Tuesday, July 16, 2024

ලසන්ත ඝාතනය: දිවිනසාගත් බුද්ධි අංශ නිලධාරියා සිය ලියුම නිවසේදී ලියූ බවට සාක්ෂි නැහැ!

සන්ඩේ ලීඩර් ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කළේ තමා යැයි සඳහන් කරමින් පසුගිය 14වනදා සිය දිවිනසාගත් කෑගල්ල, කරඩුපන ප්‍රදේශයේ පදිංචි හිටපු යුධහමුදා බුද්ධි අංශ සැරයන් ඉලන්දරගේ ජයමාන්න නැමැත්තාගේ ඇඟිලි සටහන් ලබා ගෙන ඒවා ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෝටර් රථයේ ඇඟිලි සලකුණු සමග සැසඳු බවත් ඒවා එකිනෙක නොගැලපුණ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 27වනදා අධිකරණයට දැනුම් දී ඇත.

වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් බවට පවසමින් දිවිනසාගත් විශ්‍රාමික හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයාගේ නිවස පරීක්ෂා කළත් ඔහු දිවිනසා ගැනීමට පෙර ලියුමක් ලිවීමට යොදාගත් කොපි පොතේ පිටුව ඇතුළත් විය යුතු බව සැක කළ හැකි පොතක් හෝ ඒ සඳහා යොදා ගත් පෑන හෝ සොයාගැනීමට නොහැකි වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අනාවරණය කර තිබේ.

මොහු අවසන්වරට ලියූ බවට සැක කෙරෙන ලියුම අනුව හමුදා බුද්ධි අංශ සාමාජිකයින් තම රාජකාරියට පටහැනිව අපරාධ සිදු කර ඇති බවට තහවුරු වන බවත් හමුදා බුද්ධි අංශයේ රාජකාරිය වන්නේ තොරතුරු ඒකරාශී කිරීම හා කලමණාකරණ කිරීම වුවද දිවිනසාගත් හිටපු බුද්ධි අංශ නිලධාරියා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ බවට පිලිගැනීමෙන් පෙනී යන්නේ ඔවුන් අපරාධද සිදු කර ඇති බව යැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියි.

මොහු සියදිවි නසාගැනීමට පෙර ඔහු අවසන්වරට සේවය කළ හමුදා කඳවුරෙන් ලද කැඳවීමකට අනුව දින තුණක් එම කඳවුරේ සිටි බවත් එහි සිට පැමිණ ඔහු දැඩි කලකිරීමකින් සිටි බවත් එම හමුදා සෙබලාගේ බාල සහෝදරයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

හෙළිදරව් වෙමින් පැවති ලසන්ත ඝාතනයේ පරීක්ෂණ වෙනතකට යොමු කිරීමේ අරමුණෙන් ඝාතකයන් මෙම විශ්‍රාමික යුධහමුදා බුද්ධි අංශ සැරයන්වරයාව ඝාතනය කළේදැයි මේ අනුව රට තුළ සැකයක් පැනනගිමින් තිබේ.

– ලංකා ට්රුත්

Archive

Latest news

Related news