ජායාරූපය: හිනා වුනාට මදි, වැඩක් කරලා පෙන්නන්න.
රටක යුද්ධයක් පවතින විට යුද හමුදා එම සමාජයේ ප්‍රධාන භූමිකාවක් බවට පත්වන්නේ නිතැනිනි. ලංකාවේ යුද්ධය පැවති කාලය තුල ද හමුදාවන්ට එම තත්වය හිමිවිය. එතෙක් ලංකා සමාජය සමාජයක් වශයෙන් පවත්වා ගත් සිවිල් සමාජ වටිනාකම් අවතැන් කර හමුදා කාර්යන් එතැනට ආදේශ කර ගනු ලැබීය. (සාමය සහජීවනය සහ අවිහිංසාව වෙනුවට පහරදීම යටපත් කිරීම සහ හිංසනය ආදේශ විය). ඒ වාගේම යුද්ධය විසින් සමාජය තුල තම තමන්ගේ හමුදා වීරත්වයකට පත් කෙරුණි. එක පැත්තක ‘රණවිරුවන්’ අනෙක් පැත්තේ ‘මහවිරුවන්’ වශයෙන්ය. යුද්ධය අවසන් වන විට, එනම් රජයේ හමුදාවන් විසින් එල්ටීටීඊ හමුදාව විනාශ කර දමන විට උතුරේ සමාජය පරාජයේ සංවේගය තුලත් දකුණේ සමාජය ජයග්‍රහණයේ උද්දාමයෙන් යුද්ධෝන්මාදය තුලත් හිරකරනු ලැබුණි.
යුද්ධය කාලය තුල හමුදාවන්ට පූජනිය තත්වයක් ආරූඨ කරමින් විශාල ප්‍රචාරණයක් ලංකා රජය විසින් අරඹන අතර අසරණ මිනිසුන් දෙමළ මිනිසුන් කොටි ත්‍රස්තයන් අතින් මුදවා ගැනීම වැනි පාඨයන් සමාජ ගත කරනු ලැබුණි.
රට ත්‍රස්තයන් අතින් මුදවා ගැනීමේ වීරවත්වයක් දරණ සෙබලාට ගැබිණි මවක් පවා බසයක අසුන් ප්‍රදානය කරන අයුරු රූපවාහිනී මගින් සමාජ මනසට කාවද්දනු ලැබුණි. මේ හමුදා පූජනීය බවට පත් කිරීමම සෙබල ඇඳුම ඇති තරුණයන්ට පෙම් බඳින තරුණියන් රොද බන්දන හමුදා වන්දනීකරණය කරන මානසිකත්වයකට සමාජය ඇද දමනු ලැබේ.
මෙසේ යුද්ධය අවසාන අවදියේ ඇති කරන හමුදා වන්දනීය සමාජ මානසික මට්ටම තමන්ගේ පල ප්‍රයෝජනයන් සඳහා උපයෝගී කර ගන්නා රාජපක්ෂ රෙජීමය නොනවත්වාම ඒ තත්වය සමාජ ගත කර ගනු ලැබීය. නිත්‍ය යුද්ධයක බිය විවිධ හමුදා කල්ලි (නිල ලත් හෝ නොලත්) මගින් සමාජයතුල හොල්මන් කරවනු ලැබූහ. (ග්‍රීස් යකුන් වැනි කණ්ඩායම්) ඒ තුලම තම පැවැත්ම තහවුරු කරන ඔවුන් රටේම සම්පත් තමන්ට රිසි ලෙස තම ග්‍රහණයට ගත්හ. රට මුදා ගත් හමුදා පිළිබඳ ප්‍රශ්න කිරීම පාපයක් බවට පත් වූ අතර එම යුධ වීරත්වයේ මුදුන් මල්කඩ ලෙස රාජපක්ෂ දෙබෑයන් නම් කර ගැනිණ.
නමුත් 2015 ජනවාරි 08 ජය මෙම යුද්ධෝන්මාදයෙන් ටික කලකට සමාජයත් දේශපාලනයත් ඈත් කරනු ලැබුවේය. එදා ජයෙන් පසු යුද්ධය කාලයේ විශේෂයෙන්ම යුද්ධයෙන් පසු හමුදා කණ්ඩායම් දේශපාලන උවමනාවන් මත කළ අපරාධ පිලිබඳ සමාජය තුල කතාබහක් ඇතිව තිබුනි. අපරාධයන් පිළිබඳ සොයාබලා ඒවාට වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම පිළිබඳ කතා බහක් සමාජ ගතව තිබුනි. යුධවිරුවන් හෝ රණවිරුවන් වූ පලියට අපරාධයක් කර ඇත්නම් ඔවුනට නීතිය ඉදිරියේ පෙනී නොසිටීමට තිබූ තත්වය නැතිවීම විය යුතු බව ගැන සංවාදයක් සමාජය තුල ඇරඹුනි.
යහපාලයක් රටතුල ඇති කිරීම අරමුණු කර ගනිමින් එතෙක් හමුදාකරණයට හසුකර පැවති සිවිල් පාලන තන්ත්‍රය ක්‍රමවත්ව නැවත සිවිල් නිලධරයන් යටතට පත්කර ගැනීම ඇරඹුනි. රාජපක්ෂ රෙජීමය විසින් හමුදාකරණයට පත්කර තිබූ තානාපතිපසේවාව නැවත රාජතාන්ත්‍රික තානාපති සේවාව දෙසට හැරවීම ඇරඹිණ. ඉතා සෙමෙන් වුවද, අවශ්‍ය ප්‍රමාණය නොවූවා වුවද යහපාලනයක් දෙසට රට ගමන් කරවීම ඇරඹුනි. නමුත් දැන් දැන් ක්‍රමක්‍රමයෙන් එම ගමන අමතක වූ බවක් රටේ දේශපාලන නායකත්වය පෙන්නුම් කරමින් පවතී. මහබැංකු බැදුම්කර ප්‍රශ්නයෙන් ආග්‍රාමාත්‍යවරයාත්, පසුගියදා රණවිරුවන් උසාවිවලට දක්කාගෙන යාම ගැන ජනාධිපතිවරයා කළ කතාවත් තුලින් මෙය පෙන්නුම් කිරීම අරඹා ඇත. එදා අවපාලනය, අවනීතිය ක්‍රියාත්මක කරවීමේ නියමුවන් වූ රාජපක්ෂලාට දණ්ඩු මුක්තිය ලබාදීමේ රහස් ගිවිසුම් සහ එකගතාවලට නව පාලනයේ නායකත්වය ගොස් ඇති බව දැන් දැනි් හෙළිවෙමින් පවතී.
‘මාළුවාගේ කුණුවීමේ ගද පිටවීම ඇරඹෙන්නේ මාලුවාගේ ඔලුවෙනි’ කියා කියමනක් තිබේ. අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් දෙදෙනාම හොරුන් සහ මිනීමරුවන් ආරක්ෂා කරන තත්වයකට පත්වන්නේ නම් ඉන්පසු රටේ රාජ්‍ය යන්ත්‍රය සහ රාජ්‍ය තන්ත්‍රය පැරණි සුපුරුදු තත්වයට එනම් රාජපක්ෂලාගේ දුර්ධාන්ත පාලනය දෙසට නැවත පත්වීමට කල් ගත නොවේ. ඒ එම ජරාජීර්ණ අධම පාලනය ලංකා සමාජ දේශපාලනයට ඉතා සාමාන්‍යන් හුරු සහ එහි නිලධර පන්තිය තුල එය රෝගයක් ලෙස නිදන් ගතව පවතින බැවිනි.
යහපාලනයක් පවතින රටක හමුදාවන් අයත් වන්නේ කඳවුරු තුලටය. යහපාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් හමුදාවන් උත්තමත්තයකට පත්කරමින් නිතර හමුදාවන් සමාජ කරලියට ගෙන නොයෙති. රටේ ආපදාවකදී හෝ ආරක්ෂක කාරණවලදී මිස ඔවුන් කඳවුරුවලින් ඉවතට නොකැදවති. කිසියම්ම අයුරකින් සිවිල් සමාජ ජීවිතයට, සිවිල් පාලනයට හමුදාවන් ඈදා නොගනිති. හමුදාවන් තම රාජකාරියේදී සිවිල් නීතියට පමණක් නොව හමුදාවටම විශේෂ වූ නීතිවලට ද යටත් විය යුතුය. ඔවුන් දැඩි විනයක් පවත්වා ගත යුතු කණ්ඩායමකි. ඒ ඔවුන් ආයුධ දරණ කණ්ඩායමක් බැවිනි. ඔවුන් කළ වරදකදී ඔවුනට සිවිල් නීතිය යටතේ මෙන්ම හමුදා නීතිය යටතේද දඬුවම් පමුණුවති. ඒ ඔවුන් විනයගරුකව ජීවත් වීමට දිව්රුම් දී සිටින බැවිනි. මොනයම්ම හේතුවක් නිසාවත් කිසියම්ම හමුදා නිලධාරියෙකුට දණ්ඩ මුක්තිය හිමි නොවෙති. යම්කිසි රටක හමුදාවනට බලයේ සිටින දේශපාලන කණ්ඩායමට දණ්ඩ මුක්තිය හිමිවේනම් එම රට තුල ඇත්තේ යහපාලනයක් නොව ඒකාධිපති අත්තනෝමතික අවනීතික පාලනයකි. අපරාධකරුවන් ආරක්ෂා කිරීම යනු අපරාධයනට අනුබලදීමකි.
මේ රටේ මිනිසුන් විශාල ප්‍රමාණයක් හිතුමතේ මරා දැමූ බව නිදහසින් පසු ලංකාවේ පසුගිය වසර 46 ක ඉතිහාසයයි. දහස් ගණනින් මිනිසුන් අතුරුදහන් කර ඇත්තේ හරියට ඔවුන් හාස්කමකින් අන්ත්‍රස්දාන වූවා සේ ඔවුන් ගැන සුළගක් වත් ඔවුනගේ ඥාතීන්ට හිතවතුන්ට ඉතිරි නොකරමිනි. ගෙයින් එළියට ගිය තරුණයා හෝ තරුණිය ඊළඟ මොහොතේ මහමග අසළ මළකඳක් ලෙස හමුවූ ඥාතීන් කී දහසක් නම් මේ රටේ සිටීද?රාජපක්ෂ රජය සමයේ මෙසේ සිදුවූ ප්‍රමාණය කොතරම්ද? අද ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බලයේ සිටින්නේ රාජපක්ෂලාගේ ඒ අවපාලනය නිසාම එයට එරෙහි වූ ජනයාගේ ඡන්දය තුලින් මිස මෙම නායකයින් තුල තිබූ වෙනත් විශාල ගුණාත්මක අගයක් නිසාවෙන් නොවෙති.
බලය රාජපක්ෂලාගෙන් මාරු කිරීමේ මූලික හේතුව වූයේ පෙර කාලවලදී මෙන් ‘ඇට අට’ ලබා ගැනීමටවත් හාල් සේරුව හෝ කරෝල කෑල්ල අඩුවට ගැනීම ආදී කාරණා මුල්කර ගෙන නොවේ. රටේ සිදුවන දූෂණයන් සහ අපරාධයන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක් ඇතිකර වීම එම ඡන්දදායකයාගේ අරමුණු විය. වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනඒමට ජනාවාරි 08 ට පෙර අද බලයේ සිටින අය එදා පොරොන්දු වීය. වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම මිස රාජපක්ෂ යුගයේ මෙන් වරදකරුවනට දණ්ඩ මුක්තිය හිමිකර දීම ඔවුන්ගේ අරමුණ නොවීය. ඔවුන් එදා ඡන්දය දුන්නේ හොරුන් සහ මිනීමරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම පිණිසයි.
නමුත් දැන් දැන් නැවත සිදුවෙමින් පවතින්නේ හොරුන් ආරක්ෂා කිරීම සහ මිනීමරුවන් සුරැකීම බව ක්‍රමක්‍රමයෙන් පැහැදිලි වෙමින් පවතී. මොනයම් නීති ක්‍රමයක් තුල වුවද අපරාධකරුවන් ආරක්ෂා කරන්නේ නම් එය අපරාධයන්ට අනුබල දීමකි. එතුලින් සිදුවන්නේ අපරාධයන් තව තවත් මුල් අදිමින් ලියලා යාමයි. රටක නායකයින් අපරාධකරුවන් ආරක්ෂා කරන්නේ නම් එම රටම ක්‍රමක්‍රමයෙන් අගාධය වෙත ගමන් කරයි. අද වන විට සිදුවෙමින් තියෙන දෙය හොද නැති බව පෙන්නුම් කෙරේ. රටේ ප්‍රධාන අපරාධයන් විශාල ප්‍රමාණයට වගකිවයුතු විශේෂ හමුදා කණ්ඩායම් සහ ඒවාට අණදුන් දේශපාලන නායකයන් තාමත් කිසිම අවහිරයකින් තොරව සමාජයේ වැජඹේ. ලසන්ත ඝාතනය, එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම, තාජුඩීන් ඝාතනය ආදිය මේ රටේ දස දහස් ගණනින් අතුරුදහන් කළ සහ මරාදැමූ මිනිසුන් වෙනුවෙන් පවතින සංකේතාත්මක අධිකරණ ක්‍රියාදාමයන්ය. මෙවායේ චූදිතයන් දණ්ඩ මුක්තිය ලබත් නම් එයින් කියවෙන්නේ රට තුල දේශපාලන වෙනසක් සිදුවී නැති බවයි. පැවති අවපාලනයම ඒ අවනීතියම තවදුරටත් රජයන බවයි. එම අපරාධයනට වගකිවයුුතු අය හෙලිකර ගැනීමට දේශපාලන නායකත්වයට නොහැකි නම් එහි ඇත්තේ එම අපරාධය එලිකර ගැනීමට ඇති නොවුමනාව සහ එතුලින් අපරාධයනට අනුබල දීමකි.
දැන් ඡන්ද දායකයා තමන් වෙනුවෙන් පෙනී සිටීමට පෙළ ගැසිය යුතු කාලය උදා වී ඇත. තමන් පත්කළ රජය ඔවුනගේ පොරොන්දු ඉටු කිරීමට සූදානම් නැත්නම් මෙම පාලකයිනට ඔවුන්ගේ වගකීම නැවත නැවතත් මතක් කර දීම සමාජයේ යුතුකමයි. හෙට වන විට එය ප්‍රමාදවී වැඩි වී තිබීමට ඉඩ ඇති බව අද සිදුවන සිදුවීම් වලින් සහ දේශපාලඥයින්ගේ කියමන්වලින් පෙන්නුම් කරයි. ඡන්දය දීමට අයිතිය තිබීම පමණක් ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ඒවාගේම ඡන්දයෙන් පසු ක්‍රියාකාරීව පාලනයට බලපෑම් කරමින් තම සිතැගි ඉටු කර නොගන්නා ඡන්දදායකයා තම ඡන්දය තුලින් කරනුයේ ඊළඟ වසර ගණනාව එනම් එම රජයේ ධූර කාලය තමන්ට එරෙහිව වැඩ කිරිම සඳහා එක්තරා කණ්ඩාමකට තම ඡන්දය තුලින් නීත්‍යානුකූල අයිතිය පැවරීමක් පමනි.