Tuesday, July 16, 2024

හිරු ටීවී ඩ්‍රෝන කැමරාව උදුරා ගැනීම මාධ්‍ය නිදහස කෙළෙසීමක් – නි.මා.ව්‍යා.

පින්තූරය:විරෝධතාකරුවෝ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.

හම්බන්තොට මිරිජ්ජවෙල ප‍්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත ශී‍්‍ර ලංකා චීන ඒකාබද්ධ ආයෝජන කලාපයට එරෙහිව මෙහෙය වූ විරෝධතාව වාර්තා කරමින් සිටි හිරු රූපවාහිනී මාධ්‍ය කණ්ඩායමේ ඩ්‍රෝන කැමරාව ආරක්‍ෂක අංශ විසින් උදුරා ගැනීම හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිය දැඩිසේ උල්ලංඝණය කිරීමක් බව ප‍්‍රකාශ කර සිටී. 2017 ජනවාරි මස 7 වැනි දින එම ආයෝජන කලාපය සඳහා මුල් ගල තැබීමේ උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති අතර, විපක්‍ෂ දේශපාලනඥයින්ගේ ප‍්‍රධානත්වයෙන් එයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් දියත් කොට තිබිණ. ආයෝජන කලාපයට පක්‍ෂපාතීව උත්සවයට පැමිණ සිටි පිරිස් හා විරෝධතාකරුවන් අතර ගල් මුල් ප‍්‍රහාර එල්ල කර ගනිමින් ගැටුම්කාරී තත්ත්වයක් ද පැන නැඟුණ බව වාර්තා වූ අතර පිරිස් පළවා හැරීම සඳහා ආරක්‍ෂක අංශ විසින් ජල ප‍්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කොට ඇත. හිරු රූපවාහිනිය ප‍්‍රකාශ කරන පරිදි, අගමැති ආරක්‍ෂක විසින් උදුරා ගෙන ඇත්තේ එම සිදුවීම වාර්තා කරමින් සිටි, හිරු රූපවාහිනී කණ්ඩායම භාවිතා කළ ඩ්‍රෝන කැමරාවය.

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගේ මැදිහත් වීමෙන් එදින සවස කැමරාව ආපසු ලබා දීම සිදු වුව ද එය ලබා දී ඇත්තේ දර්ශන ඇතුළත් දත්ත ගබඩාව (Chip) නොමැතිවය. මෙම සිදුවීම ඉතා බරපතල ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් කි‍්‍රයාකරන මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය අයිතියට බාධා කිරීම ලෝකයට ලබා දෙන්නේ ශී‍්‍ර ලංකාව පිළිබඳ නරක චිත‍්‍රයක් බව ප‍්‍රකාශ කර සිටී. විශේෂයෙන් දර්ශන සහිත දත්ත ගබඩාව පැහැර ගැනීමෙන් පෙනී යන්නේ, ලෝකයේ හොඳම තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කළ ද ජනතාවට නිදහසේ තොරතුරු ලබා දීමට මාධ්‍යවේදීන්ට ඉඩකඩ නොලැබෙන බවකි. මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා, දත්ත පැහැර ගැනීමට අදාල වරදකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසත්, නැවත මෙවැනි බාධාකාරී සිදුවීම් නොවන්නට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

Archive

Latest news

Related news