Monday, May 20, 2024

මාධ්‍යවේදීන්ට පහර දුන් නාවික හමුදාපති ගැන පරීක්ෂණයක් කරනු! නි.මා.ව්‍යාපාරය

වීඩියෝ ජායාරූපය: පහර දීමට එන නාවික හමුදාපති.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ (දෙසැම්බර් 10) දහවල් නාවික හමුදාපතිවරයා ඇතුලූ නාවික හමුදාව විසින් මාධ්‍යවේදීන්ට එල්ල කළ ප‍්‍රහාරය දැඩිසේ හෙළාදකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් කොට ඔවුනට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. තම රැකියා ස්ථිර කරන ලෙසට බලපෑම් කරමින් සත්‍යග‍්‍රහයක යෙදී සිටි, හම්බන්තොට, මාගම්පුර වරායේ සේවකයන් විසින් රඳවා ගෙන සිටි විදේශීය නෞකා දෙකක් ගලවා ගැනීමේ මෙහෙයුම, දෙසැම්බර් 10 දින නාවික හමුදාව මැදිහත් වී දියත් කළ අතර එම අවස්ථාවේ දී නාවික හමුදාපතිවරයා අසභ්‍ය වචනයෙන් බැන වදිමින් සිදුවීම වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන්ට පහර දී ඇත.

මෙය කිසිසේත් සුලූකොට සැලකිය හැකි සිදුවීමක් නොවේ. ප‍්‍රහාරයට මුල් වී ඇත්තේ රටේ හමුදාපතිවරුන් තිදෙනාගෙන් එක් අයෙක් වූ නාවික හමුදාපතිවරයාය. තමන් මාධ්‍යවේදීන් බව කෑ ගසා කියද්දී නාවික හමුදාපතිවරයා අසභ්‍ය වචනයෙන් බැන වදිමින් මාධ්‍යවේදීන්ට පහර දෙමින් ඔවුන් එළවා දමා ඇත.

විශේෂයෙන් රූපවාහිනී කැමරා අතැතිව සිටි හිරු (රොෂාන් දිලිප් කුමාර), සිරස (ග‍්‍රැන්විල් රත්නායක), ආදී රූපවාහිනී මාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ම මේ ආකාරයෙන් නාවික හමුදා ප‍්‍රහාරයට ඉලක්ක වී ඇත. මෙය ඉතා බරපතල තත්ත්වයකි. තොරතුරු දැනගැනීමේ අයිතිය පනතක් මඟින් ද තහවුරු කර ඇති මේ අවස්ථාවේ, සිදුවීමක් වාර්තා කිරීමට ගිය හම්බන්තොට ප‍්‍රදේශයේ මාධ්‍යවේදීන්ට ත‍්‍රස්තවාදීන්ට සලකන ආකාරයෙන් සැලකීම ඉතාමත් ඛේදජනක සිදුවීමකි. යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කරන බවට කොතරම් ප‍්‍රකාශ කළ ද, මේ අකාරයෙන් මාධ්‍යවේදීන් මර්දනයට ලක්වීම රටට ම කැළලකි. ඉතා ම ප‍්‍රථමික මට්ටමේ දැනුමක් ඇති අයෙකු වුවත් නොකළ යුතු ආකාරයේ හැසිරීමක් පෙන්වමින් නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදීන් මර්දනය කරන්නට කළ උත්සාහය රටට පමණක් නොව ලෝකයට ම ප‍්‍රදර්ශනය විය. එම අපකීර්තියෙන් රට මුදා ගැනීමටනම් මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් කොට ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කොට මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කරන ලෙස, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ රටේ ජනාධිපති වන මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.

සීතා රංජනී -කැඳවුම්කරුග          සී. දොඩාවත්ත – ලේකම්

Archive

Latest news

Related news