Thursday, May 2, 2024

ජනපති කතාව නොහොත් දෙබරයට පතබෑවුන තල්ගෙඩිය… – සුනිල් ජයසේකර

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා  ර්‍‘‘සත්විරු සංහිඳ” ප‍්‍රතිලාභ පිරිනැමීමේ උත්සවයේදී සිදුකළ කතාව සමාජයේ බලවත් අවධානයකට යොමු වී ඇති බවක් පෙනී යයි. මේ රටේ නාමධාරී දේශපාලන හා සමාජ විචාරකයන් ද නව මාධ්‍යය ඇතුළු සයිබර් අවකාශය තුළ අදහස් පළ කරන්නන් බොහෝ දෙනෙක් ද ඒ පිළිබඳව විවිධාකාර ප‍්‍රතිචාර දක්වමින් සිටිති.

මෙම උත්සවයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිදුකළ කතාවේ සමස්තය පිළිබඳව අවධානය යොමු කිරීමේදී බොහෝ විචාරකයන් ග‍්‍රහණය කර ගෙන ඇත්තේ එහිදී මතු කර ඇති කරුණු දෙකකි. එනම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාශය හා අල්ලස් කොමිසම වැනි ආයතන දේශපාලන න්‍යාය පත‍්‍ර වලට වැඩ නොකළ යුතුව ඇති බවට කළ ප‍්‍රකාශය හා හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු හමුදා ප‍්‍රධානීන් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීමේදී අනුගමනය කර ඇති ක‍්‍රමවේදය කෙරෙහි අප‍්‍රසාදය පළ කිරීම ගැනය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය සමස්ත දේශනයේදී පළ කර ඇති අනෙකුත් කරුණු ඉක්මවන අන්දමින් සමාජ අවධානයක් ඉහත කරුණු පිළිබඳව යොමු වූයේ ඇයිද යන්න එහිදී පළමුවෙන්ම සළකා බැලිය යුතුය. ඉතා පැහැදිලි ලෙස තේරුම් ගන්නේ නම් ජනවාරි 08 බලවේගය ප‍්‍රමුඛ වැදගත්කමකින් යුක්තව ඉස්මතු කරන ලද කරුණක් හා එම ප‍්‍රකාශය අතර අතිශයින්ම සම්බන්ධයක් තිබීමය. එනම් අල්ලස, දූෂණය ඇතුළු නොයෙකුත් ක‍්‍රියාමාර්ගයන් හරහා මහජන මුදල් සාපරාධී ලෙස කොල්ලකෑමෙහි යෙදුණ රටේ බලවත්ම වංචාකාරයන්ට හා දුෂිත බලවතුන්ට එරෙහිව ක‍්‍රියාකාරී වීම සඳහා පැවති සමාජ තෙරපුමයි. එවැනි සමාජ තෙරපුමක් මතුවීම කෙරෙහි පසුගිය පාලන කාලය තුළ ඉහවහා ගොස් පැවති දූෂණ, වංචා හා සාහසික අපරාධ පිළිබඳව සමාජය තුළ පැවති අවබෝධය බෙහෙවින්ම ඉවහල් වූ අතර අවසානයේ රටේ අනාගතය වෙනුවෙන් ඊට එරෙහිව පෙරමුණ ගැනීම හැර අන් විකල්පයක් ද ඔවුන් ඉදිරියේ නොතිබුණි.

ජනවාරි 08 ජයග‍්‍රහණයෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ යහපාලන රජය ප‍්‍රමුඛත්වය ලබා දෙන ලද්දේ ද එදා සමාජය ඉල්ලා සිටි රටේ යහපත වෙනුවෙන් ගත යුතු ප‍්‍රමුඛ ක‍්‍රියාමාර්ගයන් වෙනුවෙනි. ඒ සඳහා අත්‍යවශ්‍යයෙන්ම ප‍්‍රතිෂ්ඨාපනය කළ යුතුව පැවති අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා යළි සක‍්‍රිය කර ගැනීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට 19 වෙනි සංශෝධනය ගෙන එනු ලැබුවේද ඒ වෙනුවෙනි. 19 වන සංශෝධනය සම්මත කර ගැනීම උදෙසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගත් අපමණ වෙහෙස පිළිබඳව අද පවා බොහෝ දෙනෙකු සිහිපත් කරන්නේ එම උත්සාහය නොවන්නට 19 ව්‍යවස්ථා සංශෝධනයට අත්විය හැකිව තිබූ ඉරණම හොඳින් දන්නා නිසාය.

බොහෝ දෙනෙකු දන්නා පරිදි ඒ හරහා ක‍්‍රියාත්මක වූ ඇතැම් ස්වාධීන කොමිෂන් සභාවල ක‍්‍රියාකාරිත්වය හා කාර්යක්ෂමතාවය පිළිබඳව සමාජය තුළ ප‍්‍රශ්න මතු නොවුනා නොවේ. පසුගිය කාලය තුළ දී ඒ පිළිබඳව ප‍්‍රබල හඬක් මතු කරන ලද්දේ ද ජනවාරි 08 ජයග‍්‍රහණය උදෙසා ප‍්‍රමුඛ දායකත්වයක් දක්වන ලද සිවිල් සමාජ සංවිධාන විසින්මය. එදා ඔවුන් මතුකළ බරපතලම චෝදනාව වූයේ පසුගිය කාලය තුළ රටේ මහජන මුදල් කොල්ල කෑමෙහි යෙදුණ බලවත්ම චරිත හා කණ්ඩායම් පිළිබඳව එකී ආයතන ප‍්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවයි. කාර්යක්ෂම නොවන බවයි. නොඑසේ නම් මහා පරිමාණ දූෂණ හා වංචා පිළිබඳව යොමු කළ යුතුව ඇති අවධානය වෙනුවට සිල්ලර සිදුවීම් පිළිබඳව පමණක් අවධානයක් යොමු කරමින් සිටින බවයි. වෙනත් ලෙසකින් පැහැදිලි කරන්නේ නම් බලවත් ලෙස චෝදනා ගොනු කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි හා සාධක පවතිද්දීත් චූදිතයන්ට පහසුවෙන් නීතියෙන් ගැලවීයාමට හැකි වන ආකාරයට නඩු පැවරීම් සිදු කරමින් සිටින බවයි.

එවැනි සංවාද, චෝදනා, විවේචන පසුගිය කාලය තුළ පැවතියේ අභ්‍යවකාශයෙහි නොවේ. මේ මහ පොළෙවෙහිම ය. ඒ අනුව සළකා බැලීමේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අල්ලස් කොමිසම ඇතුලු දූෂණ හා වංචාවන්ට එරෙහිව ක‍්‍රියාකරන ආයතන කිහිපයක් එල්ල කර ගනිමින් සිදුකළ ප‍්‍රකාශය සමාජය තේරුම් කර ගත යුතුව ඇත්තේ සමාජය තුළින්ම පසුගිය කාලය තුළ මතු වූ විවේචනයන් ද අවබෝධ කර ගනිමිනි.

ඒ අනුව ජනවාරි 08 ජයග‍්‍රහණය උදෙසා පෙළගැසුණ මේ රටේ යුක්තිගරුක ජනතාව සමග ඒ සඳහා උරදුන් සිවිල් සමාජ සංවිධාන අන් සියල්ලටම පෙර අවධානය යොමු කළ යුතුව ඇත්තේ ඔවුන්ගේ අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට බාධා කරන දුෂ්ඨ බලවේගයන් හඳුනා ගැනීමටය. එම බලවේග පරාජය කිරීම සඳහා තමන් බලයට පත් කරන ලද දේශපාලන නායකත්වයට අවශ්‍ය මගපෙන්වීම් සිදුකරමින් ධෛර්යය ලබාදීමටය.

එක් අතකින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී ඇත්තේ ද එම දුෂ්ඨ බලවේග පරාජයට පත් කිරීමට ඇති අවශ්‍යතාවය යි. අද වන විට සමාජය තුළ මතුව ඇති සංවාද හා විවාදයන් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ එම පණිවිඩය එක් එක් මානයන්ගෙන් විග‍්‍රහ කිරීමට හා වාර්තා කිරීමට බොහෝ දෙනෙකු දක්වා ඇති උනන්දුවයි.

ඒ අනුව එකක් නම් ඉතා පැහැදිලිය. තල් ගෙඩියක් මහත් හඬකින් යුතුව බිමට කඩා පාත්වී තිබේ. දැන් අප කළ යුතුව ඇත්තේ ලෝක විනාශය පටන් ගත්තා යැයි කෑමොර දෙමින් සතර අත දුව යෑම නොවේ. ගහ මුලටම ගොස් මේ මොහොතේ මේ ආකාරයට තල් ගෙඩියක් බිමට පාත් වූයේ කුමක් නිසාද යන්න සොයා බැලීමයි.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news