Saturday, April 27, 2024

දයාබර ජනපති, මම සමරිසි. මගේ ඡන්දය ආපසු දෙන්න.

මහින්ද රාජපක්ෂට අප ඡන්දය දුන් බව පිළිගැනීමට අප ලැජ්ජා වූ යුගයක් තිබිණි. එසේ වූයේ ඔහු පෙනී සිටි සියලු දේ සහ අලුත් ශ්‍රී ලංකාවක් වෙත යාම සඳහා ඔහුට නිර්මාණය කිරීමට අවශ්‍ය වූ මාවත කෙරෙහි අප විශ්වාසය පළකර තිබියදී ය. මෙයට මාසයකට පමණ පෙර විශේෂඥ වෛද්‍යවරයෙකු සමග මා හට දේශපාලන කතා බහක නිරත වීමේ අවස්ථාව උදා විය. එහිදී මට දැනගන්නට ලැබුණේ මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ද මෙයම සිදුවී තිබෙන බවයි. “තමන් සිරිසේනට ඡන්දය දුන්නා කියල කිසිම කෙනෙකුට පිළිගන්න උවමනා නෑ” යැයි ඔහු කීවේය. “මිනිස්සුන්ට ඒ ගැන හරිම ලැජ්ජයි”.
නමුත් මම ඒ ගැන ලැජ්ජා නොවෙමි.
සිරිසේනට ඡන්දය දුන් බව හෝ, එසේ කරන ලෙසට සෙස්සන්ට ද අවධාරණය කරන්නට ඔහුගේ ආණ්ඩුවට ශක්තියක් තිබූ බව පිළිගන්නට මම ලැජ්ජා නොවෙමි. සමාජ ජාල මාධ්‍යවලදී මම ඉතාම විවෘතව මේ ගැන කතා කළෙමි. තවද ශ්‍රී ලංකාවේ දේශපාලන සත්වයාගේ අභ්‍යන්තර කූට ප්‍රයෝගවල ගැඹුර මැන ගැනීමට අසමත් අය සමග මගේ දැක්ම මම බෙදාහදා ගතිමි. ඒ කාලයේ ‘යහපාලනය’ යැයි කියූ වෙනසේ මම චැම්පියන් කෙනෙකු වීමි. දැන්, බලයට පත්කිරීමේ වගකීම සම්පූර්ණයෙන් මා විසින් ගත් මේ මිනිසා මා වැනි අය සිටිනවාය යන්න පිළිගැනීම, සමරිසි පුරුෂයෙකු වශයෙන් මාගේ පැවැත්ම සහ  ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පුරවැසියෙකු වශයෙන් මාගේ පැවැත්ම පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි.
ඔහු කියමින් සිටින්නේ මා මේ ලෝකයට අපරාධකාරයෙකු වශයෙන් ඉපදුණු බව ය. ඔහු කියමින් සිටින්නේ මාගේ වටිනාකමක් නැති බව ය. ඒ නිසා මා දැන් ඔහුගෙන් ඇසිය යුතු වන්නේ එය ඇත්තක් නම්, මගේ ඡන්දයට තවමත් වටිනාකමක් තිබෙනවාද? එය අඩුම ගණනේ ගණන් කරනවාද? පුද්ගලයෙක් වශයෙන් ඔබ පිළිගැනීම ප්‍රතික්ෂේප කරන අයෙකුගේ ඡන්දයක් ගණන් කරන්නට ඔබට නීතියෙන් අවසර තිබෙනවාද? එය එවැනි තැනැත්තෙක් නැත යන්නට වඩා වෙනස් වන්නේද? මන්ද ඔහු ඒ ගැන කියන්නේ එසේ ය. ඔහුට ඡන්දය දුන් සියලුම සමරිසි ගැහැනුන් සහ පිරිමින්ට ඔහු කියමින් සිටින්නේ එය වන නිසා ය. එනම් අපව ගණන් නොගන්නා බව වන නිසා ය. එය ඇත්තක් නම්, මම ඡන්දය නැවත ගණන් කරන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටිමි. අපට කියන්න, අප ගණනින් කොතරම් සිටිනවාදැයි ඔබ දන්නේ නැතිනම්, ඔබ තවමත් අපගේ ජනපති යැයි ඔබට හොඳටම විශ්වාසද..?
සමලිංගිකත්වයේ සාපරාධී බව ඉවත්කිරීමට ගන්නා උත්සාහයන් මාධ්‍ය විසින් විස්තර කරන්නේ ”හොර රහසේ කරන ලද ඒවා” ලෙසට  ය. ඇත්තට..? මනුෂ්‍යයෙකුගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කළ යුත්තේ එසේ රහසිගතව ලොවට හොරෙන්ද? විශේෂයෙන්ම බුදුන් අනුකරණය කරන්නට පතන, අසහනය සහ ප්‍රචණ්ඩත්වයේ තර්ජන ගැන මහ හඬින් සහ අමු අමුවේ කතා කරන මේ බෞද්ධ රට තුළ..? 
සිරිසේන මහතා රජ රට ගැමි පසෙන් උපන් නියම පුතෙක් යැයි ජනතාව කියති. අපේ ශ්‍රේෂ්ඨ මව්බිමේ රජවරුන් වූ ඔහුගේ මුතුන්මිත්තෝ මගේ මුතුන්මිත්තන් බියවද්දන ආකාරයේ සමලිංගික චර්යාවන්වලට සම්බන්ධ වී සිටියහ. මම මෙකී ‘සැබෑ ශ්‍රී ලාංකිකයන්’ විසින් මෙයට වසර 69 කට පෙර පන්නා දමන්නට මහත් වෙහෙසක් ගත් සුදු ජාතිකයන්ගෙන් පැවතගෙන එන්නෙක් වන්නෙමි. නමුත් ඒ මිනිසුන් පමණක් පිටව යාම අනුකම්පා සහගත දෙයකි. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, නිලධාරී ක්‍රමය, ඔවුන්ගේ භාෂාව, සහ  (දැන් පෙනෙන්ට තිබෙන) ඔවුන්ගේ සංස්කෘතිය යන මේ සියල්ලම මේ රටෙන් පිට නොවී නතර වුණේය. මේ අනුව සලකා බලන විට සිරිසේන මහතා තමන්ගේම උරුමයට සංස්කෘතික වශයෙන් සුදුසුකම් නොලබන පුද්ගලයෙක් වන අතර ඔහු ඒ පිළිබඳ දන්නේ ද නැත. ඉතින් ඔහු, මා විසින් බලය යොදා පත් කළ තැනක වාඩි වී සිටිමින් බලය පෙන්වමින් මට කියන්නේ ඔහු මාව පිළිගන්නේ නැති බව ය.
හොඳයි මැතිතුමනි, මා ඔබව පිළිගන්නේ නැති බව ඔබට කියන ප්‍රථමයා බවට පත්වන්නට මට ඉඩ දෙන්න. මගේ රටවැසියෙක් වශයෙන් මා ඔබව පිළිගන්නේ නැත. මගේ ජනාධිපති වශයෙන් මා ඔබ ව පිළිගන්නේ ද නැත.  
DEAR MR. SIRISENA, I’M GAY, AND I WANT MY VOTE BACK ලිපියේ පරිවර්තනයකි. – lankanewsweb

Archive

Latest news

Related news