Sunday, April 28, 2024

‘හොරු ඇල්ලීමේ ව්‍යාපාරය‘ ව්‍යවස්ථා සංශෝධනයෙන් වහන්න හදනවා. ජනමාධ්‍ය මර්ධනයට පාරම්බානවා

මේ රටේ මිනිස්සු අවුරුදු දෙකකට ඉල්ලා සිටියේ එක් දෙයක්. අරාබි වසන්තය විසින් ලෝකයේ ඒකාධිපතියෝ, දුෂිතයෝ, හොරු අපරාධකාරයෝ පාලනය කරපු ආණ්ඩු විනාශ කරපු තාලෙටම මේ රටේ හොරු – ඝාතකයෝ එලවා දැමීම. ඒ නිසාම තමයි ජනවාරි 8 වෙනිදා මේ ආණ්ඩුව බිහිවෙන්නේ. අපි අවුරුදු දෙකක් බලාගෙන හිටියා හොරු අල්ලනකල්. නමුත් අද මේ ආණ්ඩුවේ ඇමතිවරු හොරු අල්ලනවා වෙනුවට ඒ වෙනුවෙන් හඩ නගන ජනමාධ්‍ය මර්ධනය සදහා පාර්ලිමේන්තු වරප්‍රසාදය යොදා ගනිමින් තර්ජනය කරනවා යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

අගත අනගත දුෂිතයින්ට එරෙහිව මැයෙන් නිදහස් චතුරඝ්‍ර භූමියේ පැවති රැළියක් අමතමින් කථා කළ තෙන්නකෝන් මහතා තවදුරටත් පැවසූවේ, කොරියාවේ දුෂිත අගමැති ගෙදර ගියා. බ්‍රසීලයේ ජනාධිපතිනියට ගෙදර යන්නට වුණා. රුසියාවේ පරිවර්ථන ආර්ථිකයේ නියමුවෙකු ලෙස සැලකෙන ආර්ථික කටයුතු අමාත්‍යවරයා අත් අඩංගුවට පත් වුණා. කොරියාවේ අගමැතිනියට දුෂණ චෝදනා ගෙදර යන තැනට වැඩ සිද්ධ වෙලා තියෙනවා. පරණ හොරුත්, අලුත් හොරුත් එක හිර ගෙට ගාල් කරමු කියලා අපි අදත් සටන් පාඨ කියනවා. ඒක තමයි මෙයට අවුරුදු දෙකකට ඉස්සර ආණ්ඩු පිහිටවනකොට දුන්න පොරොන්දුව. ඒකම තමයි මීට අවුරුද්දකට ඉස්සර මෙතනට රැස්වෙලා ලෝක දුෂණ විරෝධී දිනයේ අපි වෙච්ච බලාපොරොත්තුව. නමුත්, අද අපේ රටේ අල්ලසට – දුෂණයට එරෙහි ව්‍යාපාරය බිමටම කුඩු පට්ටමක් වේගන යනවා.

අපිට යුක්තය අවශ්‍ය මිනිසුන්ට ඉටු කරන්නට බැරි වෙලා තියෙනවා. ප්‍රගීත් ට, ලලිත් කුගන්ට, වැලිකඩ තිරස්චීන යුක්තිය ඉටු කරන්නට බැරිවුණා. එයාර් ලංකා, වරාය අධිකාරිය, මහා මාර්ග අධිකාරිය, කොටින්ට සල්ලි දුන්න උදවිය, මිග් ගනුදෙනුව මේ ලැයිස්තුව ඉතා දිගුයි. ඔවුන් මේ ආණ්ඩුව සමග ඩීල් දමමින් සිටිනවා.

කිර්ති තෙන්නකෝන් රැස්වීම අමතමින්
කිර්ති තෙන්නකෝන් රැස්වීම අමතමින්

අද දවල් වෙනකොට පාර්ලිමේන්තු තුල සිදුවෙමින් ඇත්තේ කුමක්ද? ජනතාව ඉල්ලා හිටපු හොරු ඇල්ලීම වෙනුවට, ඇවන්ගාඩ් රකින කණ්ඩායම, ඒකට විරුද්ධ කණ්ඩායමට තර්ජනය කරනවා. දුෂණයට එරෙහි ව්‍යාපාරයට මඩ ගහනවා. අවලාද තියෙනවා. ඇගිල්ලෙන් ඇණලා හොරු පෙන්වන, ඇගිල්ලෙන් ඇනලා හොරකං කරන හැටි ඒවා යට ගහන හැටි කියන ජනමාධ්‍යයට තර්ජනය කරනවා. මේ වැඩේ කරන්නේ මෙතන ඉස්සරහා වාඩි වෙලා හිටපු අමාත්‍යවරුන් එක්ක ඉන්න තවත් ඇමතිවරු කණ්ඩායමක් කියලා අපි කියනවා.

අපේ බලාපොරෝත්තු එක එක ගිළිහෙන යුගයකට මේ වෙන විට අප එළැබෙමින් තිබෙනවා. මේ රටේ හොරු ඇල්ලව ව්‍යාපාරය අතහැර දමනවානම් මේ රටේ ප්‍රගතිශීලි කණ්ඩායම් බලාපොරොත්තු වූ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සිදු කරන්නට බෑ. ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරන, මැතිවරණ ප්‍රතිසංස්කරණ, 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාපොරොත්තු වූ නිදහස් කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම පිළිබද අපේක්ෂාව තවදුරටත් පවත්වා ගත නොහැකි වේවි.

යුක්තිය ප්‍රමාදවීම යුක්තිය ඉටු නොවීම හා සමානයි. යුක්තිය ඉටු කරන මාර්ගයේ මේ රජය ගමන් කරමින් සිටින්නේ ඉබිගමනේ. දුෂණය වලක්වන්නට අලුතෙන් එක් නීතියක් ගේන්න මේ රජයට හැකියාව ලැබුණේ නෑ. මේ ගැන ඉදිරිපත් කරනු කැබිනට් පත්‍රිකාව සම්මත වුණා. නමුත් අද දක්වාම ඒ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක නෑ.

අපි වත්මන් ආණ්ඩුවේ දෙවන වසර සමරන්නේ වංචනිකයින්, හොරුන් සමග ආණ්ඩුව ඩීල් දමාගනිමින් සිටින යුගයකයි. දුෂණ විරෝධී බලවේගය බිද වැටෙමින් පවත්නා යුගයකයි. මේ රටේ ජනතාව හොරුන් රැකීමේ ක්‍රියාවලිය, හොරුන් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ඉවසන්නට සුදානම් නෑ. හොරුන් සමග දඩයමේ යාම තවදුරටත් ඉවසන්නට සුදානම් නෑ.

අපි අද මේ රටේ ජනතාව සමග පාරට බැහැලා මේ රජයට කියන්නේ ‘මාස 22ක් ඔබ හොරු ඇල්ලීමේ ක්‍රියාවලිය අසමත්වෙලා තියෙනවා. දැන් හෝ මේ සදහා ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නැතිව රටට තවදුරටත් ඇස්බැන්දුම් අවශ්‍ය නෑ. කියන දේ අපි මේ රටේ සිවිල් සංවිධාන විධිහට පැහැදිලිවම කිව යුතුයි.

මෙම අවස්ථාවේ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්, චිත්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායක ඇතුළු පිරිසක් කථා කළ අතර, පූජ්‍ය පක්ෂය, රජයේ අමාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.

– දුෂණ විරෝධී පෙරමුණ විසිනි.

Archive

Latest news

Related news