Sunday, April 28, 2024

මාධ්‍යෙව්දී මොහමඞ් ගීත්ට පහරදීම පිටුපස ඇති දේශපාලන හස්තය සොයන්න – නි.මා.ව්‍යා.

ජායාරූපය: නැගෙනහිර මහ ඇමති අහමඩ් නසිර්,පිටුපස සිටින දේශපාලන හස්තය ද?

සෞඛ්‍යාරක්‍ෂිත නොවන ආකාරයෙන් පවත්වා ගෙන ගිය ප‍්‍රදේශයේ ආපන ශාලාවක් අසල රූපගත කිරීමක නිරත වූ නිසා 15 වැනි දින දහවල් සහ රාත්‍රී පහරදීමකට ලක් වූ මොහමඞ් ගීත් මහතා විසින් කරනලද පැමිණිල්ලට අනුව  පොලීසිය මේ වන විට පහර දීමට එක්වූ හෝටල් සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන නමුත්, මෙම සිදුවීම පසුපස කි‍්‍රයාත්මක වන දේශපාලන හස්තය සම්බන්ධයෙන් කරුණු සොයා අදාල පරීක්‍ෂණ කිරීමේ අවශ්‍යතාව පැහැදිලි වන සිදුවීම් පෙළක් මේ සිදුවීමට පසුපස තිබෙන බව පැහැදිලියයි පුවත් පත් ප්‍රකාශයක් නිකුත් කරන නිදහස්් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටී.

එම නිවේදනය පහත දැක්වේ:

තී‍්‍රකුණාමලයේ මාධ්‍යවේදියාට පහර දීම පසුපස ඇති දේශපාලන බලවේගය ගැන පරීක්‍ෂණයක් කළ යුතුයි.

සිය වෘත්තියට අදාල වාර්තා කිරීමක නිරතව සිටි තී‍්‍රකුණාමල ප‍්‍රදේශයේ හිරු රූපවාහිනී වාර්තාකරු මොහමඞ් ගීත් මාධ්‍යවේදියාට නොවැම්බර් මස 15 වැනි දින, පිරිසක් විසින් පහර දීම හා තර්ජනය කිරීම දැඩි සේ හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම සිදුවීම පසුපස ඇති දේශපාලන බලවේග ගැන පරීක්‍ෂණයක් කොට ඔවුන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී. එමෙන්ම ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නිදහසේ තම වෘත්තීය කටයුතු කරගෙන යෑමට නොහැකි ලෙස තම දේශපාලන බලපුලූවන්කාරකම් පෙන්වමින් ඔවුන් නිහඬ කිරීමට කටයුතු කරන දේශපාලන බලවතුන් පිළිබඳව සොයා බලා එවැනි සිදුවීම් යළි යළිත් නොවන්නට අදාල පියවර ගන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුලූ රජයට ද අවධාරණය කර සිටී.

මොහමඞ් ගීත් මහතා 15 වැනි දින දහවල් ප‍්‍රහාරයකට ද, එදින රාති‍්‍රයේ තර්ජනය කිරීමකට ද ලක්වී ඇත්තේ, සෞඛ්‍යාරක්‍ෂිත නොවන ආකාරයෙන් පවත්වා ගෙන ගිය ප‍්‍රදේශයේ ආපන ශාලාවක් අසල රූපගත කිරීමක නිරත වූ නිසා බව වාර්තා වේ. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුලූ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාල ආපන ශාලාව පරීක්‍ෂාවකට ලක් කොට නුසුදුසු ආකාරයෙන් ගබඩා කර තිබූ ආහාර ද්‍රව්‍ය තොගයක් පිටපත ඉවත් කොට තිබූ අතර මොහමඞ් ගීත් මාධ්‍යවේදියා එහි පැමිණ එම සිදුවීම රූපගත කොට ඇත. තී‍්‍රකුණාමලයේ දිස්ති‍්‍රක් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් ප‍්‍රකාශ කරන ආකාරයට එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි දේශපාලනඥයකුගේ මාධ්‍ය ලේකම්වරයෙක් ලෙස හඳුන්වා දුන් පුද්ගලයෙන් මාධ්‍යවේදියාට තර්ජනය කර ඇති අතර ආපන ශාලාවේ සේවකයින් එක් වී පහර දී ඇත. අවට සිට අයගේ සහායෙන් ඉවතට ගිය මාධ්‍යවේදියා බිය නිසා නිවසකට වී සිටි අතර, රාති‍්‍රයේ ඔහුගේ දෙමාපියන්ගේ නිවසට ගිය පිරිසක් ගේට්ටුවට ගසමින් ඔහුට තර්ජනය කොට ගොස් ඇත. සහෝදර මාධ්‍යවේදීන් දැනුවත් කොට ඔවුන් සමඟ 16 වැනි දින පොලීසියට ගොස් සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කොට ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත වී ඇත.

පැමිණිල්ලට අනුව කි‍්‍රයාත්මක වූ පොලීසිය මේ වන විට පහර දීමට එක්වූ හෝටල් සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන නමුත්, මෙම සිදුවීම පසුපස කි‍්‍රයාත්මක වන දේශපාලන හස්තය සම්බන්ධයෙන් කරුණු සොයා අදාල පරීක්‍ෂණ කිරීමේ අවශ්‍යතාව පැහැදිලි වන සිදුවීම් පෙළක් මේ සිදුවීමට පසුපස තිබෙන බව පැහැදිලිය. තී‍්‍රකුණාමල දිස්ති‍්‍රක් මාධ්‍යවේදීන්ගේ සංගමයේ මාධ්‍යවේදීන් ප‍්‍රකාශ කරන ආකාරයට ආපන ශාලාව සතියකට වසා දමා සුදුසු පරිදි එය සකස් කර විවෘත කරන ලෙසට අවවාදයක් ලැබී තිබියදී 16 වැනි දින ද එය විවෘත කොට තිබුණේ පළාතේ මහ ඇමැතිවරයා විසින් එසේ කරන ලෙසට ලබා දුන් දේශපාලන බලය නිසාය. මාධ්‍යවේදියාට පහර දීමෙන් නොනැවතී රාති‍්‍රයේ නිවසට ද ගොස් තර්ජනය කිරීමට පෙළඹුණේ එම දේශපාලන ශක්තිය නිසාය. මෙය මාධ්‍යවේදීන්ට ඉතා අහිතකර තත්ත්වයකි. යහපාලනය සඳහා මාධ්‍යවේදීන්ට නිදහසේ සිය වෘත්තීය කටයුතු කරගෙන යෑමට සුදුසු පරිසරයක් ගොඩනැගිය යුතුය. ඒ සඳහා පොරොන්දු දී බලයට පත් වූ රජය වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර සිටින්නේ, අකටයුතුකම් සඳහා පාවිච්චි කරන දේශපාලන බලය අනාවරණය වීම වැළැක්වීම සඳහා මාධ්‍යවේදීන් දඩයම් කරන්නට ඉඩ නොදෙන ලෙසයි. ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසයි.

Archive

Latest news

Related news