Thursday, May 2, 2024

‘හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කරන්න’ ජනපතිට ඉල්ලීමක්

( මහාචාර්ය විජේසූරිය: රාජපක්ෂවාදීන්ගේ ළනු ජනාධිපති කනවා)

“කුමන්ත්‍රණයක” යෙදී සිටින හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වහා ඉවත්කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, පුරවැසි බලය යන සිවිල් සමාජ කණ්ඩායම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටිති.

හමුදා ප්‍රධානීන් සහ ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අධිකරණයට කැඳවනු ලැබීම සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තැබීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ පොලිසිය විවේචනය කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විරෝධය දැක්වීම සඳහා අද කොළඹදී කැඳවා තිබු මාධ්‍ය හමුවේදී ඔවුහු මෙම ඉල්ලීම කළහ.

එහිදී මහාචාර්ය සරත් විජේසූරිය චෝදනා නගමින් පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කිරීමට සඳහා හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ කුමන්ත්‍රණ හේතුවී ඇති බවකි.

“අවුරුදු 8ක් තිස්සේ රාජපක්ෂ පාලනය තුළ මේ තනතුර දැරූ පුද්ගලයාම තමයි තාමත් මේ තනතුර දරන්නේ, ත්‍රිවිධ හමුදාවම ජනාධිපතිවරයාට විරුද්ධ තැනක සිටින බවටවන මිත්‍යාව ඔහු වපුරලා තියෙනවා”

පසුගිය කාලයේ හමුදා බුද්ධි අංශ යොදවා කළ අපරාධ සම්බන්ධ පරීක්ෂණ අවසන් අදියරට පැමිණ ඇති අවස්ථාවක පැවැති රජයේ ප්‍රබලයන් මෙන් ම තමා ද අත්අඩංගුවට පත්වීම වළක්වාගැනීම සඳහා හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙලෙස ක්‍රියාකරන බව මහාචාර්ය සරත් විජේසුරිය පෙන්වා දුන්නේය.

” මාදුළුවාවේ සෝභිත හිමියන් නියෝජනය කරන සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ නියෝජිතවරයා ලෙස මම ඉල්ලා සිටිනවා හමුදාවේ ප්‍රශ්න ගැන තොරතුරු ලබාදීමට බාධා කරන මේ පුද්ගලයා ඉවත්කරන්න කියලා”
‘හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ කුමන්ත්‍රණ’

මෙහිදී අදහස් දැක්වූ පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හැදින්වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මතවාදය නියෝජනය කිරීමක් ලෙසය.

ජනාධිපතිවරයාට ඇත්තේ නීතිය ක්‍රියාත්මක නොවීම ගැන ප්‍රශ්නයක් නම් ඔහු කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම විනා මෙවන් ප්‍රකාශකිරීම නොවන බව ද ගාමිණි වියන්ගොඩ පැවසීය.

හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට එල්ල කරන චෝදනා පිළිබඳව කරුණු විමසීමට හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධකරගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

-බීබීසී සිංහල

සරත් විජේසූරියගේ කතාවෙහි විඩියෝව

Archive

Latest news

Related news