Tuesday, December 3, 2024

සෑම සිංහලයෙක්ම කියැවිය යුතු ‘හැන්ඩි පෙරින්බනායගම්‘ ගේ සිට ‘රාජවරෝදියම් සම්බන්ධන්‘ දක්වා කතාව

ආනුභාවනන්ද විසිනි.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය මෙන්ම දෙමළ ජාතිකවාදී ව්‍යාපාරය පිළිබඳ කරනු ලබන විද්වත් අධ්‍යයනයන්හිදී පවා අමතක කරනු ලැබූ වැදගත් සාධකයක් වන්නේ යාපනයේ බිහි වූ “යාපනය ශිෂ්‍ය සංගමයේ“ දේශපාලන මැදිහත් වීමයි.

වසර 1924 දී යාපනයේ දී බිහි වූ “යාපනය ශිෂ්‍ය සංගමය“ බටහිර අධ්‍යාපනය ලැබූ රැඩිකල් තරුණ දෙමළ බුද්ධිමතුන්ගේ එකතුවකි. ආරම්භයේදී ‘යාපනය ශිෂ්‍ය සංගමය‘ වශයෙන් හැඳින්වූ මෙම තරුණ රැඩිකල් එකමුතුව පසුව “යාපනය තරුණ සංගමය“ වශයෙන් නම් කරනු ලැබීය. මෙම රැඩිකල් තරුණ දෙමළ බුද්ධිමතුන් කණ්ඩායම ශ්‍රී ලංකා ජාතික දේශපාලනයට සිදු කළ බලපෑම පිළිබඳව තියුණු අදහසක් ලබා ගත හැකි පර්යේෂණ කෘතියක් අදින් වසර හතරකට පමණ පෙර නිකුත් විය. ඒ වසර 2012 මාර්තු හතර වෙනිදා කොළඹ සරස්වතී ශාලාවේ දී ජනගත කළ ‘Handy Perinbanayagam : A Memorial Volume and The Jaffna Youth Congress’ (‘හැන්ඩි පෙරින්බනායගම් උපහාර වෙළුම සහ යාපනය තරුණ සංගමය‘) කෘතියයි. එහි සංස්කාරක වරයා වූ සත්‍යසීලන් කදිරගාමර් මෙම කෘතියේ පළමු වෙළුම නිකුත් කෙළේ වසර 1980 දී ය.

හැන්ඩි පෙරින්බනායගම් යනු යාපනය තරුණ සංගමයේ නිර්මාතෘවරයා ය. මහත්මා ගාන්ධි ඉන්දියාවේ ගෙන ගිය නිදහස් අරගලයට වසඟ වූ පෙරින්බනායගම් ශ්‍රී ලංකාවට එවැනි නිදහස් සටනක් අවශ්‍ය බව දැඩිව විශ්වාස කෙළේය. ඔහු සහ තවත් දෙමළ තරුණ බුද්ධිමතුන් පිරිසක් එක්ව නිර්මාණය කළ යාපනය තරුණ සංගමයේ දේශපාලන සංකල්පය වූයේ “පූර්ණ ස්වරාජ්‍ය“ යි. මෙය ඒ වකවානුවේ ඉන්දියාව පුරා ගෙන ගිය පූර්ණ ස්වරාජ්‍ය ව්‍යාපාරයට සමගාමී විය. බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන්ගෙන් පූර්ණ නිදහස ලබා ගැනීම මහත්මා ගාන්ධි ගේ ඉලක්කය විය. තරුණ පෙරින්බනායගම් ගේ ඉලක්කය වූයේද ලංකාවට පූර්ණ නිදහස ලබා ගැනීමයි. නව සංවිධානය යාපනය තරුණ සංගමය වශයෙන් හැඳින්වුවද ‘යාපනය‘ වන්න වාර්ගික සංකේතයක් නොව ප්‍රාදේශීය සංකේතයක් පමණක්ම විය.

ඉන්දීය නිදහස් සටනේ ජාතිකවාදී බලපෑම ඒ වකවානුවේ යාපනය අර්ධද්වීපයට තදින් දැනෙමින් තිබිණ. යාපනය තරුණ සංගමය ජාතික නිදහස් රටක අවශ්‍යතාවය මෙන්ම ජාතික භාෂාවන් යළි නගා සිටුවීම, දරුවන්ට ස්ව භාෂාවන්ගෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීම, ජනතාවගේ සමාජ සුබ සාධනය ඉහළ දැමීම වැනි රැඩිකල් අදහස් ඉදිරිපත් කෙළේය. මෙම ‘යාපනය තරුණ සංගමයේ‘ ජාතික භාෂා සහ ස්වභාෂා අධ්‍යාපන සංකල්පය ‘1956 සිංහල පමණක්‘ වැනි පටු ජාතිවාදී සටන් පාඨයක් නොවීය. ඒවා බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන්ගෙන් පූර්ණ නිදහස ලබා ගැනීමේ ප්‍රවේශයන් විය.

මෙරට බිහි වූ පළමු අව්‍යාජ ජාතිකවාදී ව්‍යාපාරය

ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භ සාමාජිකයෙකු වන හෙක්ටර් අබේවර්ධන පසු කලෙක පල කළ “දෙමළ ජාතිකවාදය සහ සිංහලයා“ යන පර්යේෂන පත්‍රිකාවේ සඳහන් කරන ආකාරයට යාපනය තරුණ සංගමය කිසි විටෙක යාපනය අර්ධද්වීපයට හෝ උතුරු නැගෙනහිර පළාත් වෙත සීමා වූ ව්‍යාපාරයක් නොව පැහැදිලි ජාතික ව්‍යාපාරයකි. ලංකාවට පූර්ණ නිදහස ලබා ගැනීම, ජාතික එකමුතුව, ලෞකිකවාදය, සියළු ආකාරයේ කුල බාධක අහෝසි කිරීම, වැනි ඉලක්ක සතු වූ යාපනය තරුණ සංගමය මෙරට බිහි වූ පළමු අව්‍යාජ ජාතිකවාදී ව්‍යාපාරයේ ප්‍රකාශනයක් බව හෙක්ටර් අබේවර්ධන සිය පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් කරයි.

එවකට දකුණේ දේශපාලන ක්‍රියාකාරීන් වූ ඩී.බී. ධනපාල, පී. ද එස්. කුලරත්න, ඒ. ඊ. ගුණසිංහ, පිලිප් ගුණවර්ධන, ඩී. එස්. සේනානායක, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, එස්. එම්. පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන, එස්. ඒ. වික්‍රමසිංහ, සෙලීනා පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ජේ. ආර්. ජයවර්ධන වැනි චරිත යාපනය තරුණ සංගමය සමග අත්වැල් බැඳ ගත්හ. ඔවුනට අමතරව වතුකරයේ දෙමළ නායකයන් වන පෙරී සුන්දරම් වැනි චරිත සහ මැලේ ජාතිකයන් නියෝජනය කළ ටී. බී. ඡයා ද යාපනය තරුණ සංගමය සමග එක්ව කටයුතු කළහ.

යාපනය තරුණ සංගමය යනු එවැනි මට්ටමේ ජාතික විවිධත්වයක් ප්‍රදර්ශනය කළ සංවිධානයකි. එහි ආරම්භක සමුළුව 1924 දෙසැම්බර් 29 සිට දෙසැම්බර් 31 දක්වා යාපනය නගර සභා ශාළාවේදී පැවැත්විණ. රටට පූර්ණ නිදහස ලබා ගැනීමේ අරමුණ මෙන්ම සමාජ සුබ සාධනය පිළිබඳ දැක්මක්ද විය. විරැකියාව, පීඩනයට පත් ජන කොටස් හි ප්‍රශ්න, ආර්ථික පසුබැසීම් වැනි ප්‍රශ්න පිළිබඳව ද පළමු සමුළුවේදී අදහස් ඉදිරිපත් විය. යාපනය තරුණ සංගමයේ සමාජිකයන් දිළිඳු ගම් කේන්ද්‍ර කර ගනිමින් ජනතාවගේ ජීවිත නගා සිටුවීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපාරයක් ද ආරම්භ කළහ. වසර 1925 දී කීරමලේ පැවැති දෙවන සමුළුව ඇමතීමට දකුණේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ පී. ද එස්. කුලරත්නට අවස්ථාව හිමි වූ අතර ඔහු එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් දකුණේ රැඩිකල් තරුණයන්ගේ දේශපාලන පණිවුඩය උතුරට සන්නිවේදනය කෙළේය. එය පසු කලෙක දෙපාර්ශවය අතර ශක්තිමත් පදනමක් ඇතිකර ගැනීමට මූලික විය.

හැන්ඩි පෙරින්බනායගම් ගේ ආරාධනයෙන් ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ නායක මහත්මා ගාන්ධි වසර 1927 පැවැති යාපනය තරුණ සංගමයේ වාර්ෂික සමුළුවේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූයේ ලංකාවට පූර්ණ නිදහස ලබා ගැනීම වෙනුවෙන් සටන් කළ බලවේගයන්ට නව බලාපොරොත්තුවක් ලබා දෙමිණි. පසුකලෙක යාපනය තරුණ සංගමය මෙන් නුවර, ගාල්ල, කොළඹ, ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිත තරුණ සංගම් ස්ථාපිත කර සමස්ථ ලංකා තරුණ සංගමයක් පිහිටුවීමට තීරණය කෙරිණ.

ඉතිහාසය අනාගතයට මඟ පාදයි
ඉතිහාසය අනාගතයට මඟ පාදයි

යාපනය තරුණ සංගමය ඓතිහාසික දේශපාලන තීරණයක් ගනු ලබන්නේ වසර 1931 දී ය. ඒ වන විට ස්වදේශිකයන්ට වැඩි දේශපාලන බලයක් ලබා දිය යුතු බවට ඩොනමෝර් කොමිසම ලබා දුන් නිර්දේශ අනුව ප්‍රථම සර්වජන මැතිවරණය 1931 ජුනි මාසයේ පැවැත්වීමට තීරණය කෙරිණ. ඒ අනුව නියෝජිතයන් 58 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් ස්ථාපිත කිරීමට නියමිත විය. නියෝජිතයන් 8 දෙනෙකු ආණ්ඩුකාරවරයා විසින් පත් කරන අතර ඉතිරි නියෝජිතයන් 50 දෙනා තෝරා ගැනීමට ඡන්ද විමසීම පැවැත්විණ.

නව ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ පැවැත්වූ මෙම මැතිවරණය වර්ජනය කිරීමට යාපනය තරුණ සංගමය තීරණය කෙළේය. නව ව්‍යවස්ථාව යටතේ ලංකාවට සැළකිය යුතු නිදහසක් නොලැබුණු අතර අවම වශයෙන් ඩොමීනියන් නිදහසක් පවා නොලැබෙන බැවින් මෙම මැතිවරණය වර්ජනය කළ යුතු බව යාපනය තරුණ සංගමයේ මතය විය. ඔව්හු එම අදහස දැඩිව දකුණේ දේශපාලන ක්‍රියාකාරීන්ට ඉදිරිපත් කළහ. එහෙත් ව්‍යවස්ථාදායක සිහිනයේ සිටි දකුණේ බොහෝ නායකයන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. දකුණේ ප්‍රතිචාරයෙන් පසුබට නොවූ යාපනය තරුණ සංගමය මැතිවරණ වර්ජන තීරණය ඉදිරියට ගෙන ගියහ. එවකට ලන්ඩන් නුවර මූලික කර ගනිමින් වාමාංශික දේශපාලනයේ නිරත වූ පිලිප් ගුණවර්ධන යාපනය තරුණ සංගමයේ මැතිවරණ වර්ජන ව්‍යාපාරය අනුමත කළ අතර ඒ අවස්ථාවේදී දේශපාලන බුද්ධියකින් කටයුතු කරන්නේ යාපනය තරුණ සංගමය පමණක් බවත් සමස්ථ රටම යාපනයේ තරුණ සංගමයේ ස්ථාවරය අනුගමනය කළ යුතු බවටත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කෙළේය. එහෙත් යාපනය තරුණ සංගමයේ ඡන්ද වර්ජන ව්‍යාපාරය සාර්ථක වූයේ උතුරු පළාතේ පමණි.

රටක් කණපිට හැරවූ තැන

යාපනය, කන්කසන්තුරේ, කයිට්ස්, පේදුරුතුඩුව යන ආසන වෙනුවෙන් කිසිදු නාම යෝජනාවක් ඉදිරිපත් නොවූ අතර තවත් ආසන 9 ක් සඳහා නියෝජිතයෝ නිතරඟයෙන් තේරී පත් වූහ. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩී.එස්. සේනානායක, ඇඩ්ලීන් මොලමුරේ, ඩී.බී. ජයතිලක, පෙරිය සුන්දරම්, පී.සී. රඹුක්පොත, ඩී.එච්. කොතලාවල මෙසේ නිතරඟයෙන් පත් වූවෝ අතර වූහ.

1931 ඡන්ද වර්ජනය යාපනය තරුණ සංගමයේ අනාගතය තීරණය කෙළේය. එම රැඩිකල් තීරණය පිළිබඳ උතුරු නැගෙනහිර ඇතැම් දේශපාලන ක්‍රියාකාරීහු කැමැත්තක් නොදැක්වූහ. මෙම තීරණය හේතුවෙන් දෙමළ ජනතාවගේ නියෝජනය අවම වූ බවට ඔවුහු චෝදනා කළහ. එවකට ශක්තිමත් පදනමක් පැවැති යාපනය තරුණ සංගමයේ ක්‍රියාකාරීන් එම මැතිවරණයට තරඟ නොකිරීම හේතුවෙන් පටු ජාතිවාදී අරමුණින් ක්‍රියාත්මක වූවන්ට ව්‍යවස්ථාදායකයට එක් වීමට අවස්ථාව ලැබිණ. ජී.ජී. පොන්නම්බලම් මෙයට එක් උදාහරණයකි. 1931 මැතිවරණ වර්ජනය නොතැකූ ඔහු මන්නාරම – මුලතිව් ආසනයට තරඟ කළ නමුත් මුදළිඳු ආනන්දම් සීමන් පිල්ලේ අතින් පරාජයට පත් විය. ඡන්ද වර්ජනය හේතුවෙන් නාම යෝජනා නොලැබුණු ආසන 4 වෙනුවෙන් පැවැති අතුරු මැතිවරණයට නැවත ඉදිරිපත් වූ ජී.ජී. පොන්නම්බලම් පේදුරු තුඩුව අසුන ජයගෙන ව්‍යවස්ථා සභාවට පැමිණියේ ය.

යාපනය තරුණ සංගමය 1931 මැතිවරණ වර්ජනය සඳහා යොමුවූයේ කිසිදු ජාතිවාදී පදනමකින් නොවේ. බ්‍රිතාන්‍ය යටත් විජිත විරෝධී අදහස් වලින් සමන්විත වූ ඔවුහු රටට පූර්ණ ස්වරාජ්‍ය තත්ත්වය ලබා ගැනීමේ ඉලක්කය වෙත යෑමට උත්සාහ කළහ. එහෙත් එම ඡන්ද වර්ජනය සාර්ථක නොවූ අතර ඡන්ද වර්ජනයෙන් වසර දෙක තුනක් යන විට යාපනය තරුණ සංගමය දේශපාලන ක්ෂේත්‍රයෙන් මැකී ගියේ ය.
ජාතික එකමුතුව වෙනුවට ජාතිවාදය සහ වෙන්වීමේ ඇරඹුම

ජාතික එකමුතුව, සමගිය වෙනුවෙන් සටන් කළ යාපනය තරුණ සංගමයේ අවකාශය පසු කලෙක පිරැවුයේ ජී.ජී. පොන්නම්බලම්, එස්.ජේ.වී. චෙල්වනායගම්, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, වැනි ජාතිකවාදී අවස්ථාවාදී දේශපාලනඥයන් ය. පසු කලෙක මතු වු “පනහට පනහ“ ඉල්ලීම් වලින් ප්‍රදර්ශනය වූයේ එම ප්‍රවනතාවයයි. උතුර දකුණ එකතු කිරීමට උත්සාහ කළ හැන්ඩි පෙරින්බනායගම් ලා පරාජය කරමින් මතු වූ දේශපාලන බලවේග උතුරු දකුණු සහයෝගීතාවයට ගිණි තැබීය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක සිංහල සභාව නිර්මාණය කරන විට ජී.ජී. පොන්නම්බලම් දෙමළ සභාව නිර්මාණය කෙළේය.

ජාතික එකමුතුව වෙනුවට, පටු වර්ගවාදය, අවස්ථාවාදය ඉදිරියට පැමිණියේ ය. දෙමළ ජනතාව රටේ දේශපාලන බලයේ මධ්‍යයට සම්බන්ධ කර ගැනීමට නොහැකි වීමේ අවසාන ප්‍රතිඵලය වූයේ දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් නිර්මාණය කර ගත යුතු බවට වන මතවාදයට විශාල පදනමක් හිමි වීමයි. එහි අවසාන පරිසමාර්ථය වන්නේ 1976 දී වඩුක්කොඩෙයි සම්මේලනය සමගින් බිහි වූ ‘දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ‘ යි. ඔවුන් පැහැදිලිවම දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් යන ආකර්ශනීය සටන් පාඨය ඉදිරිපත් කළේය. වසර 1977 මහ මැතිවරණයට මෙම නව පෙරමුණ සටන් කරන්නේ මෙම දේශපාලන ඉලක්කය වෙනුවෙනි.

ජේ.ආර්. ජයවර්ධන 1977 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කෙළේ හයෙන් පහක බලයක් සමගිනි. සැබැවින්ම එය ඔහු අපේක්ෂා නොකළ මට්ටමේ ජයග්‍රහණයකි. ශ්‍රීලනිප ආසන 8 කට සීමා වූ අතර වාමාංශික පෙරමුණ වශයෙන් තරඟ කළ වමේ පක්ෂ පාර්ලිමේන්තුවෙන් අතු ගෑවී ගියේ ය. ජේ.ආර්. ජයවර්ධනට දෑස වසාගෙන එජාප ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ලැබී තිබිණ.
ජේ.ආර්. 77 දී කැබිනට් ඇමැතිකමට ආරාධනා කළ විපක්ෂයේ එකම පුද්ගලයා

එජාපය සමග මහ මැතිවරණයට තරඟ කළ පක්ෂයන්ගෙන් පරිබාහිර බලවේග ගැන කිසිදු තැකිමක් කිරීමට ඔහුට අවශ්‍ය නොවීය. එහෙත් එජාප නායක ජේ.ආර්. ජයවර්ධන 1977 පාර්ලිමේන්තුවට තේරී පත් වූ එක් මන්ත්‍රීවරයෙකුගෙන් පමණක් තමන් සමග එක්වන ලෙස ආරාධනා කෙළේය. ඒ රාජවරෝදියම් සම්බන්ධන්ට ය.

පළමුවරට ත්‍රිකුණාමලය ආසනය ජයගෙන 1977 දී පාර්ලිමේන්තුවට පැමිණෙන ආර්. සම්බන්ධන් වෘත්තීයෙන් නීතිඥවරයෙකි. ඔහු දේශපාලනයට සම්බන්ධවන්නේ 1956 දී ෆෙඩරල් පක්ෂයේ නායක එස්.ජේ.වී. චෙල්වනායගම් ගේ ආරාධනයෙනි. තරුණ නීතිඥයෙකු වන සම්බන්ධන්ගේ දක්ෂතා ක්ෂනිකව හඳුනාගන්නා චෙල්වනායගම් තම ෆෙඩරල් පක්ෂයට ඔහුව එක් කර ගත්තේ ය. සම්බන්ධන් ෆෙඩරල් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන නමුත් මැතිවරණයන්ට තරඟ කිරීම පිලිබඳ වැඩි උනන්දුවක් නොදැක්වීය. 1963 දී මෙන්ම 1970 දීත් මහ මැතිවරණ සඳහා ඔහුට නාම යෝජනා ලබා දීමට චෙල්වනායගම් උත්සාහ කළද ඔහු කාරුණිකව එය ප්‍රතික්ෂේප කෙළේය. අවසානයේ දී ඔහු 1977 ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ යටතේ තර ඟ කිරීමට එකඟ වූ අතර ත්‍රිකුණාමල ආසනය පහසුවෙන් ජයගෙන ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් විය. ආර්. සම්බන්ධන්ගේ දක්ෂතා හඳුනාගෙන සිටි එජාප නායක ජේ.ආර්.ජයවර්ධන මෙම නවක මන්ත්‍රීවරයාට සිය කැබිනට් මණ්ඩලයට එක් වන ලෙස ආරාධනා කෙළේය. එහෙත් ඔහු එම ආරාධනාවද කාරුණිකව එදා ප්‍රතික්ෂේප කෙළේය.

ජේ.ආර්. ජයවර්ධනගේ එජාප රජයේ කැබිනට් මන්ඩලයට එක් වී ප්‍රබල කැබිනට් ඇමැතිධූරයක් දැරීමට තිබූ අවස්ථාව ප්‍රතික්ෂේප කළ ආර්. සම්බන්ධන් එයින් වසර 38 කට පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වශයෙන් තේරී පත් විය. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයට පත්ව දැන් වසරක් ගෙවී ගොස් අවසානය.

1977 මහ මැතිවරණයේ දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා වූ ඒ. අමිර්තලිංගම් මහතා විපක්ෂ නායක ධූරයට පත් වූ අතර ශ්‍රීලනිප ආසන අටකට පසුබැසීය. එදා එජාපයට විශාල ජනරැල්ලක් රට තුල නිර්මාණය වූ ආකාරයට උතුරු නැගෙනහිරද විශාල ජන බලවේගයක් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට නිර්මාණය විය. හැත්තෑව දශකයේ මැද භාගය වන විට රැඩිකල් දෙමළ තරුණ කොටස් ක්‍රියාකාරී දේශපාලන ආක්‍රමණයක් කරමින් සිටි අතර වඩාත් සටන්කාමී රැඩිකල් ද්‍රවිඩ දේශපාලන ව්‍යාපාරයක් සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වෙමින් තිබිණ. වඩුක්කොඩෙයි සම්මේලනය සමග නිර්මාණය වූ වෙනම රාජ්‍යයක් සඳහා වන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට විශාල ජනතා ආකර්ෂණයක් හිමි වූ අතර කේවල ආසන ක්‍රමයේ අවසාන මහ මැතිවරණය වූ 1977 දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18 ක් හිමි කර ගත්තේ ය. ඔවුන් හිමි කර ගත් සමස්ථ ඡන්ද ප්‍රතිශතය සියයට 6.75 ක් විය. එල්ටීටීඊ බලය උපරිමව පැවැති වසර 2004 මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයන් පවා තෝරා ගනිමින් දෙමළ ජනතාවට එම සන්ධානයට ඡන්දය ලබා දෙන ලෙස බල කරමින් එල්ටීටීඊය ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයක නිරත විය. එවැනි දැඩි බලපෑමක් යටතේ වුවද 1977 මහ මැතිවරණයේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යෑමට දෙමළ ජාතික සන්ධානයට නොහැකි විය.

එවැනි විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන පාර්ලිමේන්තුවෙ පැහැදිලි විපක්ෂය බවට පත්ව එහි විපක්ෂ නායක ධූරය දැරූ අමිර්තලිංගම් ගේ භූමිකාව සමග සන්සන්දනය කිරීමේ දී පසුගිය වසරක කාලයක දී වර්තමාන විපක්ෂ නායක සම්බන්ධන් මහතා වඩාත් ඉදිරිගාමී ප්‍රගතිශීලී ප්‍රවේශයක් ගෙන තිබෙන බව කිව හැකිය. අමිර්තලිංගම් මහතාට එදා හිමිවූයේ පැහැදිලි බලයක් සහිත විපක්ෂයකි. එහෙත් සම්බන්ධන් මහතා මෙහෙයවන්නේ වඩාත් සංකීර්ණ විපක්ෂයකි. එහි එක් කණ්ඩායමක් අන්ත දූෂිත ‘රාජපක්ෂ වහලුන්‘ ය. මෙම වහල් කණ්ඩායමේ එකම අරමුණ මහින්ද රාජපක්ෂ නමැති පරාජිත දූෂිත දේශපාලන චරිතය නැවත ගොඩ නැගීම ය. සතිපතා මූල්‍ය අපරාධ අංශයට යන එන මෙම චරිත රිමාන්ඩ් බන්ධනාගාරයටත් බන්ධනාගාර රෝහලටත් ඉන්පසුව කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් වාට්ටුවටත් ඇතුළු වීම දැන් සාමාන්‍යකරණය වී තිබේ. මෙම අන්ත දූෂිත රාජපක්ෂ වහලුන්ගේ මූලික දේශපාලන උපක්‍රමයක් වන්නේ පාර්ලිමේන්තු කටයුතු කඩාකප්පල් කරමින් යහපාලන රජයට බාධා කිරීම ය. විපක්ෂයක් වශයෙන් ජනතාවගේ අවශ්‍යතා හෝ රටේ ජාතික න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යනවා වෙනුවට මෙම රාජපක්ෂ වහලුන් උත්සාහ කරන්නේ නැවත මහින්ද රාජපක්ෂට රටේ පාලන බලය ලබා දී තමන්ට එල්ල වී තිබෙන අල්ලස්, දූෂණ, මිනීමැරුම් ඇතුළු සකලවිධ චෝදනාවන්ගෙන් ගැලවී යෑම ය. සැබැවින්ම මෙම කණ්ඩායම විපක්ෂයේ භූමිකාවේ විකෘතියකි. විපක්ෂ නායක සම්බන්ධන් මහතාට ගණුදෙනු කිරීමට සිදුවී ඇත්තේ මෙවැනි දේශපාලන අඳ බාලයන් පිරිසක් සමග වීම ඛේදවාචකයකි.

අමිර්තලිංගම්ට වඩා සංකීර්ණ සම්බන්ධන්ගේ යුගය

1977 ට වඩා වර්තමාන පාර්ලිමේන්තු භූමිකාව වඩාත් සංකීර්ණ වීමට තවත් එක් හේතුවක් වන්නේ මෙරට ඉතිහාසයේ පළමුවරට ජාතික ආණ්ඩුවක් නිර්මාණය වී තිබීමය. ජාතික ආණ්ඩුව යන සැබෑ දේශපාලන අර්ථ නිරූපණයට මෙම යහපාලන ආණ්ඩුවේ න්‍යාය පත්‍රය අනුකූල නොවූවද මෙවැනි සහයෝගිතා රජයක් මෙරට බිහි වූ ප්‍රථම අවස්ථාව මෙය යි. වනචර දශකයේ රාජපක්ෂලා සමග එක පතේ කෑ බහුතරය අද යහපාලන ජාතික ආණ්ඩුවේ ප්‍රධාන සාමාජිකයෝ වී සිටිති. ඔවුහු එසේ යහපාලන රජයේ ප්‍රධාන වගකීම් දරණ අතරේ ජාතික ආණ්ඩුවේ අනෙක් පාර්ශවය වන එජාපයට අභියෝග කරති. වසර 2020 දී තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහි කරන බවට පාරම් බාති. එජාපය සිය සාමාජික ප්‍රවර්ධන වැඩ සටහන් හරහා ලබා දෙන පණිවුඩය වන්නේ තමන් ඉදිරියේ දී තනි එජාප ආණ්ඩුවක් නිර්මාණය කරන බවයි. ජාතික ආණ්ඩුවක මූලික අභිලාෂයන් සහ ඉලක්ක පසෙක තබා දෙපාර්ශවයම තනි ආණ්ඩු නිර්මාණය කිරීමේ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තිබෙන බව රහසක් නොවේ. එහි ප්‍රතිඵලයන් ලෙස පක්ෂ දෙක අතරේ මෙන්ම ජනාධිපති සහ අගමැති පාර්ශව දෙක අතරේ මෙන්ම ජනාධිපති සහ අගමැති පාර්ශව අතර සීතල යුද්ධ තත්ත්වයක් ද පවතී. මෙවැනි වටා පිටාවක මෙය විකෘති ජාතික ආණ්ඩුවක් වශයෙන් හැඳින්වීම සාධාරණ ය.

මෙවැනි විකෘති දේශපාලන සංකීර්ණතා යටතේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය දැරීම දුෂ්කර බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. විපක්ෂයක් වශයෙන් ජනතාවට ඉටු විය යුතු වගකීම් මෙන්ම ජාතික දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන ඒම සහ එය ශක්තිමත් කිරීමේ වගකීම, විපක්ෂ නායකයා වශයෙන් සම්බන්ධන් මහතාට පැවරී තිබේ. දෙවනුව ඔහු නියෝජනය කරන ජනතාවගේ අභිලාෂයන් ඉටු කළ යුතුය. ඔහු දෙමළ ජාතික සන්ධානය නම් දෙමළ දේශපාලන පක්ෂ එකතුවේ නායකයා ය. මෙම සන්ධානයේ දෙමළ රැඩිකල් දේශපාලන පක්ෂ මෙන්ම ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වැනි සාම්ප්‍රදායික පක්ෂ ද අන්තර්ගත ය. එම දේශපාලන බලවේග අතර ඒකමිතියක් පවත්වාගෙන යෑම පහසු නැත.

උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේෂ්වරන්, සිවාජිලිංගම් වැනි දෙමළ අන්තවාදී මෙන්ම සුමන්තිරන් වැනි මධ්‍යස්ථ මතධාරීන් ද මෙම සන්ධානය නියෝජනය කරති. එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීමෙන් පසුව දෙමළ ජනතාවගේ අභිලාෂයන් ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජනය කරන්නේ ද දෙමළ ජාතික සන්ධානය යි. එබැවින් උතුරු නැගෙනහිරට බලය බෙදීමේ විසඳුමක් සඳහා වන අරගලයට නායකත්වය දීමට ද සම්බන්ධන් මහතාට සිදුව ඇත.

දෙමළ ජනතාව නියෝජනය කරන අතරේ පොදුවේ විපක්ෂ නායකයා වශයෙන් සමස්ථ ඡන්දදායකයන්ගේ අභිලාෂයන් ඉටු කිරීම විටෙක එය අතුරේ ගමන් කරනවා වැනි දුෂ්කර ගමනකි. පසුගිය වනචර දශකය තුළ මහින්ද රාජපක්ෂ ඇතුළු රෙජීමය සිය බලය පවත්වාගෙන යෑම සඳහා රට තුළ සිංහල බෞද්ධ ජාතිවාදය ස්ථාපිත කළ අතර අදටත් ඔවුන් පෝෂනය කරනුයේ එම බලවේගය යි. දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මහතාට විපක්ෂ නායක ධූරයලබා දෙනවාට මාරාන්තික විරෝධයක් ගොනු කෙළේ සිංහල බෞද්ධ ජාතිවාදී රාජපක්ෂ වහල් කණ්ඩායමයි. ඔලුගෙඩි ගණනින් තමන් ඉහළ බැවින් ශ්‍රීලනිපයේ කොටසක් වන නමුත් විපක්ෂයේ අසුන් ගන්නා බැවින් තමන්ට විපක්ෂ නායක ධූරය හිමි විය යුතු බවට ඔවුහු තර්ක කළහ. ඔවුන් විපක්ෂ නායක ධූරයට නම් කෙළේ පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ කඳ බඩ පමණක් අසාමාන්‍ය වර්ධනයකට ලක්වූ අපොස සාමාන්‍ය පෙළ හෝ හරියට සමත් නොවූ නීල කාස හොරෙකු වන ප්‍රසන්න රණතුංග ය. (ප්‍රසන්න රණතුංග විපක්ෂ නායක ධූරයට නම් කළ කණ්ඩායමේ තරම ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත) එහෙත් කථානායකවරයා රාජපක්ෂ වහල්ලු කණ්ඩායමට ශ්‍රීලනිප පරිබාහිර කණ්ඩායමක් වශයෙන් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් විපක්ෂනායක ධූරය ඩැහැ ගැනීමේ ව්‍යාපෘතිය අත් හැර පසුබැසීමට ඔවුනට සිදුවිය. රාජපක්ෂ වහලුන් මෙන්ම ඔවුන්ගේ ආධාරකරුවන් අදටත් විපක්ෂ නායක සම්බන්ධන් මහතාට සළකනුයේ “දෙමළෙකු“ වශයෙන් පමණි. පසුගිය දිනෙක දකුණේ සංචාරය කළ සම්බන්ධන් මහතා සිංහල භාෂාවෙන් කථා නොකිරීම පිලිබඳ සමාජ වෙබ් අඩවි වල මෙම රාජපක්ෂ වහලුන් ගෙන ගිය සිංහල ජාතිවාදී වෛරී ප්‍රචාරය මෙයට එක් උදාහරණයක් පමණි. අලුත්ම උදාහරණය වූයේ දෙමළ ජාතික සන්ධානය තහනම් කළ යුතු යැයි ගම්මන්පිලගේ ප්‍රකාශයයි.

මහින්ද රාජපක්ෂ ගෙදර යවනු ලැබූ ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයේ ප්‍රධාන පාර්ශව කරුවෙකු වන්නේ දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ය. එබැවින් රාජපක්ෂ වහලුන්ගේ වෛරීය දෙමළ විරෝධය තේරුම් ගත හැකිය.

උම්මත්තකයන්ට යට නොවූ ඔහු

මෙවැනි සංකීර්ණ පරිසරයක විපක්ෂ නායකයා වශයෙන් ආර්. සම්බන්ධන් මහතා පසුගිය වසරක කාලය තුල රඟ පෑ භූමිකාව විශිෂ්ට ය. දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දෙමළ ජනතාව රාජපක්ෂ රෙජීමය පෙරළා දමා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය නැවත එසැවීමේ විප්ලවයේ ප්‍රධාන සංරචකයක් විය. එල්ටීටීඊ හිතවාදී මෙරට දෙමළ ජාතිවාදීන් මෙන්ම දෙමළ ජාතිවාදී ඩයස්පෝරාව (එල්ටීටීඊ හිතවාදී සිංහලයන්ද ඇතුළුව) තවදුරටත් රාජපක්ෂ රෙජීමය පවත්වාගෙන යෑම සඳහා ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවට දැඩි බලපෑමක් එල්ල කළ නමුත් ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානය එම දෙමළ ජාතිවාදී උන්මත්තකයන්ගේ හඬට අනුකූල නොවී රටතුළ ප්‍රජාතන්ත්‍රවාදය, මූලික මානව හිමිකම් ස්ථාපිත කිරීම සඳහා පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට එක් විය. මෙරට මෙන්ම ඩයස්පෝරාවේ දෙමළ ජාතිවාදී උන්මත්තකයන්ගේ හඬට සවන් දී ජනාධිපතිවරණය වර්ජනය කෙළේ නම් අදටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ය.

මෙරට දෙමළ ජාතිවාදී උන්මත්තකයන්ගේ පැවැත්ම තහවුරු වන්නේ රාජපක්ෂ රෙජීමයේ සිංහල බෞද්ධ ජාතිවාදී ක්‍රියාමාර්ග මත ය. දෙමළ ඩයස්පෝරාවේ එක් පාර්ශවයක් වන එල්ටීටීඊ හිතවාදී දෙමළ ජාතිවාදී උන්මත්තකයන්ගේ පැවැත්ම ඇත්තේ ද රාජපක්ෂ දේශපාලනයේම ය. ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණය වර්ජනය කිරීම සඳහා “ දෙමළ විමුක්ති“ දේශපාලන න්‍යාය ප්‍රබන්ධ කරමින් මෙම සුළුතර පිරිස විශාල වෙබ් ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වූයේ රාජපක්ෂ රෙජීමයේ අඛන්ඩ පැවැත්ම තම උදර පෝෂණය සඳහා ඇති එකම සාධකය වූ බැවිනි. රාජපක්ෂ රෙජීමය පළවා හැර ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ හොත් මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සුළු ජාතික අයිතිවාසිකම්, ආදී නොයෙකුත් විෂය ක්ෂේත්‍ර සඳහා වන ව්‍යාපෘති වෙනුවෙන් විදේශ රාජ්‍ය නොවන ආයතන වලින් ලබා ගන්නා මූල්‍ය ප්‍රතිපාදන අහිමි වීමේ අනතුරක් ඔවුන් ඉදිරියේ මතු විය. එපමණක් නොව යුරෝපයේ දේශපාලන සරණාගත තත්ත්වය අහිමි වී නැවත ශ්‍රී ලංකාවට යෑමට සිදුවීම වැනි “දරුණු තත්ත්වයකට“ වුවද පත්වීමට ඉඩ තිබිණ. එබැවින් ඔවුහු මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනය කරන ලෙස ඉල්ලීම් කළහ.

දෙමළ ජනතාව නොමැතිව දේදුනු විප්ලවයක් නැත

එහෙත් මෙම බලවේගයන්ගේ උදර පෝෂණ දේශපාලන සටන් පාඨයන්ට යට නොවූ ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ සන්ධානය පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රචාරක කටයුතු වල නිරත වූහ. දෙමළ ජාතිවාදී උන්මත්තකයන් ප්‍රතික්ෂේප කළ මධ්‍යස්ථ දෙමළ ජනතාව පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළහ. වන්නි දිස්ත්‍රික්කයේ පොදු අපේක්ෂකයා ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 78 කි. යාපනයේ සියයට 74 කි. ත්‍රිකුණාමලයේ සියයට 72 කි. අති බහුතරයක් දෙමළ ජනතාව පොදු අපේක්ෂකයාට ඡන්දය දුන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කර දෙමළ ජනතාවට යලි ගෞරවනීය පුරවැසියන් වශයෙන් ජීවත් වීමේ මූලික අරමුණ පෙර දැරි කරගෙන ය. දෙවනුව දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට දේශපාලන විසඳුමක් ලබා ගැනීම ය.

රාජපක්ෂ රෙජීමය පලවා හැර රට තුල ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ස්ථාපනය කිරීම පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒක රාශී වූ සියළු දෙනාගේම දේශපාලන අරමුණ විය. විපක්ෂ නායකයා වශයෙන් මෙම අරමුණ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ආර්. සම්බන්ධන් මහතා පසුගිය වසරක කාලයේ කැප විය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා මෙන්ම ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට දායක වූ ඔහු තොරතුරු දැන ගැනීමේ, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපනය, ආදී පනත් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින්නේ ය. විපක්ෂයේ සහ විපක්ෂ නායකයාගේ වගකීම රජයට විරුද්ධ වීම යන සම්ප්‍රදායික චින්තනයෙන් බැහැර වී සිටීන සම්බන්ධන් මහතා යහපාලන රජයට විවේචනාත්මක සහයෝගයක් ලබා දෙමින් සිටී. පසුගිය අය වැය ඇතුළු රජයේ යෝජනා පනත් බොහොමයකට ඔවුහු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ඔවුන් එසේ රජයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කෙළේ විපක්ෂයේ අසුන්ගෙන සිටින “රාජපක්ෂ වහල්ලු“ රජය පෙරලීමට ඡන්දය භාවිතා කරන බවට විශාල ප්‍රචාරක යුද්ධයක් ගෙන අවස්ථාවක සහ විපක්ෂයේ අනෙක් සංරචකය වන ජවිපෙ ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි හෝ රජයට විරුද්ධව ඡන්දය භාවිතා කළ අවස්ථාවන්හි දී ය.
‘වොයිස් කට්‘ විපක්ෂයට අයත් නැති සම්බන්ධන්

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සුරැකීම ඇතුළු දකුණේ ජනතාව ඇතුළු සමස්ථ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීමත්, ඒවා පෝෂණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී සාධනීය විවේචන ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු පනත් වඩාත් ශක්තිමත් කිරීම සඳහා කැපී පෙනෙන සංශෝධන රාශියක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායකයා වශයෙන් සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු පසුගිය වකවානුවේ සාධනීයව කටයුතු කළහ. ඔහු විපක්ෂ නායකයා වශයෙන් තම සැබෑ වගකීම ඉටු කරමින් සිටී. එහෙත් මෙවැනි ධනාත්මක විවේචන සහ සාධනීය මැදිහත් වීම්, සංශෝධන ශ්‍රී ලංකාවේ “වොයිස් කට්“ දේශපාලනයේ ජනප්‍රිය නැත. දිනපතා ප්‍රවෘත්ති සාකච්ඡා නමැති ටෙලි නාට්‍යය රඟපාමින් රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවන්හි ප්‍රවෘත්ති චක්‍රයන්හි ඉල්ලුමට සැපයුම ලබා දීමේ ජනප්‍රිය විපක්ෂයේ භූමිකාව විපක්ෂ නායක සම්බන්ධන් මහතා හෝ දෙමළ ජාතික සන්ධානය නිරත වන්නේ නැත.

ඔවුහු උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම හෝ ඩිලාන් පෙරේරා වැනි ජනප්‍රිය සටන් පාඨ දේශපාලනයේ නිරත නොවෙති. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින වඩාත්ම පළපුරුදු පාර්ලිමේන්තුවාදියා වන ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක භූමිකාවේ ප්‍රමිතිය ඉහළම තලයක තබා තිබේ.

යහපාලන ආණ්ඩුව ලැජ්ජා විය යුතුය

එවැනි විපක්ෂ නායකවරයෙකුට යහපාලන රජය සළකන ආකාරය ගැන ලැජ්ජාවිය යුතුය. මෙම වයෝවෘද්ධ දේශපාලනඥයාට විපක්ෂ නායක නිල නිවස වශයෙන් ලබා දී ඇත්තේ පැරණි කොළඹ සමුළු නිවාස සංකීර්ණයේ ඉහළම මාලයේ තනි කාමරයේ කුඩා තට්ටු නිවාසයකි. ඔහු නිල බලයෙන් පහසුකම් සහිත නිල නිවාසයකට හිමිකම් කියයි. යහපාලන රජයට වසරක් ගත වුවද එම නිල නිවාසය විපක්ෂ නායකයාට ලබා දීමට හැකි වී නැත. මහින්ද රාජපක්ෂගේ නිල රථයට අලුත් රෝද හතරක් ලබා දීමට හිත උණුවන අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ සිටින වයෝවෘද්ධම දේශපාලනඥයාට පහත මාලයේ නිවාසයක් ලබා දීමට පවා උනන්දුවක් නැත. නමුත් ගිනස් වාර්තා තබන නත්තල් ගස් හැදිය හැකිය.

දෙමළ ජනතාවගේ ප්‍රධානතම ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතයා වන දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන්ද ආර්. සම්බන්ධන් මහතාට දැවැන්ත වගකීමක් තිබේ. එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීමෙන් පසුව හංදියක් හංදියක් ගානේ කිරිබත් කෑ රාජපක්ෂ රෙජීමය යුද්ධයෙන් විපතට පත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙළේ නැත. අධිවේගී මාර්ග වැනි ගසා කෑ හැකි මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් නමුත් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ආර්ථික සාමාජීය මානසික සුබ සාධනය වෙනුවෙන් පැහැදිලි ශක්තිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙළේ නැත. ඒ වෙනුවට හමුදා බුද්ධි අංශ යොදා ගනිමින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මර්දනය කෙළේය. ඔවුනට ප්‍රජාතන්ත්‍රවාදී ජන ජීවිතයක් ගත කිරීමට ඉඩ නොදුන්නේ ය. රාජපක්ෂ රෙජීමය ක්‍රියාත්මක වූයේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තමන්ට අවශ්‍ය අන්දමට යටත්ව ජීවත් විය යුතුය යන උද්දච්ඡ අධිකාරිවාදී මානසිකත්වයෙනි.

ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයෙන් පසුව උතුරු නැගෙනහිර ජන ජීවිතය වඩාත් සුබ දායක තත්ත්වයට පරිවර්තනය වී තිබෙයි. හමුදා මර්දනය අවම වී තිබෙන අතර හමුදාව අත්පත් කර ගෙන තිබූ සාමාන්‍ය ජනතාවගේ ඉඩම් අක්කර සිය ගණනක් නැවත අයිතිකරුවන්ට ලබා දෙමින් සිටී. මෙවැනි ප්‍රායෝගික ගැටළු විසඳීමේ දී පවා “රාජපක්ෂ වහලුන්“ ඇතුළු සිංහල බෞද්ධ ජාතිවාදී උන්මත්තකයන් සහ ඔවුනට සහාය ලබා දෙන ජාතිවාදී මාධ්‍යය රට ගිණි තැබීමට උත්සාහ දරමින් සිටී. රට ඉදිරියේ ඇති දැවැන්ත අභියෝග වන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම ය. විපක්ෂ නායක සම්බන්ධන් මහතාට ඒ වෙනුවෙන් සටන් කිරීමේ වගකීම පැවරී තිබේ. දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් අනවශ්‍ය බවත් අවශ්‍ය වන්නේ බලය බෙදීමේ විසඳුමක් බවත් විපක්ෂ නායක සම්බන්ධන් මහතා ඉතා පැහැදිලිව කිහිප විටක්ම ප්‍රකාශ කෙළේය.

නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට යහපාලන රජය සූදානමින් සිටින අතර එම ව්‍යවස්ථාව හරහා දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට හැකි විය යුතුය. ඒ සඳහා දෙමළ ජනතාවගේ නියෝජිතයන් සහ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අතර දීර්ඝ සංවාදයක් විය යුතු අතර එයින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ වගකීම දෙපාර්ශවය වෙත පැවරී තිබේ. මෙම ව්‍යායාමය කඩා කප්පල් කිරීම සඳහා සිංහල මෙන්ම දෙමළ ජාතිවාදී උන්මත්තකයෝ දැනටමත් සැදී පැහැදී සිටිති.

“මාක්ස්වාදී සමාජවාදී“ විකට ඇඳුම

ආර්. සම්බන්ධන් විපක්ෂ නායකයා වන විට ජවිපෙ නායක අනුර දිසානායකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පදවිය හිමි විය. මෙය ජවිපෙ විපක්ෂයේ නිල පදවියක් ලැබූ පළමු අවස්ථාවයි. ජවිපෙ විපක්ෂයක් වශයෙන් පසුගිය රාජපක්ෂ රෙජීමයේ දූෂණ වංචා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් හෙලි කෙළේය. (විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීමෙන් පසු කාලයේදී) එදා නිළ විපක්ෂය වූ එජාපයේ බොහෝ දෙනා රාජපක්ෂ රෙජීමය සමග දේශපාලන ඩීල් දමාගෙන නිහඬව සිටියදී ජවිපෙ විශිෂ්ට කාර්යභාරයක් ඉටු කෙළේය. “ලංකා ඊ නිව්ස්“ සහ ජවිපෙ හැරෙන්නට එදා විපක්ෂයක් තිබුණේ නැත. ජවිපෙ අදටත් යහපාලන රජයේ ඇතැම් දූෂණ, අක්‍රමිකතා, හෙළිකරමින් සිටී. අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ බැඳුම්කර සිද්ධිය ඉන් එකකි. ජාතික ආණ්ඩුවක් නිර්මාණය වී ඇති මොහොතක එවැනි නිරීක්ෂණයක් අත්‍යාවශ්‍යය. එය නිළ විපක්ෂයේ වගකීමයි.

එහෙත් විපක්ෂයේ එකම කර්තව්‍ය වන්නේ දූෂණ වංචා හෙළි කිරීම පමණක් නොවන බව ජවිපෙ අවබෝධ කර ගැනීමද වැදගත් ය. නීති සම්පාදනයේ දී මෙන්ම පාර්ලිමේන්තු කාරක සභා මට්ටමේ කටයුතු සම්බන්ධයෙන් වන දායකත්වය විපක්ෂයේ ප්‍රධාන කාර්යයකි. මෙම අංශය ගැන ජවිපෙ එතරම් අවධානයක් යොමු කර නැත. අනෙක් අතින් ජවිපෙට “මාක්ස්වාදී සමාජවාදී“ යැයි කියා ගන්නා විකට ඇඳුම් ගලවා තැබීමට දැන් කාලය එළැඹ ඇත.

නව දේශීය සහ ජාත්‍යන්තර ප්‍රවණතා සමග ගණුදෙනු කරමින් ජවිපෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වශයෙන් පරිවර්තනය නොවුවහොත් ජවිපෙ ඉතිහාසයේ කුණු බක්කියට විසි වී යෑම වැළැක්විය නොහැකි ය. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම පාර්ලිමේන්තුවාදියා වන ආර්. සම්බන්ධන් ගෙන් අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙ මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ භූමිකාව පිළිබඳ බොහෝ දෑ උකහා ගත හැකිය. විශේෂයෙන් අල්ලස් දූෂන හෙළි කිරීමෙන් ඔබ්බට වන සාධනීය විපක්ෂයේ භූමිකාව ගැන ආර්. සම්බන්ධන් ගෙන් ඉගෙන ගත යුතුය.

විපක්ෂ නායක රාජවරෝදියම් සම්බන්ධන් ට අද ඉතිහාසය බලකර සිටින්නේ හැන්ඩි පෙරින්බනායගම් ගේ භූමිකාවට පණ පොවන ලෙසය. පටු ජාතිවාදී බෙදීම් වලින් වැළකී එක්සත් ජාතියක් වෙනුවෙන් දකුණේ ජනතාව එක්කර ගැනීමේ හැකියාව, කැපවීම, ඔහුට ඇත. ඔහු විපක්ෂ නායකධූරය දැරූ පසුගිය වසරක කාලය පුරා එහි ලක්ෂණ ප්‍රදර්ශනය කරමින් සිටින බව ඉතා සතුටින් ලියා තැබිය හැකිය. දකුණ 1931 දී සිදුකළ ඓතිහාසික වැරැද්ද නැවත සිදු නොකර එක්සත් ජාතියක් සඳහා උතුරෙන් ලැබෙන ආරාධනය පිළිගත යුතුය.

ආනුභාවනන්ද විසිනි

[email protected]
ස්තුතිය ලංකා ඊ නිව්ස්

Archive

Latest news

Related news