Saturday, April 27, 2024

‘‘දෙරණ’’ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ලේකම්වරයාගේ කි‍්‍රයාමාර්ගයේ විනිවිදභාවය ගැටලූ සහගතයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසිනි.

අද දෙරණ ප‍්‍රවෘත්ති විකාශය හරහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ කතාවක් විකෘති කර විකාශනය කළ බවට චෝදනා කරමින්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දෙරණ රූපවාහිනී ආයතනයට එරෙහිව කි‍්‍රයා කර ඇති ආකාරය සම්බන්ධයෙන් ජනමාධ්‍ය සමාජය දැඩි අවධානය යොමු කළ යුතු බව ප‍්‍රකාශ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, විද්්‍යුත් මාධ්‍ය ආයතනයක් විසින් ආචාරධර්ම උල්ලංඝණයක් කළහොත් අගතියට පත් පාර්ශ්වයට පැමිණිලි කිරීමට හෝ පරීක්‍ෂණයක් කිරීමට හෝ ක‍්‍රමවේදයක් තිබේදැයි ප‍්‍රශ්න කර සිටී.

මුද්‍රිත මාධ්‍යයෙන් අසත්‍ය වාර්තාකරණයක්, විකෘති කිරීමක්, අගතියක්, අපහාසයක් වැනි ආචාරධර්ම උල්ලංඝණයක් සිදු වුවහොත් අගතියට පත් පාර්ශ්වයේ හානිය අවම කර ගැනීමට කි‍්‍රයා මාර්ග ගැනීමේ ස්වයං නියාමන ක‍්‍රමවේදයක් සහ ඒ සඳහා පාදක කොට ගන්නා ආචාරධර්ම පද්ධතියක් මාධ්‍ය ප‍්‍රජාව විසින් ම සකස් කොට ගෙන ඇත. එමෙන්ම මාධ්‍ය ප‍්‍රජාව විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇති, දුෂ්ට නීතියක් ලෙස හඳුන්වන රජය විසින් ඇති කළ ක‍්‍රමවේදය ද තව දුරටත් පවතී. එහෙත්, විද්‍යුත් මාධ්‍ය සඳහා එවැනි පැමිණිලි කිරීමේ හා ඒවා විභාග කිරීමේ යාන්ත‍්‍රණයක් හා ඒ සඳහා මඟ පෙන්වන පොදු ආචාරධර්ම පද්ධතියක් ද නැත. එවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය බලය ඇති පාර්ශ්වයකට අගතියක් වූ බවට චෝදනා කරමින් මාධ්‍ය ආයතනයට එරෙහිව පරීක්‍ෂණයක් සිදු කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ගෙන ඇති කි‍්‍රයාමාර්ගයේ විනිවදභාවය ගැටලූ සහගතය. එපමණක් නොව දෙරණ රූපවාහිනිය වාර්තා කරන පරිදි දින 7ක් ඇතුළත කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් දෙවැනි ලිපිය එවා ඇත්තේ ඒ සඳහා එක් දිනක් පමණක් ඉතිරිව තිබිය දීය.

fmmජනමාධ්‍ය ලේකම්වරයා විසින් මීට පෙර අවස්ථා කිහිපයක දී ද විචාරශීලී නොවන ආකාරයෙන් නිවේදන නිකුත් කර ඇති  ආකාරය හා කි‍්‍රයා මාර්ග ගෙන ඇති ආකාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිරීක්‍ෂණය කර ඇත. ඉතා බරපතල මුදල් විශුද්ධිකරණ චෝදනාවක් පවතින හෙයින් හා බොහෝ අවභාවිතාවන් සිදු වී ඇති බවට චෝදනා ඇති බැවින්, බොහෝ දෙනා නිහඬව සිටිය ද සීඑස්එන් නාලිකාවේ බලපත‍්‍රය තහනම් කිරීමට ගත් කි‍්‍රයා පිළිවෙත ද විචාරවත් පියවරක් ලෙස සැලකිය නොහැකිය. ඒකාබද්ධ විපක්‍ෂය යන නම භාවිතා නොකරණ ලෙසට ඉල්ලීමක් කරමින් මාධ්‍ය වෙත ලිපියක් යැවීම වැනි කි‍්‍රයා ඉහත කී නිරීක්‍ෂණයන් අතර වේ.

දෙරණ මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් ඇති වූ මෙම සිදුවීමෙන් ද පැහැදිලි වන්නේ, විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා පිළිගත හැකි ස්වාධීන හෝ ස්වයං නියාමන ක‍්‍රමවේදයක් සකස් කර ගත යුතු බවයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මීට පෙර ද අවස්ථා කිහිපයක පෙන්වා දී ඇති ආකාරයට, රජයේ ඇඟලි ගැසීම්වලින් තොරව, බලපත‍්‍රය උදුරා ගනීවියැයි බියෙන් තොරව නිදහසේ කටයුතු කළ හැක්කේ බලපත‍්‍ර දීමේ ස්වාධීන විකාශන අධිකාරියක් ඇති කර ගැනීමෙන් හා ආචාරධර්ම නියාමනය සඳහා ස්වාධීන/ස්වයං නියාමන ක‍්‍රමවේදයක් ඇති කර ගැනීමෙන් පමණි. ඒ සඳහා විද්‍යුත් මාධ්‍ය ප‍්‍රජාව එක්ව කටයුතු කළ යුතු මොහොත එළඹ තිබේ.

 

Archive

Latest news

Related news