කවුරු හරි ඉහළ කෙනෙක අණ දෙනන් ඕන.එච්චරටම සංවිධානාත්මකව තමයි මේ සිදුවීම සිදු වුණේ.ඒ වෙද්දී වටේටම වෙඩි තියනවා.අපිට ආරංචියක් ආවා අපේ අය ඇතුළේ තුවාල වෙලා කියලා.එස්.ටී.එෆ් එක කරපු වැඩ ඔක්කොම ෆේල් ඒ වෙද්දි. ඒත් එයාලගෙ ලොක්කටත් වෙඩි වැදිලා නිසා ඒ අය ගොඩක් තරහෙන් හිටියා කියලා පෙනුණා. එයාලගෙ ලොක්කට වෙඩි වැදුණා කියලා තුවක්කු ගත්තු මෝටර් බයිසිකල් කණ්ඩායමක් ඇතුළට යන්න හැදුවා එවෙලෙ. එවෙලෙ අපි යන්න දෙනේන් නෑ.මොකද එහෙම එයාලා ගියා නම් අනිවාර්‍යයෙන්ම සීයක් එකසිය පණහක් වගේ ඇතුළෙ දී මැරෙන්න ඉඩ තිබුණා. අපි බන්ධනාගාරයේ ආරක්ෂාව බලන්න ඕන.ඒ වගේම සිරකරුවන් ආරක්ෂා කරන එක අපේ වගකීම.එතන නියෝග දෙන්න අපේ ඉහළ නිලධාරීන් හිටියේ නෑ. ඒ වෙද්දි හිටියේ තරුණ නිලධාරීන් පහක් හයක් වගේ පිරිසක්. අපිට ඇතුළට යන්න දීපියව් කියලා එස්.ටී.එෆ් එකේ අය කෑ ගැහුවා.නමුත් යන්න ඉඩ දුන්නේ නෑ අපි.

මෙතනට යුද හමුදාවෙ සහ පොලසීයි එන්නේ මොන වෙලාවෙ ද ?

මේ වෙලාව වෙද්දි බේස්ලයින් පාර වහලා තියෙන්නේ.ආරක්ෂක අංශ ඇරෙන්න වෙන කවුරුවත් ඒ අවට නෑ. ඔය අතරේ අනුර සේනානායක ඇවිල්ලා හිටියේ.ඒ අය බන්ධනාගාර ගේට්ටුවයි ඊට මෙහා තිබුණ බැරියර් එකයි අතර සාකච්ජාවක් ගියා. එවෙලෙ අනුර සේනානයක කිව්වා ඔයාල යන්න අපි දැන් ආමි එකයි කමාන්ඩෝස්ලයි ගේනවා කියලා.ඒ වෙද්දි ඒ අය ඇවිත් හිටියේ. අපිට ඇතුළෙ ඉන්න නිලධාරීන් ෆොන් එකට කතා කරලා කිව්වා වෙඩි වැදිලා අමාරු අය කීපදෙනෙක් ඉන්නවා, රෝහල් ගත කරන්න ඕන කියලා.පස්සේ අපි කීපදෙනෙක් ඇතුළට ගිහින් ඒ අයව අරගෙන එලියට ආවා.

ඒ එද්දි බන්ධනාගාරය ඇතුළේ මොනවාද දකින්න තිබුණේ ?

අපි දැක්කා බන්ධනාගාර තාප්ප වල තියෙන ආරක්ෂක ටැලට් උඩට කමාන්ඩෝ එකේ අය ආයුද එක්ක නගිනවා.ඒ වගේම බන්ධනාගාරය ළඟ තියෙන මුද්‍රණ දෙපාර්තුමේන්තු ගොඩනැගිල්ලට,ඒ අවට තිබුණු උස කුලූ නු වලට ස්නයිපර් තුවක්කු එක්ක හමුදාවෙ අය නැග්ගා.අපි එලියට එද්දී දැක්කා බන්ධනාගරය ඇතුළේ තැන තැන බොඞීස් වැටිලා තිබුණා.

එස්.ටී.එෆ් එකේ අය කොහෙද හිටියේ මේ වෙලාව වෙද්දි ?

ඒ වෙද්දි එස්.ටී.එෆ් එකේ අයව විත්ඩ්‍රොව් කරලා.ආමි එකේ බෆල් හතරක් ආවා. බන්ධනාගාරය තනිකරම ආමි එකයි, අනුර සේනානායකයි යටතේ තමයි තිබුණේ. මේවා වෙනකොට ඊලඟ දවසේ පාන්දර දොළහට එකට වගේ ඇති. ඒ අතරෙ මැගසින් එක ඉස්සරහ නිලධාරී නිල නිවාසෙක කොඩිප්පිලි මහත්තය, ගාමිණී ජයසිංහ මහත්තය, සාකච්ජාවක් තිබ්බා.

හමුදාව බන්ධනාගාරයට යනව ද ?

ඔව්. වලිසුන්දර මහත්තයත් එතකොට ඇවිත් හිටියේ.බෆල් දෙකක් මුලින්ම ඇතුළට ගියා වෙඩි තියාගෙනම. අපි කීපදෙනෙකතුත් ඒ පසේසන් ඇතුළට ගියා.එතන සිවිල් ඇඳුමෙන් ආව ආරක්ෂක අංශයේ නිලධාරී මට්ටමේ කීපදෙනෙක් හිටියා. මූණු වලින් ඒ අය අඳුනන්නේ නෑ. නමුත් එයාල ජංගම දුරකථන වලින් ඉහළ නිලධාරීන්ට කතා කරපු විදියෙන් තේරුණා ඒ අයත් ඉහළ නිලධාරීන් කියල.

එතනින් එහාට මොකද වෙන්නේ ?

අර බෆල් රථ දෙකෙන් එකක් යනවා චැපල් වාට්ටුව පැත්තට. අනිත් එක එල් හෝල් එක ළඟ නතර කරනවා. ඊට පස්සේ සිවිල් ඇඳගත්තු හතරදෙනෙක් එක්ක කමාන්ඩෝ සෙබලූ දහදෙනෙක් වගේ මුලින්ම මාව එක්කගෙන යනවා වයි.ඕ සෙල් එක පැත්තට. ඒකෙ තට්ටු දෙකේ හෝල් එකක්. ඒකෙ රඳවලා ඉන්නේ තරුණ වරදකරුවන්. උඩ තට්ටුවේ ලාබාල අය. යට ඉන්නේ විශේෂ මට්ටමේ අය. මේ යන කණ්ඩායම දන්නේ නෑ බන්ධනාගරය ඇතුළේ පිහිටීම. ඒක නිසා එහෙම යන්න කලින් එස්.පී මහත්තයගෙ කාමරේට එන මේ අය වලිසුන්දර මහත්තයට කිව්වා තාම වයි.ඕ සෙල් එක ක්ලියර් කරගෙන නෑ, ඒකට අපිව එක්කන් යන්න බන්ධනාගාර නලිධාරියෙක ඕන කියලා. ඒ නිසා තමයි මාව ඉස්සර කරගෙන ඒ අය යන්නේ.

ඒ අයගේ අතේ තුවක්කුවට අමතරව මොනවද තිබුණේ ?

නම් ලැයිස්තුවක් අරගෙන තමයි මගේ පස්සෙන් ආවෙ.මට ටෝච් එකක් අතට දීලා ඒ අය වටේටම වෙඩි තියන ගමන් තමයි වයි.ඕ සෙල් එකට ගියේ.ඒ කමාන්ඩෝ අය ඔක්කොම අර සිවිල් ඇඳගත්තු අයට කතා කළේ සර් කියලා.ඒ නලිධාරීන් ෆෝන් එකෙන් වෙනත් කොහේ හරි ඉඳපු ඊට ඉහළ නිලධාරියෙකුගෙන් තමයි උපදෙස් ගත්තේ. ඒ අතර අර වටේ ඉන්න හමුදාවෙ අය වෙඩි තියද්දි මේ කණ්ඩායම ටෝච් එකෙන් සඥාවක් දුන්නා අපි ආමි එකෙන් කියලා. එහෙම තමයි වයි.ඕ සෙල් එකට මුලින්ම ගියේ.

වයි.ඕ සෙල් එකේ තත්ත්වය මොන වගේ ද එවෙලෙ තිබුණේ ?

ඒ සෙල් එකට යද්දි ඉබ්බො දාලා. මට හොඳින් කතා කරලා එක්කන් ආවත් එවෙලෙ ඉඳන් මට කෑ ගහල බය කළා. කෝ යකෝ මේකෙ යතුරු මේක ඇරපන් කියලා කෑ ගැහුවා. මගේ ළඟ ඒවයි යතුරු නෑ.මම ඒක කිව්වට පස්සේ කමාන්ඩෝ එකේ සෙබළෙක් වෙඩි තියලා ඉබ්බා කැඩුවා.එතන දී ඒ අය අර මම කලින් කිව්ව නම් ලැයිස්තුවක් ලියපු කොළ කෑල්ල අරගෙන ඒකට ටෝච් එක ගහල බැලූවා. තව කෙනෙක් ෆෝන් එකෙන් බැලූවා. මගෙන් ඇහුවා වයි.ඕ එකේ ඔක්කොම ඉන්නවද කියලා බලන්නේ කොහොම ද කියලා. ඒක බලන්න ලොකේෂන් කාඞ් එක කියලා කාඞ් එකක් තියෙනවා. එක සෙල් එකට එක ගානෙ.ඒකෙ නම එක්ක හිරකරුට අංකයක් තියෙනවා.විශේෂ අවස්ථාවක් ආවොත් එවෙලෙට ඒකෙ තියෙන නම කියෙව්වම හිරකරු එයාගෙ අංකය කියනවා. මම එහෙම නම් කියද්දී ඒ අය සමහරුන්ව වෙන් කළා එහාට වෙයන් පරයා කියලා කෑ ගහන ගමන්. හතර පස් දෙනෙක් ඒකෙ අඩුවෙන් හිටියේ. ඔය අතරෙ උඩ තට්ටුවට ගිහින් එයාලට ඕන වුණු එක හිරකාරයෙක්ව කොන්ඩෙන් අල්ලල ඇදගෙන ආවෙ බිම දිගේ.එයාට හොඳටම ගහලා තිබුණා. පඩි පෙළ දිගේත් පහළට ඇදගෙනමයි ආවේ. ඊට අමතරව වයි. ඕ සෙල් එකේ හැංඟිලා හිටපු සහ බයට ඇවිත් ඉඳපු අයත් කීපදෙනෙක්ව ආ උඹත් ඕන උඹත් ඕන කියල අර ලැයිස්තුව බලලා තෝරලා අරගත්තා. එතන දි ඒ අයට හොඳටම ගැහුවා.

එහෙම අරගත්තායින් පසුව කොහේටද ඒ අයව ඔබ එක්කන් ගියේ ?

ඊට පස්සේ මට කිව්වා එල් හෝල් එකට එක්කන් යන්න කියලා.

එල් හෝල් එකේ මොන වගේ අය ද ඉන්නේ ?

ඒ වෙද්දී හිටියෙ සැකකරුවන්. දැන් නම් ඉන්නේ මරණ දඬුවම නියම වුණු අය සහ ඇපීල් කරන අය.කොහොම වුණත් ඒ වෙලාවේ ඒකෙ හිටියේ මේ රටේ ලොකුම සැකකරුවන්. ඔය අතරෙදි මට ඇහෙනවා සැරින් සැරේට වෙඩි හඬවල්. මම මුලින්ම යන්න බෑ කියනවා එල් වාට්ටුව පෙන්නන. මට එවෙලෙදි ඔලූ වට පිස්තෝලයක් තියලා අර සිවිල් හතරදෙනාගෙන් එක්කෙනෙක් කියනවා උඹ අපි කියන දේ කරපන් කියලා.පස්සේ ඒකට සමාව ගත්තා. මල්ලි එවෙලෙ එහෙම කළේ හිරකාරයින් බය කරන්න ඒක ගණන් ගන්න එපා කිව්වා. කොහොම හරි වයි.ඕ එකේ ඉන්න ඕන කෙනෙක් එල් හෝල් එකේ ඉඳල අහු වෙලා මුලින්ම ගත්තා. අරගෙන ගහල එක්කන් ගියා. එතනදි තමයි මම දැක්කේ ඒ අයට වෙඩි තබනවා.

ඒ සිද්ධිය විස්තර කළොත් ?

ඒ අය ඕන අයව ඇදගෙන අරන් ගියා. මට කිව්වා අහක බලා ගන්න කියලා. මට දිගටම ඇහුණා සැරින් සැරේට වෙඩි එක දෙක තියනවා. කර්මාන්ත අංශය ගාවට කළු තුෂාරව එක්කන් ගිහින් තිබුණා. එතන දි කළු තුෂාරව ලණු කෑල්ලකින් වගේ දේකින් බැඳලා දාලා තිබුණේ.මට ඇහුණා මට දරුවෝ ඉන්නවා මාව මරන්න එපා කියලා කියනවා. පුස්තකාලය ළඟ බිත්තිය ගාව දණගස්සලා තුන්දෙනෙකුට වෙඩි තියනවා. එතන මට මතක විදියට මාලන්, අතපත්තු හිටියා. අවසානෙදි බලද්දි ගොඩක් අය මැරිලා හිටියා.

කෝට්ටේ හාමුදුරු දෙනම ඝාතනය කරපු හර්ෂ මංජු ශ්‍රී කොහෙද ඒ වෙලාවේ හිටියේ ?

මංජු ශ්‍රී මීට කලින් දවසක උසාවි ගිහින් බන්ධනාගාරයට ගෙන ආවා. එහෙම ගෙනත් බන්ධනාගාර නිලධාරියෙකු විසින් බන්ධනාගාරය ඇතුළෙ ඉනන් වෙනත් නිලධාරියෙකුට බාර දෙන්න ඕනෑ සෙල් එකට ගෙනියන්න. ඒ දවසෙ මට බාරව තිබුණා මංජු ශ්‍රීව ගෙනියන්න. මම ඇහුවා ඇයි කඩුවක් ගන්න කෝට්ටේ හාමුදුරු දෙනම ඝාතනය කළේ, කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා. එවෙලෙ ඔහු කිව්වා සර්ටවත් මට දැන්ම කියන්න බෑ ඒත් මම ඊළඟ නඩු විභාගයේ දී ඇත්ත ඔක්කොම නඩුකාරයා ඉස්සරහ පාපොච්චාරණය කරනවා කිව්වා. අපේ අයත් ගොඩක් ඒක දැනගෙන හිටියා. කොහොම හරි ඒ සිදු වීමට පස්සේ තමයි මේ සිද්ධිය වුණේ. එදා රෑ මංජු ශ්‍රීව හොයනවා. පස්සේ චැපල් එකේ ඉඳලා එයාව අරගෙන එන්නෙත් අර පුස්තකාල ගොඩනැගිල්ල ගාවටමයි. මංජු ශ්‍රීව මරල තබ්බෙත් එතනදි. උක්කුවා කියලා හිරකාරයෙකුත් ඒ එක්කම හෙව්වා. එයා කොහෙද කියලා ඇහුවාම මම කිව්වා එයා ඉන්නේ බන්ධනාගාර රෝහලේ කියලා. එතනටත් යන්න ඕන කිව්වා. එවෙලෙ මම බෑ කිව්වා. එදා එතනට ගියා නම් එතන ඉන්න කීපදෙනෙකුත් මරන්න ඉඩ තිබ්බා.

ඔය සිදුවීම් වලට අමතරව වෙන මොනවාද දැක්කේ ? බෆල් රථ වලට මොකද වුණේ ?

බන්ධනාගාරය ඇතුළේ මකර තොරණක් තියෙන තැනක් තියෙනවා. එතන නතර කරලා තිබුණ බෆල් රථයට කවුරුන් හෝ කීපදෙනෙක්ව පටවගත්තා.පටව ගත්තා කිව්වේ ඒ අයව ඒකට නුහුරු විදියට නග්ග ගත්තා.

පණ පිටින් ඉන්න අයව ?

ඔව්. මගේ ඇස් දෙකෙන් මම ඒක දැක්කා.බෆල් එකට පැටෙව්වේ කවුද කියලා අපි කවුරුවත් දන්නේ නෑ. කරුවලට ඇස් හුරු වෙලා තිබුණේ.මොනවා හෝ රෙදි වර්ගෙකින් වහලා වගේ ඒ අයව පටවගත්තේ. ඒකෙ ආව හමුදාවේ අයත් එළියට බැස්සා.

ඒ බෆල් රථ වලට නග්ගනවා වගේ දැක්කේ ඒකෙ ආව හමුදාවෙ අය වෙන්න බැරි ද ?

හරි ඒක එහෙමයි කියමු.ඇයි ඒ අයව වහගෙන නග්ග ගත්තේ. මම අනුමාන කරන්නේ කවුරු හරි විශේෂ පිරිසක් තමයි එහෙම අරගෙන යන්න ඇත්තේ.

මේ සිදුවීමෙන් පස්සේ බලද්දී එහෙම රැඳවියන් අඩු නම් හමුන්වෙන්න ඕනෑ නේද ?

ඔව්. බන්ධනාගාරය ඇතුළේ එහෙම වෙන්න බැහැ. ලොකට් අලුතෙන් හදලා මොකක් හරි කරන්න පලුවන්.මෙන්න මේ මේ අයව වැලිකඩ බන්ධනාගාරයේ ඉන්නවා කියලා උසාවි පොත්වල ලියවිලා තියෙනවා. අපේ බන්ධනාගාර ගේට්ටු පොත් වල ලියවිලා තියෙනවා.ලොකේෂන් කාඞ් එකේ ලියවිලා තියෙනවා. එහෙම තැන් කීපයක ලියවිලා තිබුණත් ඒක එහෙම වුණා.අදටත් ඒක හොයාගන්න බෑ.
ඉරුදින 29.01.2017

Archive

Latest news

Related news