Thursday, May 2, 2024

සම්පන්දන් ඝාතන කුමන්ත්‍රණය: කරුණාකර විග්නේෂ්වරන්ට සවන් දෙන්න – සුනිල් ජයසේකර

( සම්පන්දන් මහතා ශ්‍රී ලංකවෙහි දූත මෙහෙවරක නිරතව සිටින සුළුතර අයිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අද  එනම් 19දා හමුවීම – ජායාරූපය ටීඑන්ඒ)

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත සිදුකර ඇති සුවිශේෂි හෙළිදරව්වක් පිළිබඳව මේ රටේ වගකිවයුත්තන් මෙන්ම සමාජය ද පුළුල් අවධානයක් යොමුකළ යුතුව තිබේ. විග්නේෂ්වරන් මහතා සිදුකර ඇති මෙම හෙළිදරව්ව ඉතා වැදගත් වන්නේ එය අප රටේ දේශපාලනයට අදාළව තීරණාත්මක වැදගත්කමකින් යුත් එකක් වනවාට අමතරව එය ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාළව ද තීරණාත්මක වැදගත්කමක් උසුලන කාරණාවක් නිසාය.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත සිදුකර ඇති හෙළිදරව්ව වන්නේ ශ‍්‍රී ලංකාවේ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඝාතනය කිරීම සඳහා ඇති සැලැසුමක් පිළිබඳවයි. රටේ  ඕනෑම පුරවැසියෙක් සිදුවිය හැකි අපරාධයක් පිළිබඳව තමන් දන්නා තොරතුරක් වගකීමකින් යුක්තව පොලිසිය වෙත කරන දැනුම්දීමක් සැලකිය හැක්කේ පැමිණිල්ලක් ලෙසය. ඒ අනුව සැලකීමේදී පැමිණිල්ල සිදුකර ඇත්තේ රටේ ප‍්‍රමුඛ දේශපාලනඥයෙක් විසිනි. එපමණක් ද නොව ඔහු මේ රටේ හිටපු කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු ද වන්නේය. අනෙක් අතට පැමිණිල්ල යොමුකර ඇත්තේ රටේ පොලිස්පතිවරයා වෙතයි. ඒ ගැන සලකා බැලීමේදී පැමිණිල්ල ඉදිරිපත් කර ඇති පුද්ගලයා ද පැමිණිල්ල යොමුකර ඇති නිලධාරියා ද රටේ ඉහලම මට්ටමේ අය වීම තුළ ඒ ගැන සුවිශේෂි අවධානයක් නිරායාසයෙන්ම යොමුවිය යුතුව තිබේ.

විග්නේෂ්වරන් මහ ඇමතිවරයා සිදුකර ඇති පැමිණිල්ලට අනුව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති කුමන්ත‍්‍රණයේ ප‍්‍රධාන අරමුණ වී ඇත්තේ එකී ඝාතනයේ වගකීම කොටි සංවිධානය වෙත බැර කිරීමටය. ඒ සඳහා කිසියම් පිරිසක් තවත් කණ්ඩායමක් වෙත කොන්ත‍්‍රාත්තුවක් ලබා දී ඇතැයි පැවසෙන අතර සම්බන්ධන් මහතා ඝාතනය කිරීම වෙනුවෙන් ගෙවීමට එකඟ වී ඇති මුදල රුපියල් මිලියන විසිපහක් පමණ වෙතැයි කියැවේ. ප‍්‍රධාන අමාත්‍යවරයා පොලිස්පතිවරයාට සිදුකර ඇති පැමිණිල්ලෙහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ඔහුට මේ තොරතුරු ප‍්‍රථමයෙන්ම ලැබී ඇත්තේ ඔහුගේ විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබුණ ඊමේල් පණිවුඩයක් මගින් වන බවය. ඉන් දින කිහිපයකට පසු බම්බලපිටියේ පදිංචි සිංහල ජාතිකයෙකු විසින් ලබා දී ඇති දුරකථන පණිවුඩයක් මගින් ද අදාළ තොරතුරු තවදුරටත් තහවුරු කර තිබේ. එපමණක් ද නොව ඝාතන සැලසුම් පිටුපස සිටින අය කවුරුන්ද යන්න හා ඒ පිළිබඳ තවත් ඉතා වැදගත් තොරතුරු අදාළ පුද්ගලයා විසින් විග්නේෂ්වරන් මහතා වෙත දැනුම් දී ඇතැයි ඔහු ස`දහන් කර තිබේ. එමෙන්ම එම සියලූ තොරතුරු විග්නේෂ්වරන් මහතා විසින් පොලිස්පතිවරයා වෙත කළ පැමිණිල්ලෙහි අන්තර්ගත කර ඇතැයි ද පැවසේ.

මේ හෙළිදරව්ව එසේ නැතහොත් විග්නේෂ්වරන් අමාත්‍යවරයා සිදුකර ඇති පැමිණිල්ල කිසිසේත්ම සුළු කොට තැකිය හැකි කරුණක් නොවේ. එහි සඳහන්ව ඇති ආකාරයට මේ රටේ ජේ්‍යෂ්ඨතම දේශපාලනඥයෙකු මෙන්ම රටේ විපක්ෂ නායකවරයා ඝාතන කිරීමේ සැලසුමක් යනු ඉතා බරපතළ ලෙස සැලකිල්ලට ගතයුතුව ඇති කාරණයකි. අනෙක් අතට විග්නේෂ්වරන් ප‍්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇති ආකාරයට මෙම අපරාධ සැලැස්ම මෙන්ම එම අපරාධය සිදු කිරීම මගින් අපේක්ෂා කරන අරමුණ ද අතිශයින්ම බිහිසුණුය. එනම් රටේ විපක්ෂ නායකවරයා ඝාතනය කර එහි වගකීම එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත බැරකිරීමට ඇති සූදානමයි. විග්නේෂ්වරන් මහතාට ලැබී ඇති තොරතුරු වලට අනුව එය රටේ ජාතික ආරක්ෂාවට අදාළව සලකා බැලීමේදී ද ඉතා බරපතළ අනතුරුදායක තත්වයක් නිර්මාණය කිරීම ස`දහා වන දැවැන්ත කුමන්ත‍්‍රණයක් ලෙසද සැලකිය හැකිවේ.

මක්නිසාද යත් එවැනි අවාසනාවන්ත තත්වයක් නිර්මාණය කිරීම මගින් අදාළ කුමන්ත‍්‍රණකරුවන් අපේක්ෂා කරන ප‍්‍රධාන අරමුුණු දෙකක් හදුනාගත හැකි නිසාය. ඉන් පළමුවැන්න නම් මේ රටේ දෙමළ ජනතාව නියෝජනය කරන ප‍්‍රධානතම දේශපාලනඥයා ඝාතනය කිරීම මගින් සුළුතර ජනකොටස් අතර භීතියක් ඇති කිරීමය. දේශිය වශයෙන් සැලකීමේදී එවැනි තත්වයක් ඇති වුවහොත් එය සුළුතර ජනතාවගේ ආරක්ෂාව අනතුරේ හෙළිමක් වන අතර ජාත්‍යන්තර වශයෙන් සැලකීමේදී ශ‍්‍රී ලංකාව තුළ සුළුතර ජාතීන්ට ආරක්ෂාවක් නොමැති බවට පසුගිය කාලය පුරා අන්තවාදී කණ්ඩායම් විසින් පතුරවමින් සිටි අදහසට පණදීමක් ද වනු ඇත. අනෙක් අතට සුළුතර ජනකොටස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහය කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු වීමට ද එවැනි තත්වයක් හේතුවිය හැකිය.

අනෙක් බරපතළ කාරණය වන්නේ මේ රටේ දකුණේ අන්තවාදී කණ්ඩායම් හි අපේක්ෂාවන් හා දුෂ්ට අරමුණු සාර්ථක කරගැනීම සඳහා දරමින් සිටින උත්සාහයට එමගින් ලැබිය හැකි උත්තේජනයයි. රට තුළ පරාජය වී ඇති දූෂිත මිනීමරු බලවේග අද වනවිට තම ශක්තිය වර්ධනය කරගැනීම සඳහා ජාතිවාදය ඉස්මතු කිරීමට දරන උත්සාහයට ද එවැනි තත්වයක් මහත් ශක්තියක් ලබාදෙනු ඇත. ඔවුන් නිරන්තර උත්සාහයක යෙදී සිටින්නේ කොටි සංවිධාන බිල්ලා ඉදිරියට ගනිමින් දකුණේ සාමාන්‍ය සිංහල ජනතාව භීතියට පත්කිරීමට ය. එවැනි තත්වයක් නිර්මාණය කරගැනීම තුළ ඔවුන්ගේ ගැලවුම්කාර භූමිකාව රඟ දක්වමින් කෙසේ හෝ යළි බලය ලබාගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ. ඒ සඳහා ප‍්‍රදර්ශනය කිරීමට ලේ ද මළමිනී ද ඔවුන්ට අවශ්‍ය කර තිබේ. එවැන්නක් සාර්ථක කරගත හැකිනම් ඒ ස`දහා මිලියන ගණනින් නොව බිලියන ගණනින් වුවද වැය කිරීමට මුදල් ඔවුන් සතු බව ද අප අමතක කළ යුතු නොවේ.

ඒ කෙසේ වෙතත් විග්නේෂ්වරන් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් සිදුකර ඇති මෙම හෙළිදරව්ව අතිශයින්ම බැරුම්ව සැලකිල්ලට ගත යුතුව තිබේ. මක් නිසාදයත්  එය සිදුවිය හැකි දැවැන්ත අපරාධයක් පිළිබඳ පූර්ව තොරතුරු දැනුම්දීමක් වනවාට අමතරව මේ රටේ ජාතික ආරක්ෂාවට අදාළ ඉතා වැදගත් තොරතුරක් ද ඒ තුළ අන්තර්ගත වන හෙයිනි.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news