Monday, May 20, 2024

හොදින් ඉන්න මිනිස්සු ළඟදී මැරෙන බවට වාර්තා පල කරන රටක් මේක – ලූෂන් බුලත්සිංහල

ජායාරූපය: ලූෂන් බුලත්සිංහල (c) s.deshapriya.

මෙරට සමාජ විඥානය පාලනය කරන බලවත්ම උවදුරක් වන්නේ මිත්‍යාව බවත් ඒ කොතෙක්ද යත් හොදින් ජීව්ත සිටින මිනිසුන් මිය ළඟදීම මියයන බවට වාර්තා පළ කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් ප්‍රවීන කලාකරු ලූෂන් බුලත්සිංහල පවසයි.

පසුගිය 22වන දින ‘පුරවැසි බලය’ විසින් කැඳවා තිබූ පුවත්පත් සාකච්ජාවකට සහභාගි වෙමින් ඔහු එසේ කීවේ ජනාධිපති සිරිසේන මාස හයක් තුළ මිය යන බවට රාජපක්ෂවාදී පිරිස් විසින් ගෙන යමින් ඇති ප්‍රචාරය සම්බන්ධයෙනි.

මෙම පුවත් පත් සාකච්ජාව කැඳවා තිබුණේ ගාමිනී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය සහ ධර්මසිරි බණ්ඩාරනායක යන ‘පුරවැසි බලය’ මුල්පෙළ ක්‍රියාධරයින් තිදෙනාට ඇමැතිකම් පිරිනැමීමට යන බවට පසුගිය ඉරිදා සත්හඩ නම් පුවත්පතක් විසින් පළ කර තිබූ පුවත සහමුලින්ම අසත්‍ය සහ යටි අරමුණූ සහිත පුවතක් බව ප්‍රකාශ කිරීම ද අරමුණක් ලෙස ඇතිවය.

තව දුරටත් අදහස් දැක්වූ ලූෂන් බුලත්සිංහල කියා සිටියේ මෙරට ප්‍රගමනයට ඇති ප්‍රධානතම බාධාවක් වන මිත්‍යාව සමඟ සටන් වැදීම අද දවසේ ප්‍රධාන අභියෝගයක් බවයි. ජිවත්ව සිටින මිනිසකු අහවල් දිනයේ මිය යන බවට මිත්‍යා විශ්වාස මත පදනම්ව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් අද මෙරට දේශපාලනය පිරිහී ඇතියි කී බුලත්සිංහල මහතා එවැනි මිත්‍යවන් විසින් අන්තවාදය සහ ජාතිවාදය ශක්තිමත්කරන බවද කියා සිටියේය.

මෙරට සාක්ෂරතා අගය ඉහළ පැවැතියද උගත්කම විරල වන අතර නූගත්කම ප්‍රථූල යැයිද මිත්‍යව රජ කරන්නේ එබැවින් යැයි ද ඔහු කියා සිටි සිටියේ ය.

මිත්‍ය විශ්වාස මත පදනම්ව මෙම ප්‍රචාරය ගෙන යමින් සිටින්නේ විමල් වීරවංශගේ වෙබ් අඩවිය විසිනි.

මේ සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ ගාමිනී වියන්ගොඩ කියා සිටියේ ජනාධිපති රාජපක්ෂ සමයෙහි රාජපක්ෂ සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් කළේ නම් ඉට කලින්ම එම අනාවැකිකරු අතුරුදහන්වීමට නියමිතව තිබූ බව කියා සිටියේ ය. මෙමගින්ද අද මෙරට සමාජයට ලැබී ඇති කතා කිරීමේ නිදහස කොතරම්ද යන්න පෙනී යන බවයි.

මේ සම්බන්ධයෙන් පසුව අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය කියා සිටියේ නැකැත්කරුවන්ට බියේ ජන්ද කල් දැමූ සහ ඉක්මන් කළ යුගය අවසන් කොට මහජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකදීමේ අරගලය තවම අවසන් නැති බවයි.

Archive

Latest news

Related news