සුනන්ද දේශප්‍රිය විසිනි
( සිසු ඝාතනය පිළබඳ අපක්ෂපාත පරික්ෂණයක් ඉලලා යාපන සරසවි සිසු සංගමය උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට යවන ලද ලිපියට සිහලයෙන් එවන ලද ආණ්ඩුකාර පිළිකුරු ලිපිය ආපසු යවමින් සිසු සංගමය කළ සටහන: ඔබ කියන දේ අපට තේරෙන්නේ නෑ; සිංහල වගේම දෙමළත් රාජ්‍ය භාෂාවක්)
දේශපාලන භූමියෙන් අතුගා යනනට ඔන්න මෙන්න කියා තිබියදී එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා ජනවාරි විප්ලවයේ නාමයෙන් මංත්‍රීධූර ලබා ගත් චම්පික රණවකගේ ජාතික හෙළ උරුමය දැන් යළි දකුණ ජාතිවාදයෙන් මුසපත් කිරිමේ මාවතට එලඹෙමින් තිබෙන බවට සැක කල හැකි වර්ධනයන් දැන් විද්‍යාමාන වෙයි.
ශ්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් ජනයාට එරෙහිව වෛරය ඇවිලවිම පිණිස සහ සමූළ ඝාතක යුද්ධය සාධාරණ කරනු පිණිස පොත් පිංච ගණනාවක් ලියූ චම්පික රණවක තාවකාලිව ඉවත් කරන ලද ජාතිවාදී හැව යළි පොරවා ගැනීමට යන බව එම පක්ෂය මෑත කාලයේදී කරන ලද ප්‍රකාශ ගණනාවකින් පෙනෙන්නට තිබේ. කෑලිවලට කැඩී ගිය සිය පක්ෂයට ගො ආ හැක්කේ නග්න ජාතිවාදය මගින් යැයි ඔහු කල්පනා කරනවා වියහැක.
ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ සමයේ රාජපක්ෂ විරෝධී සහ ජාතිවාද විරෝධී ජනබලවේගයන්ගේ නැගීම හමුවෙහි නග්න ජාතිවාදයෙන් ඉවතට ගමන් කළ හෙළ උරුමය පෙනී සිටියේ ජනවාර්ගික සංහිදියාව වෙනුවෙනි.
එසේ නමුත් එහි ජාතික සංවිධායක වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ හරහා යළි සිය ජාතිවාදී දෙමළ මුස්ලිම් විරෝධී පදනම කරා ගමන් කිරීමට දැන් චම්පික රණවක උත්සාහ දරනු පෙනේ.
යාපනයේ සිසු ඝාතන සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ජාවක් පැවැත්වු හෙළ උරුමය වසර ගණනාවක් සිරගතව සිට නිදහස් වූ හිටපු එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් මර්ධනය කරන ලෙස ප්‍රසිද්ධ සාහසික ඉල්ලීමක් කර තිබේ. එම පුවත් පත් සාකච්චජාවහිදී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියා ඇත්තේ උතුරෙහි සිදුවන ප්‍රචන්ඩ ක්‍රියාවන්ට වගකිය යුත්තේ එකී නිදහස් වූ හිටපු එල්ටීටීඊ පිරිස් බවයි. මැර ක්‍රියාවන්ට සම්බන්ධයැයි ප්‍රචාරය වන ‘ආවා’ කණ්ඩායම හෙළ උරුමයට අනුව හිටපු එල්ටීටීඊ පිරිස්වලින් සැදුම් ලද ප්‍රචන්ඩ කල්ලියකි. එසේ නමුත් අද පාර්ලිමේන්තුවෙහිදී චම්පික රණවකගේ අමාත්‍ය මංඩල සගයකු ද වන ඇමැති සාගල රත්නායක කියා සිටියේ ඊනියා ‘ආවා’ කල්ලිය රාජපක්ෂ සමයෙහි යුද හමුදා බුද්ධි අංශ විසින් කරන ලද නිර්මාණයක් බවයි. මේ බව සනාථ කැරෙන ලිපියක් අද ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියෙහිද පළ වී තිබේ.
නිරායුද දෙමළ සරසවි සිසුන් දෙදෙනෙකු පොලීසිය විසින් ඝාතනය කිරීමද හෙළ උරුමය විසින් වක්‍ර ලෙස සාධාරණය කරනු ලබයි. හෙළ උරුමයට අනුව දෙමළ ජනයා ජීවත්වන පෙදෙස්හි පොලීසියට නිරායුධ ජනයා ඝාතනය කිරීමට අයිතිය තිබිය යුතු ය.
සිසුන්ට වෙඩි තැබීම වරදක් බව පොලීසිය පවා පිළිගෙන තිබියදී චම්පික රණවකගේ හෙළ උරුමය එම ඝාතනය සාධාරණ කරන්නේ මෙසේ ය: ‘‘මේ වෙඩිතැබීම සිදුව තිබෙන්නේ මාර්ග බාධකයකදී පොලිස් අණ නොතකා යතුරු පැදිය ධාවනය කළ නිසයි. මෙලෙස පාන්දර 03ට පමණ පොලිස් අණ නොතකා ධාවනය කරන්නේ හොරුද?, මංකොල්ලකාරයෝද? එහෙම නැත්නම් සරසවි ශිෂ්‍යයෝද කියලා පූර්ව නිගමනය කිරීමට විශේෂ හැකියාවක් අපේ පොලිස් නිළධාරීන්ට නැහැ. මෙහිදී යතුරු පැදිය නොනවත්වා ධාවනය කර වරදකර ඇත්තේ සරසවි සිසුන් දෙදෙනායි. මෙහිදී පොලීසියට වගකීම පැවරීම නොහැකියි.’’ (ලංකා ඊ නිව්ස් වාර්තාවකි)
හෙළ උරුමය මෙසේ ප්‍රකාශ කරන්නේ අණ නොතකා ධාවනය කැරෙන වාහනයකට වෙඩි තැබීමට අයිතියක් නීතියෙන් නොමැති බව පොලිස් කොමිසම පවා ප්‍රකාශ කර තිබියදීය. හෙළ උරුමයේ මේ කැලෑ නීතිය රාජපක්ෂ සමයේ තිබුණාටත් වඩා භයානක ජාතිවාදී ප්‍රවිශ්ධයකි.
මේ අතර “ඔබලාට කැමති නම් මැච් එක පටන් ගන්න. අපි මැච් එක ඉවර කරන්නම්” යයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ එම මාධ්‍ය හමුවකදී පැවසූ බව තව දුරටත් ලංකා ඊ නිව්ස් වාර්තා කර තිබේ.
මෙයින් පෙනෙන්නේ යළි දෙමළ ජනයාට විරුද්ධ ප්‍රචන්ඩ උසි ගැන්වීම සඳහා හෙළ උරුමයේ සූදානමයි.
අනෙක් අතට එවැනි ප්‍රචන්ඩත්වයන් මුදා හැරිමට අවශ්‍ය පසුබිම දෙමළ අන්තවාදී පිරිස් විසින් සිංහල අන්තවාදීන්ට ලබා දෙමින් සිටින බව මෑත සිදුවිම් විසින් පෙන්නුම් කරයි. බීමත් පිරිසක් විසින් ඊයේ එනම් කිලිනොච්චියේදි ඇති කරන ලද කළහකාරිත්වය එකී අන්තවාදී දේශපාලන වර්ධනයන්ගේ පිළිඹිබුවකි. උතුරු නැගෙනහිර බෞද්ධ පිළිම යනාදිය විනාශ කිරීමටද අනුබල ලැබෙන්නේ වගකිම් විරහිත අන්තවාදි දෙමළ දේශපාලනඥයින් අතලොස්සක් නිසාය. ඉන්දියාවෙහි මෙන් සිව සේනා නමින් හින්දු අන්තවාදි සංවිධානයක් වවුනියාවෙහිදි පිහිටුවන ලද බවට ද මැතදී වාර්තා පළ විය. මහ ඇමැති විග්නේශවරන්ගේ සම්මුති විරෝධී දේශපාලන ප්‍රවිශ්ධය සහ දෙමළ ජනයාගේ අයිතීන් සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන උදාසීන පිළිවෙත මෙම තත්වය උග්‍රවීමට ඉඩ සළසයි.
එමෙන්ම 1990 සමයෙහි යුද හමුදා පිරිස් විසින්ම ජනතා විමුක්ති පෙරමුණ නමින් හිටපු ජවිපෙ පිරිස් ලවා එම ශෛලියෙන්ම ජවිපෙ එක මරණයකට යුද හමුදාවේ දොළහක් මරණ බවට දැවැන්ත පෝසටර් ඇලවූ බවද අප අමතක නොකළ යුතුය. යුද හමුදා මුර සංචාර තීව්ර කර තිබූ නගර මධ්‍යයන්හි පවා ඇලවුන එවැනි ‘එකට දොළහයි’ පෝසටර් දින ගණන් නිරුපද්‍රිතව තිබුණි. පසුව ජවිපෙ විසින් මුදහැර තිබූ ප්‍රචන්ඩත්වයට එරෙහි දැවැන්ත මර්දනයකට අවශ්‍ය පසුබිම නිර්මාණය කැරුණේ එවැනි ප්‍රචාරයන්ද හරහාය.
දෙමළ සමාජය ද සිංහල සමාජයද මුස්ලිම් සමාජය ද වාර්ගික අසමගියෙන් සහ ප්‍රචන්ඩත්වයන්ගෙන් ඇති තරම් බැට කා තිබේ. යළි එවැනි ආරවුලක් ඇති කර ගැනීමට දෙමළ සමාජයට අවශ්‍ය නැත. එසේ නමුත් දකුණේ මෙන්ම උතුරේද පටු දේශපාලන ජනප්‍රියත්වය සඳහා අන්තවාදය යොදා ගැනීම දැන් යළි ඉහළ යමින් තිබේ.
පාලනය කළ නොහැකි විශම චක්‍රයක් කරා එලඹීමට පෙර මෙම අන්තවාදී ප්‍රවණතාවයන් ආමන්ත්‍රණය කැරෙන සැබෑ සමෝධාන සංහිදියා ව්‍යාපාරයක අවශ්‍යතාවය අද කවරදාකටත් වඩා අවශ්‍යව තිබේ.