වික්ටර් අයිවන්ගේ මූලිකත්වයෙන් දියත්ව ඇති සාමාජික සාමාජිකාවන් දශ ලක්ෂයක් ඉලක්ක කර ගත් පුනරුද ව්‍යාපාරයේ දර්ශණය පහත දැක්වේ. එය ලියා පළ කරක ලද්දේ ද වික්ටර් අයිවන් විසිනි.
1. 2009 වසරේදී පැවති දීර්ඝකාලීන යුද්ධය අවසන් වන විට එතෙක් රටේ පැවති ප්‍රචණ්ඩ ගැටුම් නිසා ශ්‍රී ලංකා සමාජය සේ ම ශ්‍රී ලංකා රාජ්‍යයද කිසියම් විශාල ප්‍රමාණයකට සුන්බුන් ගොඩක් බවට පත්ව තිබුණි. සමාජය හා රාජ්‍යයද රාජ්‍යයේ සියලු ආයතන ක්‍රමද දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්ව තිබුණි.
2. ලංකාවට නිදහස ලැබී අවුරුදු 30කට පසුව තවත් අවුරුදු 30ක් පමණ කාලයක් මුලදී විටින් විටද පසුව එක දිගටද පැවති ප්‍රචණ්ඩ ගැටුම් නිසා සමාජයට දීර්ඝ කාලයක් දිවි ගෙවන්නට සිදුවී තිබුණේ අවලස්සන සිදුවීම්වලින් ගහණ මරණ බිය දනවන අශීලාචාර වටාපිටාවකය. මිනිසුන් ඝාතනය කිරීම, ඔවුන්ගේ විකෘති කළ මළසිරුරු ප්‍රදර්ශනය කිරීම, සමහරවිට මරා දමන ලද මිනිසුන්ගේ බෙලි කපා ඔවුන්ගේ ඔළු කෝටුවල ගසා ප්‍රදර්ශනය කිරීම, වධකාගාර වැනි දේවල් ඉතාමත් සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්ව තිබුණේය.
3. සිංහල දෙමළ කැරලිකරුවන්ගේ හැසිරීම කුරිරු වූ අතර එම කැරලි මර්දනය කිරීම සඳහා ආරක්ෂක හමුදා යොදාගත් ක්‍රමවේදයද කුරිරු විය. ගැටුම් පැවති දීර්ඝ කාලය රටේ ක්‍රෑරත්වය රජ කළ බිහිසුණු හා අවලස්සන කාලයක් ලෙස සැලකිය හැකිය.
4. සිංහල දකුණෙන් ආරම්භ වී දෙමළ උතුරෙන් අවසන් වූ ප්‍රචණ්ඩ ගැටුම් නිසා ලක්ෂයකට වැඩි පිරිසක් මරණයට පත්වූහ. තවත් විශාල පිරිසකට උන්හිටි තැන් අහිමි විය. වදහිංසාවන්ට ලක්වූ අයගේ ප්‍රමාණයද අතිවිශාලය. ආරක්ෂාව සඳහා රටින් පලාගිය අයගේ සංඛ්‍යාවද ලක්ෂ ගණනකි. ආබාධිතයන් බවට පත්වූ අයගේ සංඛ්‍යාවද විශාලය.
5. මෙසේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩ රළ පහරට හසුවී සමහර දේවල් මුළුමනින් විනාශ වන විට විනාශ නොවී ඉතිරි වූ හැම දෙයක්මත් විකෘති වී දූෂිත වී ජරපත් තත්ත්වයකට පත්ව තිබුණේය. කායික වශයෙන් විනාශ නොවී ඉතිරි වූ මිනිසුන් ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වූ මිනිසුන් බවට පත්ව තිබුණි. සාරධර්මද, විචාර බුද්ධියද අහිමි කරගත් ආත්මාර්ථකාමී හා මිථ්‍යා විශ්වාසයන්ගෙන් ඔළු කුණු කරගත් මිනිසුන් බවට පත්ව තිබුණි. ඒ නිසා සමාජයද දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්ව තිබුණි.
6. එම අවලස්සන හා බිහිසුණු සමාජ වටාපිටාව තුළ නීතිය ක්‍රියාත්මක කරවන හා නීතිය පසිඳලන ආයතන ක්‍රමද ඇතුළුව රාජ්‍යයේ සියලු ආයතන ක්‍රම දූෂිත අකාර්යක්ෂම හා මිනිසුන් පීඩාවට පත් කරන ජරපත් ආයතන ක්‍රම බවට පත්ව තිබුණි. ශ්‍රී ලංකා රාජ්‍යයද චෞර පරපීඩාකාමී මාංශ භක්ෂක රාජ්‍යයක් බවට පත්ව තිබුණි.
7. අභ්‍යන්තර යුද්ධය අවසන් වීමෙන් පසුව රටේ මේ සා විශාල විනාශයක් ඇතිවූයේ ඇයිද යන්න සොයාබැලීමේ යුතුකමක් දේශපාලනඥයන්ට තිබුණත් ඒ සඳහා අවශ්‍ය කරන හොඳ සිහිය හෝ විචාර බුද්ධිය ඔවුන්ට නොතිබුණේය. මියගොස් තිබුණු සියලුදෙනා එනම් ජේවීපීකාරයන්, එල්ටීටීඊකාරයන් හා හමුදාකාරයන් යන සියලුදෙනා මේ රටේ දූදරුවන්ය යන සත්‍යය තේරුම් ගැනීමට හා සුන්බුන් ගොඩක් බවට පත්ව තිබුණු සමාජය හා රාජ්‍යය නැවත ප්‍රතිනිර්මාණය කරගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ඔවුන්ට නොතිබුණේය.
8. රටේ ඇතිවූ දැවැන්ත විනාශය කෙරෙහි බලපෑ ප්‍රධානම සාධකය ලෙස සැලකිය හැක්කේ ධනේශ්වර ක්‍රමයකට පරිවර්තනය වීමෙන් පසු ඇතිවන ජාතික රාජ්‍යයේ යහපැවැත්ම නැතිවම බැරි ජාතිය ගොඩනගා ගැනීමට අසමත් වීමය.
9. නූතන අර්ථයෙන් සිංහලයන්, දමිළයන් හා මුස්ලිම්වරුන් වර්ග වශයෙන් මිස ජාතීන් ලෙස සැලකිය නොහැකිය. නූතන අර්ථයෙන් ජාතිය ලෙස සැලකෙන්නේ ජාතික රාජ්‍යයන් තුළ ජීවත් වන සියලු වර්ගවලට, කුලවලට හා ආගම්වලට අයත් සියලු ජනයාටය. එහෙත් යුරෝපා රටවල මෙන් නොව, ලංකාව වැනි යටත්විජිත රටවල ජාතිය ඉබේ ඇතිවන දෙයක් නොව ගොඩනගා ගත යුතු සංකීර්ණ දෙයකි.
10. ජාතිය ගොඩනගා ගත හැක්කේ එම ජාතියට අයත් ජනයා අතර වර්ගය, කුලය හා ආගම නිසා ඇතිවී තිබෙන උස් පහත් භේද නැති කොට ඒ සියලුදෙනා සමාන අයිතිවාසිකම් හා සමාන මනුෂ්‍ය ගෞරවය ඇති අය බවට පත් කර ගැනීමය.
11. කුලභේදය මත පදනම් වූ උසස් පහත් භේදයක් ඇතිවිට එම උස් පහත් භේදය නැති කොට ඒ සියලුදෙනා සමාන මනුෂ්‍ය ගෞරවය ඇති මිනිසුන් බවට පත් කළ යුතුය. වර්ගය හා ආගම මත තිබෙන බෙදීම්වලදී සියලු වර්ග හා සියලු ආගම් සමාන ගෞරවය හා සමාන අයිතිවාසිකම් ඇති සහජීවනයෙන් ක්‍රියා කරන වර්ග හා ආගම් බවට පත් කළ යුතුය. ජාතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කළ හැකි දෙයක් නොවන අතර එය බලවත් මතවාදී ව්‍යාපාරයක් ඔස්සේ ඇතිකර ගත යුත්තකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් කළ හැක්කේ එසේ ගොඩනගන ලද ජාතියට නෛතික පදනමක් ලබාදීම පමණය.
12. ඉන්දියාවේ නිදහස වෙනුවෙන් පෙනීසිටි නායකයන්ට වෙනස්ව ලංකාවේ නිදහස වෙනුවෙන් පෙනී සිටි නායකයන්ට ජාතික රාජ්‍යය පිළිබඳව හෝ එම ජාතික රාජ්‍යයේ යහපැවැත්මට අවශ්‍ය ජාතිය පිළිබඳව හෝ නිසි අවබෝධයක් නොතිබුණි. ඉන්දියානු නායකයෝ ඉන්දියානු නිදහස් අරගල ව්‍යාපාරය තුළ ‘ඉන්දීය ජාතිය’ ගොඩනැගූහ. එහෙත් එවැනි දෙයක් ලංකාවේ සිදු නොවීය.
13. නිදහස ලැබීමට ආසන්න කාලයේදී ලැබෙන්නට යන නිදහස ගැන ඇති කරගත් බලවත් සැකයක් සුළු වාර්ගික නායකයන්ට සේ ම පීඩිත කුලවල නායකයන්ටද තිබුණි. නිදහස ලැබීමෙන් පසු සිංහල මහා වර්ගයට ලොකු දේශපාලන ආධිපත්‍යයක් ලැබී සුළු වර්ග පීඩාවට පත් කරන තත්ත්වයක් ඇතිවනු ඇතැයි කියන බිය සුළු වර්ග නායකයන්ට තිබුණි. නිදහස ලැබීමෙන් පසු ගොවිගම හා වෙල්ලාල කුලවලට ලොකු ආධිපත්‍යයක් ලැබී තමන් පීඩාවට පත් කරන තත්ත්වයක් ඇතිවනු ඇතැයි කියන බියක් පීඩිත කුලවල නායකයන්ට තිබුණි. මේ නායකයෝ දෙපිරිසම වෙන් වෙන්ව පළමුව ඩොනමෝර් කොමිසම වෙතත් දෙවනුව සෝල්බරි කොමිසම වෙතත් යමින් තමන් තුළ ඇතිවී තිබෙන එම බිය සැක එම කොමිෂන් සභා දෙක වෙත පළකර සිටියෝය. එම කොමිෂන් සභාවලින් ඔවුන්ට ඔවුන්ගේ දුක්ගැනවිලිවලට ප්‍රමාණවත් තරමේ විසඳුමක් නොලැබුණි.
14. ලංකාව නිදහස ලබාගත්තේ ජාතිය ගොඩනගා ගැනීමකින් තොරවය. නිදහස ලැබීමෙන් පසුද ජාතිය ගොඩනගා ගැනීමක් සිදු නොවීය. ඒ නිසා සුළු වර්ගවලට පීඩිත කුලවලට හා සුළු ආගම්වලට අයත් ජනයා අතර පැවති අසහනය විසඳුමකින් තොරව පැවතුණි. බලයට පත්වන ආණ්ඩුවද ඍජු ලෙස හා අනියම් ලෙස ඔවුන් පීඩාවට පත් කළේය. ඒ නිසා වර්ධනය වෙමින් තිබුණු අසහනය මුලදී කලින් කල කෝලාහල සිදුවන බවට පත්වෙමින් අවසානයේ එම කැකෑරෙන අසහනය දිග්ගැස්සෙන ප්‍රචණ්ඩ ගැටුම් බවට පත්වී ලංකාව මහා පරිමාණයෙන් ලේ හලන රටක් බවට පත්විය.
15. එසේ සිංහල හා දෙමළ ප්‍රදේශවල ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් කෙරෙහි වර්ගය, කුලය හා ආගම යන සාධක බලපෑවේය. උතුරේ දෙමළ කැරැල්ලේ සිංහල විරෝධී අන්තර්ගතයක් තිබුණා සේ ම දකුණු සිංහල කැරලි දෙකේ ද දෙමළ විරෝධී අන්තර්ගතයක් තිබුණි. එසේම ඒ සියලු දෙමළ කැරලිවල පීඩිත කුල සාධකයක්ද තිබුණි. දෙමළ කැරැල්ල හා එය මර්දනය කිරීමේදී දෙමළ ජනයාට අතිවිශාල හානියක් ඇතිවූවා සේ ම එම කැරලි දෙකේදීම වැඩියෙන්ම පීඩාවට පත්වූයේද සිංහල දෙමළ පීඩිත කුලවල ජනයාය.
16. ඇතිවූ මේ මහා අර්බුදය තේරුම් ගෙන ප්‍රචණ්ඩ ගැටුම් ඇති කිරීමට බලපෑ හේතුන්ට පිළියම් කරන අතර එම ගැටුම් නිසා ජරපත් තත්ත්වයකට පත්ව තිබෙන සමාජය හා රාජ්‍යය නැවත ප්‍රතිනිර්මාණය කරන වැඩසටහනකින් මෙපිට මෙම අර්බුදය ජයගැනීමේ හැකියාවක් රටට නැත.
17. මේ යථාර්ථය තේරුම් ගැනීමට අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයා අසමත්ය. ඉන්පසු බලයට පත්වන නායකයන්ද එම යථාර්ථය නිවැරදි ලෙස තේරුම් ගෙන අවශ්‍ය විසඳුම ලබාදීමට අසමත් වී තිබෙන්නේයැ’යි කිව හැකිය. එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ රට අරාජික තත්ත්වයකට තල්ලු වන තත්ත්වයක් ඇතිවීමය.
18. පුනරුද ව්‍යාපාරයේ අරමුණ අරාජික තත්ත්වයක් ඇතිවීමෙන් සිදුවිය හැකි හානිය අවම කරන අතර රටට පුනරුදය උදාකර ගැනීමට අවශ්‍ය කරන බුද්ධිමය සමාජ වටාපිටාවක් ඇති කිරීමය.
19. පුනරුද ව්‍යාපාරය බලය අල්ලා ගැනීමට පොරකන තවත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වීමට අපේක්ෂා කරන්නේ නැත. ඒ වෙනුවට අපේක්ෂා කරන්නේ මහජනයා ජාලගත කරමින් ඔවුන්ට අධ්‍යාපනයක් ලබාදෙමින් ජාතිය ගොඩනගා ගැනීමට පුළුවන්කම ලැබෙන දූෂිත හා ජරපත් තත්ත්වයකට පත්ව තිබෙන සමාජය හා රාජ්‍යය නැවත ප්‍රතිනිර්මාණය කරගැනීමට හැකියාව ලැබෙන බුද්ධිමය සමාජ වටාපිටාවක් ඇති කිරීමය.
20. පුනරුද ව්‍යාපාරයේ අවම ඉලක්කය සාමාජිකයන් දස ලක්ෂයකි.
21. දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩ ගැටුම් නිසා සිංහල දෙමළ හා මුස්ලිම් හදවත්වල ඇතිවී තිබෙන තුවාල සුව කරමින් කුලභේදයෙන්, වර්ග භේදයෙන් හා ආගම් භේදයෙන් තොර, මිථ්‍යා විශ්වාසයන්ගෙන් තොර, විද්‍යාත්මකව, තර්කානුකූලව හා බහුත්වවාදී ලෙස කල්පනා කරන ගුණගරුක යහපත් හා සත්‍යගරුක මිනිසුන් දස ලක්ෂයක් ගොඩනගා ගත හැකි නම් ලංකාවට පුනරුදය උදාකරගත හැකි බව පුනරුද ව්‍යාපාරය විශ්වාස කරයි. සංවිධානාත්මක දස ලක්ෂයක ජනතාවට සෙසු ජනතාව කෙරෙහි ඇති කළ හැකි බලපෑම අතිවිශාලය. එවැනි සමාජ වටාපිටාවක් ඇතිකරගත් විට උත්තර නිර්මිතයද ඊට ගැළපෙන ලෙස වෙනස් වනු ඇත. නැතහොත් වෙනස් කර ගැනීමට හැකිවනු ඇත.
22. ඒ මගින් පුනරුද ව්‍යාපාරය උත්සාහ කරන්නේ පරණ සමාජය තුළ ඊට මුළුමනින් වෙනස් යහපත් හා දියුණු විකල්ප සමාජයක් ගොඩනැගීමය. එසේ ගොඩනගන විකල්ප සමාජය ප්‍රවර්ධනය කරගැනීම මගින් ජරපත් තත්ත්වයකට පත්ව තිබෙන පරණ සමාජය අතික්‍රමණය කිරීමය.
23. ඒ සඳහා යන දුෂ්කර හා සංකීර්ණ ගමනේදී මිනිසුන්ගේ ජීවිතවල ඇතිවන ප්‍රබෝධය විද්‍යාව, කලාව හා දේශපාලනය යන හැම අංශයකදීමත් නව නිපැයුම් හා නව නිර්මාණ ඇති කිරීමට හේතුවනු ඇති බව පුනරුද සමාජ ව්‍යාපාරය විශ්වාස කරයි. ජාතිය, නවීන රාජ්‍යය හා නවීන සමාජය ගොඩනැගෙනු ඇත්තේ ලක්ෂ ගණන් ජනයා අතර කෙරෙන එම නිර්මාණශීලී කතිකාව හරහාය.■
කාටූනය රාවය පුවත් පතිනි.