Thursday, March 28, 2024

අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’වාර්තාව අනුව වීරවංශ වාහන දානයේ සම්පූර්ණ ලැයිස්තුව

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40ක් අවභාවිත කිරීම සම්බන්ධ චෝදනා යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්තී‍්‍ර, විමල් වීරවංස මහතා දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ඔහු සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’වාර්තාවෙන් ඔහු කවර ආකාරයෙන් එම වාහන අවභාවිත කෙළේදැයි පැහැදිලි වෙයි. එම ‘බී’වාර්තාවේ උපුටනයන් මෙසේය.

2011 වර්ෂයේදී සිදු කරන ලද විගණන වාර්තාව අනුව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් කුලී පදනම මත ලබාගත් වාහන 40ක් සංස්ථාවේ වැඩබිම්වල පාවිච්චියට නොගෙන වෙනත් කාර්යයන්වල යෙදවීම සම්බන්ධයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති, මයිකල් එමිල් ජොයකිම් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත යොමු කරන ලද පැමිණිල්ලක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත යොමුකිරීමෙන් අනතුරුව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලදී.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප‍්‍රධාන අභ්‍යන්තර විගණක ප‍්‍රභාත් කුරුවිටගේ අංක විගණන වාර්තාවට අනුව වාහන 40ක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත කුලී පදනම මත ලබාගැනීම ප‍්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුව සිදුවී නැත. එම වාහන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කාර්යයන්වලට යොදාගෙනත් නැත. එහි වැඩබිම්වල සේවයට යොදවාත් නැත. එහෙත් වාහන සඳහා වාහන කුලිය, ඉන්ධන වියදම් හා රියදුරු වැටුප්, අතිකාල හා යැපීම් දීමනා වශයෙන් මුදල් ගෙවා තිබෙන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙනි. එසේ ගෙවන ලද මුදල් ආසන්න වශයෙන් රුපියල් මිලියන 41කට ආසන්න මුදලක්  එනම්, (රු. 41,074,947.33)ක් වන බව බී වාර්තාව කියයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ලබාගත් ඉංජිනේරු සංස්ථාවේ සහකාර ප‍්‍රවාහන කළමනාකරුගේ ප‍්‍රකාශය තුළින් අනාවරණය වුණේ, 2010 වර්ෂයේ සිට 2015.01.08 දක්වා කුලී පදනම මත පවරාගත් වාහන පුද්ගලයන් 58 දෙනෙකුගේ පාවිච්චිය සඳහා ලබාදී ඇති බවත්, ඒ පුද්ගලයන් අමාත්‍යවරයාගේ නිල නොවන කාර්ය මණ්ඩලයට අයත් බවත්, නිල නොවන කාර්යමණ්ඩලයේ පුද්ගලයන් දෙදෙනෙකු පාවිච්චි කළ වාහන සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් ඉන්ධන ලබාදීමට ක්‍රියාකර ඇති බවත්ය.

ඉහත ක්‍රියාදාමයට අනුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙතින් කුලී පදනම මත ලබාගන්නා ලද වාහන අතරින් වාහන 37ක් අමාත්‍ය කාර්යාලය වෙත ලබාදී ඇති බවටත් පරිබාහිර වාහන 5ක් සඳහා ඉන්ධන ලබාදීම් සිදුකර ඇති බවටත් විමර්ශන තුළින් අනාවරණය වී තිබේ. එලෙස වාහන පාවිච්චි කළ පුද්ගලයන්ට අදාළව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් වාහන කුලිය හා ඉන්ධන ලබාදී තිබේ.

අමාත්‍ය කාර්යාලය වෙත ලබාදී තිබූ වාහන අමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් පාවිච්චි කර තිබුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලදී.

මෙහිදී අනාවරණය වී ඇත්තේ අමාත්‍ය කාර්ය මණ්ඩලය තුළ කටයුතු කළ, එහෙත් වාහනයක් පාවිච්චි කිරීමට නිල වශයෙන් හිමිකම් නොදක්වන ලලිත් පුෂ්පකුමාර මහතා කළමනාකරණ සහකරුවෙකු වශයෙන් 2010 වර්ෂය තුළ වාහනයක් පාවිච්චි කර ඇති බවයි. 2012, 2013, 2014 වර්ෂයන් තුළ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ වාහනයක් පාවිච්චි කිරීමට නිල වශයෙන් හිමිකම් නොමැති ලලිත් පුෂ්පකුමාර, ඒ.එස්.එස්. මෙන්ඩිස් යන මහත්වරුද වාහන පාවිච්චි කර ඇති බවට විමර්ශන තුළින් අනාවරණය විය. එමෙන්ම විමල් වීරවංස මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වශයෙන් වාහන පාවිච්චි කිරීමට නීත්‍යනුකූල අයිතියක් තිබූ ප‍්‍රදීප් විජේසේකර සහ ප‍්‍රසාද් මංජු යන මහත්වරුන්, නිල වාහනය වශයෙන් රජයේ වාහනයක් පාවිච්චි නොකර අදාළ ඉන්ධන දීමනාව හා කුලී දීමනාව අමාත්‍යාංශය වෙතින් ලබාගනිමින් සිටියදී, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන 2ක් පාවිච්චි කර ඇති බවත් අනාවරණය විය. නීතියට අනුව මේ තත්ත්වය වංක චේතනාවෙන් කටයුතු කිරීමක් හැටියට සැලකිය හැකිය.

ඉතිරි වාහන යොදාගෙන ඇත්තේ කවර කටයුත්තක් සඳහා ද?

අනාවරණය වුණේ මෙලෙස ලබාදී ඇති වාහන ඉදිකිරීමේ ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංස විසින්, ඔහුගේ ළඟම ඥාතීන් වෙතද, පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් වෙතද, අමාත්‍යවරයාගේ ස්ථිර කාර්ය මණ්ඩලයේ නිලධාරීන් නොවන පරිබාහිරව බඳවා ගන්නා ලද නිලධාරීන් සඳහාද පාවිච්චි කිරීම සඳහා ලබාදී ඇති බවයි.

ලබාදී ඇති වාහන අතරින් හිටපු අමාත්‍ය විමල් වීරවංසගේ ළඟම ඥාතීන් වෙත ලබාදී තිබුණු වාහන සංඛ්‍යාව පහකි. වීරවංස මහතාගේ පක්ෂය වුණු ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරී පක්ෂ සාමාජිකයන් සඳහා වාහන 10ක් ලබාදී තිබුණි. ඒ අනුව පෙනෙන්නේ හරිහැටි ඡන්දදායක පදනමක් වත් නැති, ඉතාමත් කුඩා පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ පසුගිය කාලයේ ප‍්‍රවාහන පහසුකම් සපයාගෙන ඇත්තේ සම්පූර්ණයෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ අනුදැනුම මත මහජනතාවගේ බදු මුදලින් බවය.

ඉතිරි වාහන 22 අමාත්‍ය කාර්යමණ්ඩලය වෙත පිටතින් බඳවාගන්නා ලද, විවිධ තනතුරු දැරූ, වාහනයක් පාවිච්චි කිරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති නිලධාරීන් සඳහා ද ලබාදී ඇති බව අනාවරණය විය.

පවුලට සැලකූ හැටි

හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතාගේ ළඟම ඥාතීන් වෙතට ලබාදී ඇති බවට අනාවරණය වූ වාහන සහ එම වාහන පාවිච්චි කරන ලද පුද්ගලයන්ගේ විස්තර මෙසේය.

1.  විමල් වීරවංස මහතාගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ බාල පුතා වන රිද්ම විමුකිත් වීරවංස සඳහා අංක GO 4894 දරන වාහනය.

2.  විමල් වීරවංස මහතාගේ අක්කා වන සුමනාවතී වීරවංසගේ වැඩිමහල් පුතා වන ලලිත් පුෂ්පකුමාර සඳහා අංක GK 5073, KD 4089, KB 7053, KP 4802 දරන වාහන වරින් වර,

3.  විමල් වීරවංස මහතාගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ (වීරවංස මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ‘යූඑන්පියට ඡන්දය දුන් එවුන්ට දැන් සතුටුදැ’යි අසමින් බැන අඬගසන කෙටි හිසකෙස් සහිත කාන්තාව ඇයයි.) ස්වාමි පුරාෂයා වන බෝම්බුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාර සඳහා අංක KB 6038, HQ 4964, GR 5774, KI 4648, KA 7440 දරන වාහන වරින් වර.

4.  විමල් වීරවංස මහතාගේ බාල සහෝදරිය වන නිලානි වීරවංසගේ ස්වාමි පුරුෂයා වන පල්ලෙපේරු ගමගේ ආනන්ද ප්‍රියදර්ශන සඳහා අංක GY 4635 දරන වාහනය.

5.  විමල් වීරවංස මහතාගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශ සඳහා JN 8058 දරන වාහනය.

ඉහත ආකාරයෙන් ආණ්ඩුවේ වාහන පාවිච්චි කර ඇති රිද්ම විමුක්ති වීරවංස මහතා ඕෂන් වීව් ආයතනයේ ව්‍යාපෘති නිලධාරියෙකු වශයෙන් සේවය කළේය. ලලිත් පුෂ්පකුමාර මහතා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාරවරයෙකු වශයෙන් සේවය කළේය. බෝම්බුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාර මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප‍්‍රධාන අධිකාරී, ආරක්ෂක වශයෙන් ද, ආනන්ද ප්‍රියදර්ශන මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කළමනාකරණ සහකාරවරයෙකු වශයෙන් සහ ගබඩා පාලකවරයෙකු වශයෙන් ද කටයුතු කර ඇති බව අනාවරණය විය. මේ ලැයිස්තුව බලන විට, වාහන අවභාවිත කතාවට බාහිරව, වීරවංස මහතාගේ පවුලේ සෑහෙන සාමාජිකයන් පිරිසක් ඔහු අමාත්‍ය ධුරය දැරූ කාලයේ එම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල සේවය කර ඇති බවක් පෙනේ. ඒ මහත්වරුන් හතර දෙනා වාහන පාවිච්චි කළ හැකි නිලයන් නොදරමින් වුණත්, මෙලෙස වාහන පාවිච්චි කර ඇති බවට අනාවරනය විය. ඒ වීරවංස මහතාගේ දාන පාරමිතාව නිසාය. ඊට අමතරව වාහන පාවිච්චි කර ඇති නිලානි වීරවංස මහත්මිය කිසිදු රාජ්‍ය ආයතනයක තනතුරක් නොදරා ආණ්ඩුවේ වාහන පාවිච්චි කර තිබේ.

පක්ෂයට සැලකූ හැටි    

ලබාදී ඇති අනෙක් වාහන හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතාගේ පක්ෂ ක්‍රියාකාරීන් වන පියසිරි විජේනායක, ලාල් කුලරත්න, කේ.ඩී.යූ. ජයසේන, ඩබ්.බී.ඒ. ජයවර්ධන, එල්.සී. කුමාර, විරාජ් සංජීව, නුවන් ඉන්දික, පී.ඒ. විජේසිරි, චානක, නිශ්ශංක යන මහත්වරුන් වෙත ලබාදී ඇති බවට අනාවරණය වී තිබේ. ඒ ගැන විස්තර පහත පළවේ.

1.  ප‍්‍රවීණ රංගන ශිල්පී, ලාල් කුලරත්න මහතා HK 3377, KT 2884 දරන වාහන දෙක එකක් හැර එකක් වශයෙන් මාරුවෙන් මාරුවට.

2.  පියසිරි විජේනායක මහතා JN 5767, KK 3081, 64-3225, HA 2189, KA 4685 දරන වාහන එකක් හැර එකක් මාරුවෙන් මාරුවට

3.  කේ.ඩී.යූ. ජයසේන මහතා KO 5871 දරන වාහනය.

4.  ඩී.බී.ඒ. ජයවර්ධන මහතා KM 0882 දරන වාහනය.

5.  එල්. සී. කුමාර මහතා 54-5678 දරන වාහනය.

6.  විරාජ් සංජීව මහතා KT 6089 දරන වාහනය.

7.  නුවන් ඉන්දික මහතා KA 8125, 32-9390 දරන වාහන එකක් හැර එකක් මාරුවෙන් මාරුවට.

8.  පී.එස්. විජේසිරි හෙවත් දම්පාල මහතා HR 7619, HN 4098 දරන වාහන එකක් හැර එකක් මාරුවෙන් මාරුවට.

9.  චානක මහතා GI 0001 දරන වාහනය.

10.  නිශ්ශංක මහතා GF 0787 දරන වාහනය.

ඉහතින් සඳහන් කළ ලාල් කුලරත්න මහතා බස්නාහිරි පළාත් සභාවේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වශයෙන් ද, පියසිරි විජේනායක මහතා ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු වශයෙන් ද කටයුතු කොට ඇත්තේය. එල්.සී. කුමාර මහතා සීතාවක ප‍්‍රාදේශීය සභාවේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු වශයෙන් ද, පී.එස්. විජේසිරි මහතා ජනතා විමුක්ති පෙරමුණේ සිට ජාතික නිදහස් පෙරමුණ වෙත සම්බන්ධ වූ පක්ෂ සාමාජිකයෙකු වශයෙන් ද, (ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා මැණිකේ කොතලාවල මහත්මිය ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකි.) නුවන් ඉනදික මහතා කඩුවෙල ආසනයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියෙකු වශයෙන් ද ක්‍රියාකාරීව දේශපාලන කටයුතු කර තිබෙන අයයි.

ඇමති කාර්ය මණ්ඩලයට සැලකූ හැටි

වීරවංස මහතාගේ අමාත්‍ය කාර්ය මණ්ඩලය වෙතට ලබාදී ඇති බවට අනාවරණය වූ වාහන සහ එම වාහන පාවිච්චි කළ පුද්ගලයෙන්ගේ විස්තර පහත පරිදි වේ.

1.  ඉංජිනේරු සංස්ථාවේ සේවයේ නියුතු මහජන සම්බන්ධතා මහා වෘත්තීය සමිති ලේකම් ඒ.එන්.එස්. මෙන්ඩිස් මහතා KQ 0976, KA 9447, KP 3768, KD 0158, KQ 9762 දරන වාහන මාරුවෙන් මාරුවට.

2.  යූ.ඩී. ප්‍රියජීව පෙරේරා මහතා අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයෙකු වශයෙන් කාලයක් කටයුතු කර පසුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උපදේශකවරයෙකු වශයෙන් පත්වීමක් ලබා JO 5953, JE 6557 දරන වාහන මාරුවෙන් මාරුවට.

3.  ඇමති ආරක්ෂක අංශයට අනුයුක්ත ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සිසිල හේරත් මහතා අමාත්‍යවරයාගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී වශයෙන් කටයුතු කරමින් PC 6171, 252-1908, PC 8430, PF 1277, EA 0260, PE 3626, KD 1494, EA 0004, PF 3770 දරන වාහන මාරුවෙන් මාරුවට.

4.  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකු වශයෙන් කටයුතු කළ බී.එම්.ජේ.ටී. මෙන්ඩිස් මහතා අමාත්‍ය කාර්යාලයේ වතු නිවාස අංශයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරමින් 65-5231, KI 3053, HR 0800, KG 2376 දරන වාහන මාරුවෙන් මාරුවට.

5.  අමාත්‍යාංශය තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සම්බන්ධීකරණ ලේකම් වරෙයෙකු වශයෙන් කටයුතු කළ ජේ.එච්.ආර්, නයනානන්ද මහතා KB 4427, JC 2440, KB 8657, JO 5953, CAB 9727 දරන වාහන මාරුවෙන් මාරුවට.

6.  අලගිය හේවගේ සුරේෂ් ඉන්දික මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සංචරන සහකාරවරයෙකු වශයෙන් කටයුතු කරමින් අමාත්‍යාංශය වෙත සම්බන්ධ වී නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් සිට 301-2751, HC 2349, JW 3549, KU 9867, 300-2590 දරන වාහන මාරුවෙන් මාරුවට.

7.  බී. පී. ඉන්දික ප‍්‍රසාද් මහතා ඉංජිනේරු සංස්ථාවේ ගිණුම් සහකාර තනතුරේ සිට අමාත්‍ය කාර්ය මණ්ඩලයට සම්බන්ධ වී අමාත්‍යාංශයේ මහජන ඉල්ලීම් ලිපි කටයුතු භාර නිලධාරී වශයෙන් සිටියදී PC 2896, PC 9097, දරන වාහන මාරුවෙන් මාරුවට.

8.  ඉෂිකා නදී පෙරේරා මහත්මිය අමාත්‍ය කාර්යාලයේ නිලධාරිනියක වශයෙන් සිටියදී JR 5354, 300-5690 දරන වාහන මාරුවෙන් මාරුවට.

9.   වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක මහතා අමාත්‍යවරයාගේ උපදේශකවරයෙකු වශයෙන් සිට HC 2048, HI 2658, දරන වාහන මාරුවෙන් මාරුවට.

10.  අන්තවාදී රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණ මණ්ඩල සාමාජික වශයෙන් කටයුතු කරමින් JI 7117, KO 6514, JS 9725, HN 2194, PD 2563, CAC 3327, දරන වාහන මාරුවෙන් මාරුවට.

11.  ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී ප‍්‍රසන්න සංජීව තෙන්නෙකෝන් මහතා අමාත්‍යාංශය තුළ මාධ්‍ය සම්බන්ධීකරන වශයෙන් කටයුතු කරමින් KK 8941 දරන වාහනය.

12.  දුෂ්මන්ත අබේසිංහ මහතා අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වශයෙන් කටයුතු කරමින් අමාත්‍ය කාර්යාලයට අනුයුක්තව මොරටුව වැඩබිම් සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කරමින් KE 0231, KR 7730, KA 8125, KS 7735 දරන වාහන එකක් හැර එකක් මාරවෙන් මාරුවට.

13.  සම්පත් තිලකරත්න මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ලිපිකරුවෙකු වශයෙන් කටයුතු කරමින් අමාත්‍ය කාර්යාලය අනුයුක්තව මොරටුව වැඩබිම් සම්බන්ධීකරණ ලේකම් වශයෙන් GR 5774, KT 9085, KI  1610, KS 0097, KQ 7961 දරන වාහන එකක් හැර එකක් මාරුවෙන් මාරුවට.

14.  මව්බිම පුවත්පතේ මාධ්‍යවේදී ප‍්‍රසාද් මංජු මහතා අමාත්‍ය කාර්ය මණ්ඩලයේ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් වශයෙන් කටයුතු කරමින් 250-4713, JY 0359 දරන වාහනය.

15.  රංජිත් එදිරිසිංහ මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කළමනාකරණ පුහුණු වශයෙන් කටයුතු කරමින් සිට අමාත්‍ය කාර්යාලය හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අතර සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරමින් JZ 2669 දරන වාහනය.

16.  කේ. එල්. එම්. සමරතුංග මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහකාර පීරිස් කළමනාකරු වශයෙන් කටයුතු කරමින් HM 6920 දරන වාහනය.

17.  රංජිත් ගාමිණී වික‍්‍රමසිංහ මහතා අමාත්‍යවරයාගේ නිල කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් සිටි කාලය තුළ සහ ඉන් පසුව KA 6932, GJ 4501, JN 9942 දරන වාහන මාරුවෙන් මාරුවට.

එමෙන්ම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ගිවිසුම්ගත නොවූ පරිබාහිර වාහන සඳහා ද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙතින් ඉන්ධන ලබාදී ඇති බවට විමර්ශන තුළින් අනාවරණය වී තිබේ. මෙලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙතින් ඉන්ධන ලබාගත් පිරිස් ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයන් බවද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිය ‘බී ’වාර්තාවෙන් කියයි.

ඒ මෙසේය.

(1)  ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් පි‍්‍රයන්ජිත් විතාරණ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගෙන පාවිච්චි කළ GX 6926, KI 7535, KJ 7867, KO 1375, PA 7281 දරන වාහන සඳහා රුපියල් 1,465,874.62ක වටිනාකමකින් යුත් ඉන්ධන.

(2)  ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම් ආසන සංවිධායක වශයෙන් කටයුතු කළ සමන්සිරි හේරත් මහතා අංක PF 3072 දරන වාහනය සඳහා රුපියල් 189,353.21ක වටිනාකමකින් යුත් ඉන්ධන.

(3) හෝමාගම ජාතික නිදහස් පෙරමුණේ ආසන සංවිධායක වශයෙන් කටයුතු කළ පී.එස්. විජේසිරි හෙවත් දම්පාල මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත අයත් අංක 61-5125 දරන වාහනය සඳහා රුපියල් 769,360.59ක වටිනාකමකින් යුතු ඉන්ධන ලබාගෙන ඇත.

විමර්ශන සිදුකිරීමේදී අනාවරණය වූයේ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙතින් අමාත්‍ය කාරය මණ්ඩලය වෙත ලබාදුන් වාහන පාවිච්චි කරන ලද පිරිස අතරින්, විමල් වීරවංස මහතාගේ මාධ්‍ය ලේකම් වන ඩබ්. කේ. ප‍්‍රසාද් මංජු මහතා නිල ඇමති කාර්ය මණ්ඩලයේ සේවයේ යෙදෙමින් ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් 2011 සිට 2015 ජනවාරි මස දක්වා ඉන්ධන දීමනාව රු: 1,526,369.30ක් ද, ප‍්‍රවාහන දීමනාව රු: 1,655,599.08ක් ද ලබාගෙන ඉංජිනේරු සංස්ථාවේ 250-4713 JY 0359 දරන වාහන 2011 පෙබරවාරි මස සිට 2024 නොවැම්බර් මස දක්වා පාවිච්චි කර ඒ සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත රුපියල් 1,746,000ක මුදලක් පිරිවැයක් වශයෙන් දැරීමට සලස්වා ඇති බවයි.

මෙම අය සඳහා වාහන ලබාදීමට අමාත්‍යවරයා මූලික වී ඇති බවත් ඔහු විසින් උපදෙස් ලබාදී ඇති බවත් විමල් වීරවංස මහතාගේම ප‍්‍රකාශය තුළින් පිළිගෙන ඇත.

ජනසෙවණ බොරුව

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ලබාගන්නා ලද වාහන පාවිච්චි කළ පුද්ගලයන් 57 දෙනා සහ ඉන්ධන ලබා ගන්නා ලද 3 දෙනාට අදාළව ඔවුන් මෙම වාහන භාවිතා කළේ කවර අරමුණු සඳහා ද යන්න විමර්ශන සිදුකරන ලදී. ඒ තුළින් අනාවරණය වූයේ වාහන පාවිච්චි කරන ලද පිරිසගෙන් බහුතරයක් මෙම වාහන යොදාගෙන ඇත්තේ ජනසෙවණ නිවාස ව්‍යාපෘතියේ අධීක්ෂණ කටයුතු සඳහා බවට හුවා දක්වමින් එම පිරිසගේ පෞද්ගලික හා දේශපාලන අරමුණු සඳහා බවය. වීරවංස මහතාගේ ප‍්‍රකාශය තුළින් අනාවරණය වූයේ ඉහත වාහන පාවිච්චි කරන ලද පුද්ගලයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එම කටයුතු කාර්යක්ෂම කර ගැනීම සඳහා අධීක්ෂණය කළ බවයි. ඒ අනුව මෙම පිරිස වාහන පාවිච්චි කිරීමට අදාළව අමාත්‍යවරයා වශයෙන් යම් දැනුමක් තිබූ බවට ඔහුගේ ප‍්‍රකාශය තුළින් අනාවරණය විය. එහෙත් ජනසෙවණ සහ අනෙකුත් ව්‍යාපෘතිවලට අදාළව ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ රංජිත් විල්වල ආරච්චි මහතාගේ ප‍්‍රකාශයට අනුව වීරවංස මහතා සඳහන් කරන එවැනි ස්වේච්ඡා නිලධාරීන් කිසිවෙකුත් එම කාර්ය සඳහා ඔහු සමඟ සම්බන්ධ වී කටයුතු නොකළ බවට අනාවරණය විය. ඒ අනුව අනාවරණය වනුයේ ජනසෙවණ ව්‍යාපෘතිය සඳහාත් වෙනත් වැඩබිම් සඳහාත් නීත්‍යනුකූල තත්ත්වයෙන් මෙම වාහන භාවිත කරන බවට හුවාදක්වමින් මෙම වාහන පාවිච්චි කරන ලද පුද්ගලයන්ගේ දේශපාලන අරමුණු සහ පෞද්ගලික අවශ්‍යතා සඳහා ඒවා යොදවාගෙන ඇති බවයි.

විමල් වීරවංස මහතාගේ ළඟම ඥාතීන් සහ පක්ෂ ක්‍රියාකාරී පිරිස අතරින් කිහිපදෙනෙකුට අමාත්‍යාංශය වෙත අයත් දෙපාර්තමේන්තු, සංස්ථා, ආයතන තුළ ද රැකියා ලබාදීම සඳහා අමාත්‍යවරයා මූලික වී කටයුතු කර ඇති අතර, ඒ අනුව එම පුද්ගලයන් වෙත වාහන ලබාදීම තුළ සෘජු මැදිහත්භාවයක් අමාත්‍යවරයා කර ඇති බවද සමහර වාහන ඔහුගේ උපදෙස් මත ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

– Lanka Truth

Archive

Latest news

Related news